ඉන්දියාවට යට වෙන රාජපක්‍ෂ භූමිකාව

න්දියානු විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් හදිසියේ ම ලංකාවට ආවේ ය. ඔහු එන බවක් කල් ඇතිව මාධ්‍යවල ප්‍රචාරය නොවිණි. සාමාන්‍යයෙන් ඉන්දියානු ජාතික ආරක්‍ෂක ප්‍රධානියා හෝ විදේශ ඇමතිවරයා හෝ ලංකාවට එන්නේ දෙරට අතර බරපතළ දෙයක් සාකච්ඡා කරන්නට ය. බැලූබැල්මට මතුපිටින් පෙනෙන්නට ඇත්තේ, නැඟෙනහිර ජැටිය විකිණීම ය. එහෙත්, ඔහු ඒ පිළිබඳව මාධ්‍යවලට කිසිවක් නොකිව්වේ ය. ඔහු පැහැදිලිව ම කිව්වේ, පළාත් සභා පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරයයි. එනම්, පළාත් සභා තුළින් අර්ථාන්විත බලය බෙදීමක් සිදු වී ඇති බව ය. එහෙම බැලුවා ම ගමනේ ප්‍රධාන අරමුණ පළාත් සභා පිළිබඳව ආණ්ඩුවට නැවත අවධාරණය කිරීම ය. නැඟෙනහිර ජැටිය ගැනත් ඒ අතරතුර කතාබහ කරගන්නට ඇත. ඒ කියන්නේ, දඹුලු ගොහින් තලගොයිත් මරාගෙන ම එන්නට ඇත.

බලහත්කාරයෙන් ලංකාව මත පැට වූ පළාත් සභා ක්‍රමයෙන් ප්‍රධාන කරුණු දෙකක් ඉටු වන බව කියැවුණේ ය. එනම්, ලංකාවේ ජාතික ප්‍රශ්නය මින් විසැඳෙන බවත්, ලංකාව තුළ ඌන සංවර්ධිත ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය හෙවත් කලාපීය සංවර්ධනය ඇති වන බවත් කියැවුණේ ය. ගිවිසුම අත්සන් කරලා මේ වෙන කොට අවුරදු තිස්දෙකක් ගෙවී ඇත. රටේ ජාතික ප්‍රශ්නය විසැඳුණේත් නැත. පළාත් සංවර්ධනය වුණෙත් නැත.

පළාත් සභා ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ ඉන්දියාවයි. ඒ යුද්ධය බරපතළව පැවැති මුල් අවස්ථාවේ දී ය. ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. නායකයන් ඉන්දියාවට කැඳවා ගත්තේත්, රාජීව් ගාන්ධි හා සාකච්ඡා පැවැත්වුණේත් ඒ වෙනුවෙන් ය. එල්.ටී.ටී.ඊ,ය හැර අනෙකුත් සංවිධාන එයට එකඟ වුණේ ය. කොහො ම වුණත්, ඉන්දියාව කෙසේ හෝ පළාත් සභා ක්‍රමය බලාත්මක කරන අදහස අත්නොහැරියේ ය. එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන එයට කෙසේ හෝ එකඟ කර ගත්තේ ය. ඒ වෙනුවෙන් දෙරට අතර ගිවිසුමක් ද සැකැසුවේ ය. කුප්‍රකට ‘ඉන්දු-ලංකා ගිවිසුම’ නම් වූයේ එයයි. පළාත් සභා ක්‍රමයට අමතරව තව බොහෝ ආර්ථික කරුණු ගණනාවක් ම එහි අඩංගු විය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබා දීමට එකඟ වූයේ මේ ගිවිසුමෙන් ය. අදටත් එය රටට අහිමිව ඇත්තේ, මේ නිසා ය. එදා යැංකි ඩිකී ලෙස හැඳින් වූ ජයවර්ධන ඇත්තෙන් ම ඇමෙරිකානු ගැත්තකු විය. ඒ වෙන කොට ලෝක දේශපාලනයේ ඉන්දියාව සිටියේ, ඇමෙරිකානු මිත්‍ර කඳවුරේ නොව රුසියාව පැත්තේ ය. එයට බලපෑ හේතු ගණනාවක් විය. ඒ අතර කලාපීය ඉන්දියානු වුවමනාව ද විය. දකුණු ආසියානු කලාපයේ ලොක්කා නැතහොත්, ‘ලොකු අයියා’ ඉන්දියාව ය. ඊට ඉහළින් ඇමෙරිකාව කලාපයට මැදිහත් වීම ඉන්දියාව එදා රිස්සුවේ නැත. ජේ. ආර්. හරහා ඒ ඇමෙරිකානු මැදිහත් වීම ලංකාවට එද්දී, ඉන්දියාව ජේ. ආර්. ගේ අත ඇඹරුවේ ය. ඉන් බියගැන්වුණු ජේ. ආර්. ගිවිසුමට එකඟ වුණේ ය. එවකට සිටි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ඩික්සිත් මහතා මේ පිළිබඳව පසු කාලයේ ‘කොළඹ භූමිකාව’ නමින් පොතක් ලිව්වේ ය. එහි ගිවිසුමට ජේ. ආර්. එකඟ වුණු ආකාරය හොඳින් විස්තර කර ඇත. ජේ. ආර්. බිරිඳ ඩික්සිත්ව හමු වූ බව ද සඳහන් ය. ජේ. ආර්.ගේ බිරිඳ ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඩික්සිත්ගෙන් ඉල්ලුවා ය. එකක් ගිවිසුම අත්සන් කිරීම නිසා යම් හෙයකින් තමන්ගේ ස්වාමියාගේ ජීවිතයට තර්ජනයක් වුවහොත්, ඔහුව බේරා ගන්නවා ද යන්න පළමුවැන්න ය. දෙවැන්න ගිවිසුම නිසා ජේ. ආර්.ගේ පාලනය බිඳවැට්ටවීමක් වුවහොත්, ඉන්දියාව මැදිහත් වී පාලන බලය ආරක්‍ෂා කර දෙනවා ද යන්න ය. මේ ප්‍රශ්න දෙකට ම ඩික්සිත් උත්තර දී, ජේ. ආර්.ගේ ජීවිතයත්, ඔහුගේ පාලන බලයත් දෙක ම රැක දෙන බවට සහතික වී ඇත. ඉන් අනතුරුව ගිවිසුම අත්සන් කළ බව ඩික්සිත් ම කියයි.

කලාපීය බලවතා ලෙස බලහත්කාරයෙන් ලංකාව මත පැට වූ පළාත් සභා ක්‍රමයෙන් ප්‍රධාන කරුණු දෙකක් ඉටු වන බව කියැවුණේ ය. එනම්, ලංකාවේ ජාතික ප්‍රශ්නය මින් විසැඳෙන බවත්, ලංකාව තුළ ඌන සංවර්ධිත ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය හෙවත් කලාපීය සංවර්ධනය ඇති වන බවත් කියැවුණේ ය. ගිවිසුම අත්සන් කරලා මේ වෙන කොට අවුරදු තිස්දෙකක් ගෙවී ඇත. රටේ ජාතික ප්‍රශ්නය විසැඳුණේත් නැත. පළාත් සංවර්ධනය වුණෙත් නැත. තවමත් සියඹලාණ්ඩුව, රිදීමාලියද්ද ලංකාවේ දුප්පත් ම ප්‍රදේශ ය. ඒවා පොහොසත් වී නැත. අදටත් එදා තිබූ තත්තවය ම ය. පළාත් සභා ක්‍රියාත්මක වෙද්දී ම දිග්ගැසුණු යුද්ධයෙන් ජීවිත දහස් ගණනක් අහිමි විය. මහා දැවැන්ත විනාශයක් සිද්ධ වුණේ ය. එහෙම බැලුවා ම පළාත් සභා ක්‍රමය ලංකාවේ ජාතික ප්‍රශ්නයට කිසිසේත් ම උත්තරයක් වී නොමැත. එය අසාර්ථක ක්‍රමවේදයකි. ඉන්දියාව වැනි මහා විශාල රටකට යම් ආකාරයක පාලනයේ පහසුවක් ඇති කළ ද, ලංකාවේ දී නම්, එය මුළුමනින් ම අසාර්ථක ය.

එය එසේ වුව ද, කැමැති වුණත්, අකැමැති වුණත් එකී ක්‍රමය ව්‍යවස්ථාවේ නීතියක් ලෙස ඇත. එයට අනුව විටින්විට ඡන්ද පැවැත්වේ. මෑතක දී ඡන්දය පිළිබඳ සංවාදය මතුපිටට ආවේ ඒ අනුව ය. එනම්, ආණ්ඩුව ලකලැහැස්ති වුණේ, මාර්තු අග හෝ අප්‍රේල් මුල වන විට ඡන්දය පවත්වන්නට ය. නමුත්, රටේ ජනතාව මුහුණ දී ඇත්තේ, බරපතළ කොරෝනා රෝගී තත්ත්වයකට ය. හැමෝ ම බලන්නේ කොරෝනා මාරාන්තික උවදුරෙන් බේරෙන්නට ක්‍රමයක් ය. ඒ වෙනුවෙන් එන්නතක් ගෙන්වා ගැනීමේ සල්ලි ප්‍රශ්නයක ද ආණ්ඩුව ඇත. එහෙම තියෙද්දී, තවත් කෝටි හාරසියයකට එහා ගිය මුදලක් ඡන්දය වෙනුවෙන් වියදම් කිරීම ජනතාවට දරා ගන්නට අමාරු ය. අනෙක් පැත්තෙන් ඡන්දයක දී කොරෝනා ව්‍යාප්ත වීමේ හැකියාව ද වැඩි ය. ආණ්ඩු පක්‍ෂයේ මුළු අවධානය කොරෝනා මර්දනයට නොව ඡන්දයට යොමු වෙන එක වළක්වන්නට නොහැකි ය. ඡන්දය ඉක්මනට ගෙනෙන්නට උත්සාහ කළේ බැසිල් රාජපක්‍ෂ ය. ඒ ඔහුගේ ප්‍රාදේශීය සභා, පළාත් සභා ගෝලබාලයන් ටිකට සැලැකීමට ය. ඒ වාගේ ම ආණ්ඩු පක්‍ෂයේ අනෙක් අය කියන්නේ, බැසිල් හදන්නේ, ඊ ළඟ ජනාධිපති අපේක්‍ෂකයා වෙන්නට කියා ය. රටත්, ජනතාවත් අනතුරට ඇද දමලා ඡන්දය ඉස්සරහට ගන්නේ ඒ වෙනුවෙන් බව ඇතුළේ ම අයගේ අදහස ය. ඒ නිසා ම ඡන්දය ඉක්මනින් පවත්වනවාට ඇතුළේ ම අය විරුද්ධ වූහ. කොරෝනා මර්දනය පැත්තකට දාලා මේ කරන්න යන වැඩෙන් තමන්ට ඡන්දය දීපු බලවේගත් අවුල් වෙනවා යැයි කියමින්, කොහො ම හරි එය කල් දමා ගත්තේ ය.

ඒ අතරතුර ආණ්ඩු පක්‍ෂයේ ම තවත් සමහරු කියන්නේ, අලුත් ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමිය යුතු බව ය. මෛත්‍රීපාල හිටපු ජනාධිපති කිව්වේ, මේ හදන්නේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නට බව ය. ඉන්දියාව තරහ කරගෙන එවැන්නකට ගියොත්, ලොකු අමාරුවක වැටෙන බව ය. කොරෝනා තත්ත්වය කෙසේ වෙතත්, ඉන්දියාවේ බලපෑමේ තත්ත්වය එදා වාගේ අදත් එසේ ම ය. ඔය රාජපක්‍ෂලා රටේ ජනතාව ගැන හිතනවාට වඩා හිතන්නේ තමන්ගේ බලය ගැන ය. ඉන්දියාව තරහා වුණොත්, පාලන බලයත් නැති වන්නට පුළුවන් ය. ඒ ගැන හොඳ අත්දැකීම් ඇත. එනිසා ඇමෙරිකාවත්, චීනයත්, ඉන්දියාවත් සතුටු කරමින් යාම ආණ්ඩුවේ උපක්‍රමය වී ඇත. වරාය බටහිර ජැටිය මහින්ද චීනයට දුන්නේ චීනය සතුටු කරන්නට ය. අද නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නේ ඉන්දියාව සතුටු කරන්නට ය. දෙගොල්ලන්ට ම අපේ ජාතික සම්පත් රිසි සේ පවරා දීලා මහින්දට ඕනෑ කොහො ම හරි බලයේ රැඳෙන්නට ය

බලය නැති කරගෙන පළත් සභා අහෝසි කරන්නට කොහෙත් ම උත්සාහ දරන්නේ නැත. ඒ බව හරි පැහැදිලි ය. එදා උතුරු පළාත් සභා ඡන්දය තිබ්බේ, ඉන්දියාවේ බලපෑමට යටත් වෙලා ය. උතුර හා නැඟෙනහිර ඒකාබද්ධය දික් කරන ගැසට්ටුවට මහින්ද අත්සන් කළේ ද බලය වෙනුවෙන් ය. ඒ නිසා ඔය කවුරු කොහොම කෑගැහුවත්, පළාත් සභා අහෝසි කරන්න ගිහිල්ලා ඉන්දියාව තරහා කර ගන්න නම් ආණ්ඩුව කොහොමවත් ක්‍රියා කරන්නේ නැත. විදේශ ඇමති හදිසියේම ඇවිල්ලා නොකියා කිව්වේ, ඒ බව ය. බලය බෙදීම අර්ථාන්විත දෙයක් කිව්වේ ඒකට ය. සුබ්‍රමනියම් ජයශංකර්ට පිටින් ගිහිල්ලා ආණ්ඩුවක් නැති කර ගන්නට ගෝඨාභය රාජපක්‍ෂලා සූදානම් නැති බව සිද්ධ වෙන දේවල්වලින් ඉතා පැහැදිලි ය●

ජගදාක්‍ෂි

Leave A Reply

Your email address will not be published.

ten + three =