DFCC බැංකුව ‘විශිෂ්ටතම පශ්චාත් කොවිඞ් නවෝත්පාදනය’ සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (Sri Lanka Association for Software Services Companies) සංවිධානය කළ SLASSCOM RPA 2020 සම්මාන උලෙළේ දී ‘විශිෂ්ටතම පශ්චාත් කොවිඞ් නවෝත්පාදනය’ සඳහා වූ සම්මානය දිනාගැනීමට සමත් විය. ‘ව්‍යාපාර අඛණ්ඩතාව’ කාණ්ඩය යටතේ මෙම සම්මානය පිරිනමන ලද්දේ, COVID-19  රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සහන ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ‘ස්වයංක්‍රීය ණය සහන’ වැඩසටහන (‘Automated Debt Moratorium’ initiative) වෙනුවෙනි.

SLASSCOM RPA (Robotic Process Automation) සම්මාන උලෙළ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන සුවිශේෂීම සම්මාන උලෙළක් ලෙස සැලැකේ. කාලීන වැඩසටහන් ඔස්සේ නවෝත්පාදන හා ප්‍රති-අර්ථකථන සිදු කරන ව්‍යාපාරයන් අගැයීමට ලක් කිරීම මෙම සම්මාන උලෙළේ මූලික අරමුණ වී ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම සම්මාන උලෙළ ‘Online’ ක්‍රමයට පවත්වන ලද අතර එහි දී DFCC බැංකුවට මෙම සම්මානය හිමි විය.

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව කටයුතු කළ අතර, 10,000කට අධික ණය සංඛ්‍යාවක් සඳහා සහන කාලසීමාවන් පිරිනැමීමට කටයුතු යොදන ලදී. සාමාන්‍ය පරිදි මිනිස් ශ්‍රමය භාවිතයෙන් මෙම කටයුතු සිදු කිරීමට මිනිස් දින 145ක් පමණ ගත වීමට ඉඩ තිබූ අතර, ආරක්ෂාව උදෙසා නිවෙස්වල සිට රාජකාරි කිරීමට කාර්ය මණ්ඩලයට අවස්ථාව සලසා දී තිබූ පසුබිමක් තුළ මෙය තවත් දුෂ්කර වීමට ඉඩ තිබිණි. මීට විසඳුමක් ලෙස RPA තාක්ෂණය ඔස්සේ මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමට තීරණය කරන ලදී. මෙමඟින් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට මෙන් ම, සහන ලබා දීම් කටයුතු වඩාත් නිවැරැදි හා කාර්යක්ෂම ලෙස සිදු කිරීමට අවස්ථාව උදා විය. පැවති සීමාවන් හමුවේ මෙම සංකීර්ණ ක්‍රියාවලිය මෙතරම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට හැකි වීම නිසා මෙය බැංකු ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සපයමින්, SLASSCOM RPA 2020 සම්මාන උලෙළේ දී සම්මානයකින් ද පිදුම් ලැබී ය●

 

පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

2 + twenty =