ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් වසා ගන්නා නීතියේ අවකෙළි

සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත මේ මොහොතේ සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති පනතක් බවට පත්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ කෙටිකතාවක් සම්බන්ධයෙන් ශක්තික සත්කුමාර නම් ලේඛකයා දින හැත්තෑ පහකටත් වඩා වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙන්නේ මේ පනත උපයෝගී කරගෙන වීම නිසාය. එසේම මුස්ලිම් ජනතාවට එරෙහිව කුරුණෑගල සහ ගම්පහ ඇතුළු ප්‍රදේශවලදී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන්ට නඩු පවරන්නේ මේ පනත උපයෝගී කරගෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ කරනු ලැබීය. හසලක ප්‍රදේශයේ පදිංචි ෆාතිමා නුශ්රා සාරූක් නම් කාන්තාව ඇඟලා සිටි ඇඳුමේ ‘ධර්ම චක්‍රයක් සටහන්ව තිබේ’ යැයි කියමින් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළේ ද මේ පනත උපයෝගී කර ගනිමිනි. සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත නැතහොත් දැන් බොහෝ දෙනාට අසා හුරුපුරුදු ICCPR පනත සම්බන්ධව ආසන්නතම සිදුවීම වන්නේ පුවත්පත් කලාවේදියකු වන කුසල් පෙරේරා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට මේ පනත යොදා ගැනීමට දරමින් සිටින උත්සාහයයි.

පෙර සිදුවීම්

මේ පනත මීට පෙරද අවස්ථා කිහිපයක දී ක්‍රියාවට නඟා තිබේ. 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීම්වලින් පසු මහ සොහොන් බළකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් කිහිප දෙනකු බන්ධනාගාරගත කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි සමග මෙම පනත ද ක්‍රියාත්මක කිරීමෙන් සිදු විය. නෙළුම් මලක් මැද සිටින බුදු රුවක් අතේ පච්ච කොටාගෙන සිටි නයෝමි කෝල්මන් නම් බ්‍රිතාන්‍ය කාන්තාව 2014 වර්ෂයේ දී අත්අඩංගුවට ගත් කටුනායක පොලිසිය ඇයව අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත්අඩංගුවට ගත් බවය. ඉන් පසු මහේස්ත්‍රාත් අධිකරණයකට කරන ලද නියෝගයක් අනුව ඇය ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීය. නමුත් ඇය ගොනු කළ මානව හිමිකම් කඩවීම සම්බන්ධ නඩුව අවසානයේදී එම කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

පනත ගෙන ඒමට හේතුව

මෙම පනතේ හැඳින්වීමේ සඳහන් කර ඇත්තේ ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි’ යනුවෙනි. ඒ වන විටත් ක්‍රියාත්මක වූ ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කර තිබේ. එහෙත් පැවති යුදමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා නිසා, එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. 2007 අංක 16 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කරන බව පනත ඉදිරිපත් කිරීමේ දී කියැවිණි. ඒ අනුව 1966 දෙසැම්බර් 16 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවේ දී සම්මත කරගන්නා ලද, 1976 මාර්තු මාසයේ සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශ්වයක් ලෙස එක් විය.

මානව හිමිකම් වෙනුවට පීඩාව

ඉහත කී අරමුණු වෙනුවෙන් පනත ගෙන ආවද එය වර්තමානයේ ක්‍රියාවට නැෙඟන ආකාරය අනුව ජනතාව පීඩාවට පත් කරන පනතක් ද යන ගැටලූව පැනනැඟී තිබේ. විශේෂයෙන්ම මෙම පනතේ 03 වන කොටසේ 01 උප වගන්තියෙන් ලැබී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් බොහෝ අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබයි. එහි සඳහන් වන්නේ ‘කිසිම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය’ යනුවෙනි. එසේම එම කොටසේම 04 වැනි උප වගන්තියට අනුව ඉහත කී (03) 01 වගන්තිය යටතේ වූ වරදක් ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු බව සඳහන් වී තිබේ. එම ප්‍රතිපාදනයට අනුව 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. ඉහත සඳහන් කර ඇති චෝදනාවන් අනුව ඊට අදාළව ක්‍රියාත්මක විය යුතු ආකාරයේ බැලු බැල්මට ඇති වරදක් නැත. එහෙත් ගැටලූව ඇත්තේ චෝදනා ගොනු කරන්නන් එය සිදු කරන්නේ කවර අරමුණක් සඳහාද යන්න තුළය. ශක්තික සත්කුමාරගේ සිදුවීම ඒ සඳහා හොඳම උදාහරණය සපයයි.

ශක්තික අත්අඩංගුවට ගැනීම

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගනු ලබන්නේ ‘අර්ධ’ නමින් කෙටි ප්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීම නිසාය. පොල්ගහවෙල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ෆේස්බුක් ජාලයේ පළකරන ලද කෙටිකතාවක් ආගමික ඇදහිල්ලට අගතියක් සිදුවන බවට ප්‍රදේශයේ ‘ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ’ නමින් ලිපි ශීර්ෂයක් සහිතව කරන ලද ලිඛිත පැමිණිල්ලක් මතය. පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙම කෙටිකතාව නිසා විශාල මහජන කැළඹීමක් හටගත් බවය. එහෙත් එවැනි කැළඹීමක් මහජනතාව අතර මේ දක්වා සිදුව නැත. එහෙත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ පොලිසියේ කරුණු දැක්වීම මතය. පොල්ගහවෙල පොලිසිය විසින් ඔහුට විරුද්ධව චෝදනා නගා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත (ICCPR) යටතේය. ශක්තිකගේ කෙටිකතාව සමාජ මාධ්‍යයේ පළ වීමෙන් පසුව භික්ෂුන් පිරිසක් ශක්තික සේවය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා පැන ලේඛකයාට එරෙහිව බැණ වදිමින් ඔහුට දඩුවම් කරන ලෙසත් වෙනත් ස්ථානයකට මාරුකර යැවිය යුතු බවටත් ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු එහි ප්‍රධානීන්ට බලපෑම් සිදුකර තිබිණි. ඉන් අනතුරුව මාර්තු 13 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ශක්තිකගේ පාර්ශ්වයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. ඒ නිසා තමන්ගේ උසස්වීම් හා සේවා වාර්තාවලට බලපෑම් සිදුවන බැවින් කලබලයට පත් පොලිස් නිලධාරීන්, පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ නම් ශක්තික නිදහස් කිරීම සඳහා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකි බව පවසා තිබේ. නම් ගම් හෝ හැඳුනුම් පත් නොමැතිව හදිසියේ පැමිණෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් ශක්තිකගේ බිරිඳට බලපෑම් කරමින් එවැන්නක් පැවසීම ගැටලූසහගත තත්ත්වයකි. එසේම ශක්තික විසින් පළ කළ කෙටිකතාව අන්තර්ජාලයට එක් කළ බවට චෝදනා කරන්නට වාරියපොළ නගරයේ තරුණයකුට පොල්ගහවෙල පොලිසියට එන ලෙස ද බලපෑම් සිදුකර ඇත. මේවා අතර ඇත්තේ පරස්පරතාවකි. කෙසේ වෙතත් පොලිසිය විසින් නියෝජනය කරන්නේ ආණ්ඩුව බවත් පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් පැහැදිලිය. ඒ නිසා ශක්තික සිරගත කර ඇත්තේ ආණ්ඩුව විසිනි.

කුසල් පෙරේරාගේ ලිපිය

ආසන්නයේ සිදු වුණු තවත් සිදුවීමක් වන්නේ ඩේලි මිරර් පුවත්පතට කුසල් පෙරේරා විසින් මැයි17 වෙනි දින From Islamic terrorism to marauding Sinhala Buddhist Violence (ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකෑමේ සිංහල බෞද්ධ ප්‍රචණ්ඩත්වය) යන හිසින් යුතුව ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ලැබී තිඛෙන පැමිණිල්ල ගැන පරීක්ෂණ පැවැත්වීමට හා පෙරේරා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසියේ සංවිධානාත්මක අපරාධ පිළිබඳ අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ලිපිය ‘ආගමික ගැටුම් අවුළුවන සහ මහජන කැළඹීම් ඇති කරන’ එකක් බව පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළේය. එහෙත් කුසල් පෙරේරා අත්අඩංගුවට ගත්තේ නැත. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසාය. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වූ බව කුසල් පෙරේරා විසින් පසුව නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයක සඳහන් කර තිබේ. ‘පැයකට පමණ පෙර මට කතා කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවට සහතික වූ අතර, නීතිපතිට පැමිණිල්ල ගැන සඳහන් කර ඔහුගෙන් උපදෙස් ගන්නා ලෙස වැඩබලන පොලිස්තිට උපදෙස් දී තිබිණි’ යනුවෙන් ඔහුගේ ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.

අස්ගිරි මහ නාහිමිගේ ප්‍රකාශ

පසුගිය ජූනි 15 වන දා දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ‘මාත් කියනවා මුස්ලිම් කඩවල්වලට යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොක ද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සහ ගත්ත පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕන. ඒ කඩවල්වලට යන්නත් එපා. ඒවා ගන්ඩත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දූ දරුවො නැති වෙයි කියලා’, ‘ඒ වගේම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕන කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීතිරීති ඕවා හරියන්නෙ නෑ’ යනුවෙන් ප්‍රකාශ සිදු කළ බව මේ වන විට රහසක් නොවේ. කට වචන නොව එම ප්‍රකාශ දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර් ජාලය නිරීක්ෂණය කර ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය. මේවා පැහැදිලිවම වෛරී ප්‍රකාශයන්ය. එහෙත් සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

මර්දනය අවසන් නැත

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පිළිබඳ පනත ගෙන එන අවස්ථාවේ ඊට හේතු වශයෙන් ඉදිරිපත් වූයේ ‘ජාතීන් සහ ආගම් අතර වෛරය ඇති කිරීම, යුද්ධය පැතිරවීම හෝ වෙනස් කොට සැලකීම’ වැලැක්වීම සඳහා මේ පනත ගෙන එන බවයි. එහෙත් මේ වන විට මෙම පනත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දේශපාලන හා සිංහල බෞද්ධ ඇතැම් පිරිසකගේ උවමනාකම් අනුව ක්‍රියාත්මක වන මර්දන නීතියක් බවට පත්කරගෙන ඇත. ඒ නිසා පනත ක්‍රියාත්මක වන්නේම වෙනස් කොට සලකමිනි. ආණ්ඩුව සැලසුම් කර ඇති මර්දනය එතැනින් ද අවසන් වන්නක් නොවේ. ‘ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශ වැළැක්වීම’ නමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා පස් අවුරුදු සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂ දහයක් දක්වා දඩයක් හෝ ඒ දෙකම පැනවීමට අවශ්‍ය නීතිරීති ද මේ වන විට සැකසෙමින් තිබේ. පසුගිය ජුනි 4 දා කැබිනට් මණ්ඩලය ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයට අනුමැතිය දී ඇත.

මේ අනුව පැහැදිලි වන්නේ නීතිරීතිවල සඳහන් අර්ථ නිරූපණයන්ගෙන් පමණක් රැකවරණය ලැබීමට නොහැකි බවය. නීතිය ක්‍රියාවේ යොදවන්නන්ගේ අභිමතය ද ඒ සඳහා තීරණාත්මකව බලපෑම් කරමින් සිටියි. ඒ නිසා නීතියේ ක්‍රියාකාරීත්වයත්, නීතියේ රැකවරණයත් සැමට සමානව සහ සාධාරණව ලැබීමටනම් නීතිරීති මෙන්ම ඒවා ක්‍රියාත්මක කරන්නන් ද වෙනස් කිරීම අනිවාර්යයක් බව මේ සිදුවීම්වලින් පැහැදිලිව තේරුම් ගත හැකිය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

13 − 10 =