“ජනතාවගේ සෞඛ්‍යය සහ ආගමික වත්-පිළිවෙත් ආරක්ෂා වන ලෙස ක්‍රමයක් සකස් කළ යුතුයි”

මාදම්පාගම අස්සජී හිමි

මාදම්පාගම අස්සජී හිමි
නියෝජ්‍ය ලේඛකාධිකාරී – ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව
“කොවිඞ්-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීම අනිවාර්යය කිරීම සාධාරණීයකරණය කිරීමට තව දුරටත් හේතු නැහැ. එලෙස මියගිය අයගේ සිරුරුවල විෂබීජ භූගත නොවන අයුරින් ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණයක බහා භූමදානය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර එම කමිටුව නිර්දේශ කරන ඒ හා සමාන වෙනත් ක්‍රමවේදයක් සලසා කොන්දේසි සහිතව භූමදානයට අවසර දෙන ලෙස අපි ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව විදිහට ජනාධිපතිවරයාගෙන්
ඉල්ලු‍වා. ඒ ඉල්ලීම භික්ෂුන් වහන්සේලා විසිඑක් දාහක් නියෝජනයෙන් කළ ඉල්ලීමක්. මම ඒ අනුකමිටුවේ ලේකම්.
“සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නොපමාව තීරණයක් ගැනීම සඳහා භූ විද්‍යා හා වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන් හා ඒ සම්බන්ධයෙන් දැනුම ඇති වෛද්‍යවරුන් සහ ආගමික නායකයන් ද  ඇතුළත් කර කමිටුවක් පත් කරන ලෙසයි අපි ඉල්ලන්නේ. මළසිරුරු භූමදානය කිරීම ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම්වල අනුගාමිකයන් අනුගමනය කරන ගෞරවනීය ආගමික පිළිවෙතක්.
“ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ව්‍යවස්ථාව තුළ ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරලා තියෙනවා. මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණු සඳහා මෙම නිදහස සීමා කිරීම්වලට යටත් විය හැකි බවට 15(7) ව්‍යවස්ථාව මඟින් සඳහන් කර ඇති බවත් අපි දන්නවා.

“කොවිඞ් 19 සම්බන්ධයෙන් සහ වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සමූහයක් මේ වන විටත් ලෝකය පුරාම කරලා තියෙනවා. සිරුරු භූමදානය කිරීමෙන් මෙම වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බවට පෙන්නුම් කරන්නේ. ඒ හින්දා මිය ගිය පුද්ගලයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සඳහා තව දුරටත් සාධාරණීයකරණයක් කරන්න බැහැ. ඒ නිසා කොවිඞ්  වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට යම් කොන්දේසිවලට යටත්ව ඉඩ දිය යුතුයි කියන එකයි අපේ කමිටුවේ අදහස. එතැන දී කොන්දේසිය තමයි, ජනතාවගේ සෞඛ්‍යය සහ මුස්ලිම්, කතෝලික හා අනෙකුත් ආගමික ප්‍රජාවන්ගේ ආගමික වත්-පිළිවෙත් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වන ලෙස ක්‍රමයක් සකස් කිරීම.

“අපි යෝජනා කරන්නේ කල්පවත්නා අපරාගම්‍ය ද්‍රව්‍යවලින් සාදන ලද මුද්‍රා තැබූ මිනී පෙට්ටි නිශ්චිත මුස්ලිම් සුසාන භූමි තුළ ද, ජල මුද්‍රාව තැබූ කොන්ක්‍රීට් සොහොන් හෝ පෙර සැකසූ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් තුළ ද තැන්පත් කිරීමට අවස්ථාව දීම. ඒ වගේ ම එවැනි මිනීපෙට්ටි, සොහොන් සහ සුසාන භූමි යන සියල්ල සඳහා නම් කරන ලද අධිකාරියකින් අනුමැතිය ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සලකා බලන්න කියලයි අපි කියන්නේ.”

Leave A Reply

Your email address will not be published.

seventeen − 17 =