සාෆිගේ බිරිඳ – ඉමාරාගේ හඬට කන් දෙන්න 

වෛද්‍ය සාෆි ගැන දැනටමත් බොහෝ දේ ප්‍රචාරය කර අවසන්ය. එහෙත්, ඔහුගේ බිරිඳ වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරාගේ හඬට කන් දෙන්න යැයි අපි ඔබට ආරාධනා කරමු.

ඔබ ලංකාවේ අම්මා කෙනෙක්. ඔබට කොහොම ද මේක දැනෙන්නේ ?

හිතාගන්න බෑ… වචනවලින් කියන්න මට තේරෙන්නේ නෑ. ලංකාව කියන්නේ හොඳ රටක්. ඒ හොඳ රටේ මනුස්සයෙක්ව මෙතරම් අසරණභාවයට පත් කරන්නේ කොහොම ද කියලා හිතාගන්න බෑ. ගෑනු දරුවෝ දෙන්නෙකුගේත්, පිරිමි දරුවකුගේත් අම්මා හැටියට මට දැනෙන්නේ ඔය දේවල්.

හොඳයි, මුස්ලිම් අම්මා කෙනෙක් වීම ගැන දැනෙන්නේ ?

අනෙක් අම්මලා වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය. අනික් අම්මලා පාඩුවේ ඉන්නවා වාගේ මයි අපි පාඩුවේ ඉන්නවා. අභූත චෝදනා ගොඩක් දාලා, හිර කළාම අනෙක් අම්මලා පත් වෙන තත්ත්වයටම පත් වෙලා මම අද. පාරට දාලා. ගෙදර ඉන්න බෑ. දරුවෝ රැකගන්න ඕනෑ. සැමියා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තියෙනවා. පැමිණිල්ලක් හෝ චෝදනාවක් නැතිව ඔහු අත්අඩංගුවට ගත්තේ. පරීක‍ෂණ කරලා වැරදි ගැන සාක‍ෂි මත අරගෙන දඩුවම් කළා නම්, අපි හේතු දන්නවා. තාමත් පැමිණිලි එකතු කරනවා. මුස්ලිම් අම්මා කෙනෙක් වීම නිසා නේද මෙහෙම වෙන්නේ ?

අපේ සමස්ත සමාජයේම ඕනෑම අයෙක් යම් මොහොතක ඔය වගේ තත්ත්වයකට පත් වීමේ අවදානමක් තියෙනවා නේද?

මම දැන් ඉන්න තත්වය අනුව ඔබ කියන දේ පැහැදිලි නෑ.

එදා රිචඩ් ද සොයිසාගේ අම්මා මනෝරාණි සරවනමුත්තු වෛද්‍යවරියට ඔබට වඩා වේදනා විඳින්න වුණා නේද? අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකත් නෙරපා හැරියා නේද?

මට මේ දේ විඳගන්න හරි අමාරුයි. ඛෙහෙතුත් පාවිච්චි කරනවා මේ දවස්වල. ඔබ කියන පොදු දෙයක් මට දැනුණේ නෑ. මට දැනුණේ මේ අනාථ වෙල ඉන්න එක. දරුවෝ අනාරක‍ෂිත බවේ ඉන්න එක. ඔබ කියන දේවල් මට නිකමටවත් කල්පනා වුණේ නෑ. ලංකාව ගැන හිතලා, ලංකාවේ දේශපාලනය ගැන හිතලා කතා කරන්න මට ඇත්තටම තේරෙන්නේ නෑ. ඔබ කියන දේවල් ලොකුවට හිතන්න තරම් තත්ත්වයක මේ වෙලාවේ මම නැහැ. හැම වෙලේම හිතන්නේ, මේ රටේ සුළු ජාතියක් වීම නිසා මෙහෙම වෙනවා ද කියලා.

මේ දක්වා ඔබට එහෙම හිතන්න වෙලා තියෙනවද?

අන්න ඒක තමයි, දරා ගන්න අමාරු. මම ඉස්කෝලේ ගියේ සිංහල ළමයි ඉන්න ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයට. ඉගෙන ගත්තේ සිංහලෙන්. මහත්තයා නම්, දෙමළ ඉස්කෝලෙකට ගිහින් තියෙන්නේ. මගේ සම්පූර්ණ පසුබිම තිබුණේ සිංහල අයත් එක්ක. මගේ අම්මා, තාත්තාත් කුරුණෑගල සිංහල සමාජය එක්ක හිටියේ. මම සුළු ජාතික කෙනෙක් කියලා දන්නවා. ඒ වුණාට ඉස්සර කිසිම වෙලාවක අඩුවක් දැනුණේ නෑ. මගේ අයිතිවාසිකම් කියලා දෙයක් දැනුණේ නෑ, අපි හැමෝම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයක් නැතිව හිටියා. ජාති, ආගම් එන්නේ අපි ඇප්ලිකේෂන් දාලා නොවෙයි. එතකොට ඒ මත ප්‍රශ්න ඇති කර ගැනීම මම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නැහැ. මගේ මහත්තයාගෙත් ප්‍රතිපත්තිය තිබුණේ ‘අපි මනුස්ස ජාතිය’ කියලයි. මහත්තයත්, මමත් අගය කරන්නේ ‘හියුමැනිටි’ කියන එක.

පොදුවේ ගත්තම මිනිස්සු එහෙම නේ. ඒ වගේ අය මරාගෙන මැරෙන තත්ත්වයට පත් වන්නේ කොහොමද?

ඒකට හරියට උත්තර දෙන්න මට තේරෙන්නේ නෑ. අපි සාම්ප්‍රදායික මුස්ලිම් පවුල්වල. මහත්තයාත් එහෙමයි. අපේ පවුල්වල අයට ඔය අන්තවාදී සම්බන්ධකම් තිබුණේ නෑ. දෙමව්පියන්ගෙන් ආපු ආගම අපි එහෙමම පවත්වාගෙන ගියා. අනෙක් කිසිම කෙනකුට පුංචි හරි හානියක් කරන්න අපි හිතුවේ නෑ. මගේ මහත්තයා ඔය කියන දේවල් කළේ නෑ කියන්න මම දන්නවා. කවදා හරි ඒ ඇත්ත එළිවේවි.

එහෙම නම්, මෙහෙම චෝදනා නැගුණේ ඇයි ?
ඒක මම දන්නේ නෑ. අනුමාන කරන්න හේතු තියෙනවා. හැබැයි, මේ තරම් අභූත චෝදනා ගොඩක් කරන්න හේතු මට හිතා ගන්න බෑ. ලොකු ප්ලෑන් එකක් එක්ක කට්ටිය ගෙන යන දෙයක් කියලා මට දැනෙනවා. යට තියෙන දේ මොකක් ද කියලා දන්නේ නෑ. යම් යම් දේවල් හිතෙනවා. ඒ වුණාට පෘෘව් වෙන්නෙ නැතිව කියන්න බෑනේ.

ඒ තරම් නිර්දෝෂී නම්, පත්තරයක ප්‍රධාන සිරස්තලයක් හැදෙන්නේ කොහොමද? මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ නේද?

නිර්දෝෂීකම ගැන නම් ප්‍රශ්නය තියෙන්නේ, මේ ප්‍රශ්නය එන්න ඉස්සෙල්ලා මහත්තයාගෙන් ප්‍රතිකාර ගත්ත අය ඇත්ත දන්නවා. මගේ මහත්තයා ටිකක් වැඩිපුර සේවය කළ කෙනෙක්. මට දරුවන්ගේ වැඩ නිසා අනෙකුත් කටයුතු සොයා බලන්න ඕනෑ නිසා රාජකාරි කාලයට බොහෝ දුරට සීමා වුණා. එයා කාලයක් බලන්නේ නැතිව වැඩ කළා. එක දවසකට සිසේරියන් කරන්න ගත්තොත්, ඒ ඔක්කොම කරනවා. මොකද, ඒ අම්මලා පැය හයක්, හතක් කන්නේ නැතිව ඉන්නේ. සාමාන්‍යයෙන් කුරුණෑගල සිසේරියන් ගොඩක් වැඩියි. දවසකට පහළොවක් විතර කෙරෙන වෙලාවල් පවා තියෙනවා. රෑ අට, නවය වෙනකම් වැඩ කරනවා.

ඔබ මේ කියන්නේ, කුරුණෑගල රජයේ රෝහල ගැනද?

ඔව්. කුරුණෑගල රජයේ රෝහල ගැන.

ඔබ හොඳ තැනකට ආවා. එහෙම වෙලාවල දී මේ වැඩේ කරන්න ඉඩ තියෙනවානේ.

සිසේරියන් කරන තැන ඉන්නේ එයා විතරක් නම් පුළුවන්. එහෙම නැත් නම් අනෙක් අය මොකුත් දන්නේ නැත් නම්, ඒත් පුළුවන්. හොස්පිට්ල් එකේ ගොඩක් අය දැන් කතා නොකළාට ඇත්ත දන්න අය ඉන්නවා.

ඔය තරම් දක‍ෂ කෙනකුට අනෙක් අයට නොදැනී මේක කරන්න බැරි ද?

ඔය පැත්ත ගැන මයි හැමෝ ම කියන්නේ, දිවයින පත්තරේ ඔය ප්‍රවෘත්තිය පළ වූ දවසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කීවා නේ එහෙම පැමිණිලි නෑ කියලා. ඒ අතර තමයි ෆේස්බුක්වල ඔය පෝස්ට් එක ගිහින් තිබුණේ. පත්තරේ නමක් මොකුත් තිබුණේ නෑ. ඒකට ෆේස්බුක් ආටිකල් එකක් දැම්මේ කොහේවත් ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක්. එතැනින් තමයි, ලොකු ප්ලෑන් එකකට පෙරළුණේ. ඒ අයට අවශ්‍යතාව තිබුණේ, මහත්තයාව ඇතුළට ගැනීම වෙන්න ඇති. ඕකට කලින් පොලිසියෙන් ඇවිල්ලා කිව්වේ, මුදල් සම්බන්ධයෙන් චෙක් කරනවා කියලා නේ. ඒකට තමයි, මේ කොහේවත් තිබුණු එකක් පටලවා ගත්තේ.

මුලින්ම පොලිසිය ආවේ කවදද?

පොලිසියෙන් අපේ ගෙදරට ඉස්සෙල්ලාම ආවේ අප්‍රේල් 27, 28 වගේ දවසක. අවුරුදු පහළොවක දුව විතරයි ගෙදර හිටියේ. එයාගෙන් අහලා තිබුණේ, පිට කවුරුවත් ගෙදරට එනවද කියලා. ඒ කියන්නේ, ආගන්තුකයෝ. බෝම්බ ඇටෑක් එකෙන් පස්සේ ගෙවල් සර්ච් කරන එකක් තිබුණානේ. මගේ මහත්තයා ඒ ආව පොලිසියේ අයට කියලා තිබුණා ‘අපි නැති වුණාට කමක් නෑ රාජකාරිය කරන්න’ කියලා. ඊට පස්සේ මැයි මාසේ හතර වැනිදා ආපහු ආවා. ඒ වෙලාවේ අපේ අනෙක් ගෙදර නැවතිලා ඉන්න සිංහල ළමයින්ගෙන් විස්තර අරගෙන ගිහින් තිබුණා. අපි ඒ ළමයින්ව ග්‍රාම නිලධාරී ළඟ ලියාපදිංචි කරලා එහෙමත් ඉවර කළා. ඊට පස්සේ මැයි හය වැනිදා අපේ ලැබ් එකට ආවා. පිටරට රැකියාවලට යන අයට වෛද්‍ය සහතික නිකුත් කරන ආයතනයක්. අබේරත්න සමූහ ව්‍යාපාරයට අයිති බිල්ඩින් එකේ තට්ටු දෙකක් රෙන්ට් එකට අරගෙන මහත්තයාගේ තාත්තා කරගෙන යනවා.

එතකොට වෛද්‍ය සාෆි චැනල් කරන්නේ කොහෙද?

ඒත් මේ ගොඩනැඟිල්ලෙමයි. එතෙන්ට ඇවිල්ලා, පළමුවැනි වතාවට මහත්තයා හම්බ වෙලා ස්ටේට්මන්ට් එකක් අර ගත්තේ, අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්. බල්ලොත් අරගෙන ඇවිත් තිබුණා. ඒ මැයි හයවැනිදා. එයාලා ආපහු ගිහිල්ලා, හවස හතට විතර ඇවිත් තවත් ස්ටේට්මන්ට්ස් අරගෙන බෑන්ක් එකවුන්ට් විස්තර ගෙනියලා තිබුණා. ආයෙ මැයි 23 වැනිදා වෙනකම් ආවේ නෑ. ප්‍රසන්න කියලා ඔෆිසර් කෙනෙකුත් ඇවිත් හිතවත්කමකුත් ඇති කරගෙන තිබුණා. අපි වරදක් කරලා නැති නිසා බයවෙන්න දේකුත් නෑ නේ. සාමාන්‍ය විදියට වැඩ කරගෙන ගියා. චෙක් කරන ඒවත් ඉතින් සාමාන්‍යයි.

ඔබ කල්පනා කරන විදියට අසාමාන්‍ය දේවල් මොනවද?

දිවයින පත්තරේ ඔය ප්‍රවෘත්තිය ගිය දවසේ හවස ප්‍රොෆෙසර් චන්න ජයසුමන එයාගෙ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා. මහත්තයා ඡන්ද කාලේ කියපු කතාවක් එක්ක පත්තරේ ගිය ප්‍රවෘත්තිය. ඒක ගොඩක් ෂෙයාර් වෙමින් තිබුණා.

ඒ කතාව මොකක් ද?

‘ආගම්, ජාති භේද මට නැහැ. මේ වෙන කොට මව්වරුන්ට සිසේරියන් සැත්කම් ලොකු ප්‍රමාණයක් කරලා තියෙනවා’ කියලා පත්තරේ ඡන්ද දැන්වීමක් දැම්මා. ‘දිවයින’ ප්‍රවෘත්තියට ඒ පොයින්ට් එක ප්‍රොෆෙසර් අර ගත්තා. ඒකේ 4,000 කියලා දාලා තිබුණා. අන්න ඒක තමයි, එයාලා ප්ලෑන් කරලා මේකට එකතු කළේ. ඊට පස්සේ අපේ දරුවන්ගේ ෆොටෝස් ෆේස්බුක් එකෙන් අරගෙන දාලා ‘මුන්ව මරන්න ඕනෑ’ කියලා කමෙන්ට් දාන්න ගත්තා. මම ඒකට බය වුණා. ඒවා දැක්කේ නැත් නම්, ඒත් මම සාමාන්‍ය විදියට ඉන්නවා. දැන් ගෙදරට ඇවිල්ලා ගහයි, ගෙදරට ගල් ගහයි කියලා ලොකු බයක් හිතුණා.

ඉතින් ඉක්මනින් පොලිසි ගියේ නැද්ද?

දවල් වෙද්දී ඔය කමෙන්ට් දැක්කේ. මම මහත්තයාට කිව්වා, ‘හරියන්නෙ නෑ. අපි පොලිසියට ගිහින් පැමිණිල්ලක්’ කියලා. අපි දෙන්නා එදා හතර වෙනකම් ඩියුටි. ඊට පස්සේ සාකච්ඡා කරලා, ලෝයර් කෙනෙක් හමු වෙලා උපදෙස් අරගෙන පොලිසියට යන්න තීරණය කළා. අර ප්‍රොෆෙසර්ගේ පෝස්ට් එක අයින් කරගෙන තිබුණා. එතකොට ලෝයර් කියලා තිබුණා, සැටර්ඩේ පොලිසිය කමෙන්ට් එකකුත් දීලා ඩිමාන්ඩ් ලෙටර් එකක් දාමු කියලා. මට ඒ උත්තරේ සැටිස් මඳි. නෑ… නෑ… අපි පැමිණිල්ලක් අදම දාමු. ලෙටර් එක හෙට දෙමු කියලා කීවා. මහත්තයා මේ සිද්ධිය වැඩිය ගණන් නොගත්ත නිසා මගේ මල්ලිලාටත් එන්න කියලා ෆේස්බුක් එකේ ස්ක්‍රීන් ෂොට් ප්‍රින්ට් අවුට් එකක් අරගෙන පොලිසි යන්න ලෑස්ති වුණා. නෝම්බි දවස් නේ. ඊට ඉස්සර මහත්තයා පල්ලි ගිහින් එන්න ගියා. ගෑනු අය ගෙවල්වල. පිරිමි අය පල්ලියේ පැයක් විතර වඳිනවා.

ඊට පස්සේ මොක ද වුණේ ?

ඒ අතර මිස්ටර් ප්‍රසන්නයි, ඔෆිසර්ස්ලා දෙන්නෙකුයි ආවා. එළියෙත් කට්ටිය හිටියා මම දැක්කා. ගේ ඇතුළට ආව ඔෆිසර්ස්ලා දෙන්නා සෙටියේ වාඩි වෙලා විස්තර කතා කර කර හිටියා. මහත්තයා පල්ලි ගිිහින් එනකම්. මම අරගත්ත ප්‍රින්ට් අවුට් ටික මේසේ උඩ තිබිලා එයාලා බැලූවා. ‘ආ මෙහෙ ම කරන්නත් ලෑස්ති ද?’ කියලා ඇහුවා. මම කීවා, ‘ඔව්. අපි පොලිසියට එන්න කතාවෙලා එයා ගියේ’ කියලා. මහත්තයට කෝල් කරලා කිව්වා මේ අය ඇවිත් ඉන්නවා කියලා. ගෙදර ඇවිත් මහත්තයා ඒ ඔෆිසර්ස්ලාට සිද්ධ වෙලා තියෙන දේ කිව්වා. ‘බලන්නකෝ වයිෆ් දැන් ගෙදර ඉන්නත් බයවෙලා’ කියලා පැහැදිලි කළා.

ඊට පස්සේ එයාලා මොක ද කිව්වේ ?

‘හා එහෙනම් යමු’ කියලා ඒ අයත් අපේ වාහනේම නැග්ගා.

කවුරු කවුරු ද?

පල්ලියට ගිහින් එනකොට ආව මහත්තයාගේ යාළුවෙකුයි, මහත්තයයි, ඔෆිසර්ස්ලා දෙන්නයි. අපේ මල්ලිලත් ඒ අයගේ වාහනේ නැඟලා ගියා. අරගොල්ල ආව ජීප් එක මහත්තයාගේ වාහනය ෆලෝ කළා. පොලිසිය හරියෙ දී ජීප් එක ඉස්සර කරලා පාර බ්ලොක් කරලා, කුරුණෑගල අපරාධ විමර්ශන අංශයේ පුෂ්පලාල් මහත්තයා බැහැලා ඇවිල්ලා කිව්වාලූ, ‘ඩොක්ටර් දැන් ඇරෙස්ට් කරනවා’ කියලා. මල්ලිලාට එන්න එපා කියලා. යාළුවටත් කියලා. අර අපි හදපු කම්ප්ලේන් ෆයිල් එකත් ඔක්කෝම අරගෙන ගියා.

ඇරෙස්ට් කරන්න වොරන්ට් එකක් තිබුණද?

එහෙම කිසිම දෙයක් නෑ. අරගෙන පැයකට විතර පස්සේ මහත්තයත් අරගෙන ගෙදරට ආවා. සිවිල් ඔෆිසර්ස්ලා පස්සෙ දෙනෙක් එක්ක. ඊට පස්සේ මහත්තයා, ‘මාව දැන් ගෙනාවේ කටඋත්තර ගන්නද? මොකක් ද කරන්නේ?’ කියලා විස්තර ඇහුවා. ඒ ගොල්ලෝ කිව්වේ, ‘තොරතුරු වගයක් ලැබිලා තියෙනවා. පොඩි කාලයක දී ලොකු වත්කම් වැඩි කර ගැනීමක් ගැන’ කියලා. ඒ ගැන හොයන්න ඕනෑ කියලා කිව්වා. අපි ඉතින්, ඔහොම හිටියා. පොලිස් ඔෆිසර්ස්ලාගෙන් ප්‍රශ්න අහන්නත් බෑනේ. පැය බාගයකට විතර පස්සෙ දී ‘අපිට ගේ චෙක් කරන්න ඕනෑ’ කීවා. සී.සී.ටී.වී. ඕෆ් කරලා කන්ට්‍රෝල් එක ගලවා ගත්තා. පැය දෙකකට වැඩිය චෙක් කළා. අපේ ෆෝන් ගත්තා. මගේ ෆෝන් එකට ආන්සර් කරන්න එපා කිව්වා. හැම දේම චෙක් කරලා ලැප්ටොප් එකයි, මගේ චෙක් බුක් එකයි, තව තව දේවල් අරගෙන රෑ 2.00ට විතර ගියා.

මහත්තයා ඇරෙස්ට් කරන බව ඔබ දැනගෙන හිටියා ද?

නෑ. එයාලා කීවා, ‘මහත්තයාගේ ඇඳුම් දෙක තුනක් ලෑස්ති කරලා දෙන්න’ කියලා. එයාලට හරියට කෝල් ආවා. අපිට ඇහෙන්න ආන්සර් කළේ නෑ. අපේ එළියේ හිටපු කට්ටියට ඇහිලා තිබුණා. ‘පෘෘෆ් මොකුත් නෑ’ කියනවා. පස්සේ කටඋත්තරයක් ගන්න කියලා ගෙනිච්චා. පස්සෙ දී මට ආරංචි වුණා, ජේ.එම්.ඕ. රිපෝට් එක ගන්න ඒ වෙලාවේ ඔන් කෝල් හිටිය අයට නොදී එළියේ හිටිය වෙන කෙනෙක් ගෙන්නගෙන තිබුණා. හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් තමයි, ඒ ජේ.එම්.ඕ.ට කෝල් කරලා ගෙන්නාගෙන තිබුණේ. පහුව දා ඩිරෙක්ටර් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් හොස්පිට්ල් එකේ තියලා, පැමිණිලි තියෙන අය භාර දෙන්න කිව්වා.

දැන් කොහෙද මහත්තයා ඉන්නේ ?

ටී. අයි.ඩී. (ත්‍රස්ත විමර්ශන අංශය) එකේ. මට මේ කිසිම දෙයක් පැහැදිලි නෑ. සිද්ධි දාමයක් ඔය විදියට කෙළවර වුණේ. දැන් තවත් පැමිණිලි ගන්නවාලූ. මගේ මහත්තයා වී.ඕ.ජී. කෙනකු නොවෙයි. වී.ඕ.ජී.ගේ අධීක‍ෂණය යටතේ මගේ මහත්තයා වැඩ කරන්නේ. සිසේරියන් එකක දී ඇස් දහයක් විතර තියෙනවා. ඔය හැමෝගේම ඇස් වහලා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සීසර් එකක දී එල්.ආර්.ටී. එකක් කරනවා නම්, තවත් වෙනම වෙලාවක් යනවා. ඔය වගේ දෙයක් කරන්න නම්, අනිවාර්යයෙන්ම අනෙක් අයගේ සහයෝගය ඕනෑ. ඒක මනුස්සයකුට හොරෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. දොස්තරවරුන් ඇත්තට ම දන්නවා මෙහෙම වෙන්න බෑ කියලා.

ඔබලා වෘත්තීය සමිතිවල ඉන්නවා ද? ඔවුන්ගේ මැදිහත් වීමක් නැද්ද?

අපි දෙන්නම ඉන්නවා. ඒ අයත් කිසිම මැදිහත් වීමක් කළේ නෑ මේ වෙනකම්. ගොඩක් අය ඇවිල්ලා, මහත්තයට විරුද්ධව ප්‍රොටෙස්ට් කළා. තවත් දවසක ප්‍රොටෙස්ට් කළා ඩී. අයි.ජී.ගේ වයිෆ්. එයත් ඩොක්ටර් කෙනෙක්. එයාට දේශපාලනඥයෙක් මොනවද කීවා කියලත් ප්‍රොටෙස්ට් කළා. සාෆි වෙනුවෙන් යූනියන් එක මැදිහත් වුණේ නෑ.

මේ තත්ත්වයන්ට විරුද්ධව සාධාරණය වෙනුවෙන් මොකුත් කළේ නැද්ද?

ඒ හරිය මගේ ලෝයර්ගෙන් අහගන්න. මට කියන්න තේරෙන්නේ නෑ. ඇරෙස්ට් කරලා ඉවර වෙලා පැමිණිලි ගන්න ක්‍රමයක් කොයි නීති පොතේ ද තියෙන්නේ කියලා නම් මම දන්නේ නෑ. මම දන්නේ වෛද්‍ය විද්‍යාවනේ.

මේ රටේ පොදු ජනතාවට කියන්න තියෙන්නේ මොකක්ද?

හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවා, මොකක් ද වෙන්නේ කියලා. හෘද සාක්ෂිය දොස් කියන දේවල් කරන්න එපා. අපිව දැන් වැරදිකාරයෝ කරලා ඉවරයි.

Leave A Reply

Your email address will not be published.

eight − one =