විශ්වයම නුඹයි !

මං එයාට අත වැනුවා. එයත් මට ඒ  විදියටම අත වැනුවා. කාලෙකට පස්සෙයි අපි දෙන්නට දෙන්නා මෙහෙම  දකින්නේ. කාලය කොච්චර වේගයෙන් ගිහින් තිබුණත්, අපි ඇස් ඉස්සරහට ආවහම දෙන්නගෙ ම මූණු දි⁣ලිසෙන්න ගත්තා. එයා හිනා වුණා. මම ඒ වෙද්දිත් ⁣හිනාවෙන්න පටන්ගෙන. දැන් අපි අතර දුර මීටර් සීයක්වත් නෑ. ඊ ළඟට  කරන්න ඕනි මොකක් ද කියලා එකපාරට මට හිතා ගන්න බැරි වුණා. එයාටත් සතුටට හැමදේම අමතක වෙලා තිබුණේ. අපි වටේ ඉන්න අය අපි දිහා බලන් ඉන්නවා. දැන් දුවලා ගිහින් එයාව බදාගන්න ඕනි කියලා හිතුණා. මං ඉස්සරහට ම දිව්වා.  එයත් දුවගෙන මං ළඟටම ආවා.

“අපි බදාගත්තා.

“අපි බදාගෙන විනාඩි ගාණක් හිටියා. පුළුවන් තරම් තද කරන් අපි අපිව වින්දා. තාමත් එයා ගාව ඒ සුවඳමයි. මමත් එහෙම්මම හිටියා. ඒ නිමේෂය මගේ ජීවිතේ වටිනා ම මොහොත…….”‍

“මේක තමා එයා කියවපු මගේ පළමුවැනි වචන ටික. අපි කතා කරන්න පටන් ගත්ත මුල්ම දවස්වල මම ලියන ඒවා කියවන්න ආසයි කිව්වම, මම යැව්වේ මේක. ලියලා ඉවර කරලා නොතිබ්බ ඒ කතාව ආයේ එයාගේ කීමටම මම ඉවර කළා… පස්සේ මම හැම දා ම එයාට කතා ලියලා යැව්වා. එයත් ආසාවෙන් එකින් එක කියෙව්වා. එයාට දැනෙන දේ මට කිව්වා. ඇත්තටම ඒ වචන ටික තමා මට හැමදේටම වඩා වැදගත් වුණේ.  එයත් මට නිසඳැස් ලියලා එව්වා. අකුරු එකින් එක අමුණපු ඒ වචන හරි ලස්සනයි. මතක හිටින වචන,

“ඇස් වසා ගත් විට

මට පෙනෙන විශ්වයම නුඹයි

“මේ ඒ වගේ මතක වචන ටිකක්. අපි එතකොට ඉගෙන ගන්නවා. අපි දෙන්නම පාරවල් දෙකක. ඒත් හිත් එක තැනක. දවසක් රෑ මං කතාවක් ලියලා එයාට දැම්මා. එයා ඒක කියවලා විනාඩි ගාණක් සීන් කරලත් රිප්ලයි දැම්මේ නෑ. මම බය වුණා. ඒත් මම එයා රිප්ලයි දානකම් බලන් හිටියා. ටික වෙලාවක් ගියත් උත්තර ආවේ නෑ. මට දැන් කරන්න දෙයක් හිතා ගන්න බෑ.  මම එයාගේ චැට් එක ඇතුළෙමයි. කීප සැරයක් ටයිපින්  වැටුණට කිසි දෙයක් එයා එව්වේ නෑ. දැන් පැය බාගෙකට වැඩියි. මට තව බලන් ඉන්නත් බෑ. අපි ඒ වෙද්දී ප්‍රේම⁣වන්තයෝ නොවුණ හින්දා මම එයා ඒක කියවලා රිප්ලයි දානකම් බලන් හිටියා.

“විනාඩි 40ක් යද්දී එයා රිප්ලයි කළා. ඒක කවියක් පේළි 10ක් විතර.

“අමාරුවෙන් ගළපපු අකුරු. ඒකේ  අන්තිමට

“මං ඔයාට ආදරෙයි, තව දුරටත් මට මේක නොකියා ඉන්න බෑ.

“එහෙමයි අපේ ආදරේ පටත් ගත්තේ.  මම දැන් වෙනදට වඩා එයාට ලියනවා. කතා කවි දවස ගාණේ ලියනවා. එයත් ඒවා ඇතුළෙන් මගේ ආදරේ දකිනවා. ආදරේ පරිච්ඡේද ගාණක් අපි අකුරෙන් අකුර ලියන්න පටත් ගත්තා. මුහුද වෙරළවල්වල සවස් වරු අපිව ආදරණිය කළා. අඳුර වැටෙන්න ඔන්න මෙන්න දිලිසෙන ඒ ඇස්වලට මම ඇත්තමට ආසයි. මුහුදු රැල්ල අපේ හිනාව, අපේ ආදරේ, සුන්දර මතක වැලි අස්සේ දවසින් දවස එකතු කළා. අපේ මතක පුස්තකාලය වුණේ මේ මුහුදු වෙරළ.

“අපි දැන් දන්නවා, අපිට තව දුරටත් එකම පාරක යන්න බෑ කියලා. උදේට ඉර පායනවා වගේ හවසට ඉර බැහැල ගියා. පටන් ගත්තා වගේම අපිට තැනක දී නවතින්න වුණා. දැන් ආයේම අපේ දුර මීටර් සීයක් වෙලා. එයා ඒ කොනේ මම මේ කොනේ අපි දෙන්න මූණට මූණ බලන් හිටියා. එයා අත වැනුවේ නෑ.  මමත් නෑ. කවුරුත් අපි දිහා බලන් හිටියෙත් නෑ.  අපි කවදාවත් දුවගෙන ඇවිල්ලා ආයේ බදාගත්තෙත් නෑ. පිටිපස්සට හැරිලා දෙපැත්තට යන්න ගියා. ⁣ආපහු නොහැරි යන්නම ගියා.“

මේ එයා කිව්වා හින්දා ඉවර කරපු අර කතාවේ අන්තිම ටික. මම එහෙමයි කතාව ඉවර කරලා තිබුණේ.

“හෙට මාව හම්බ වෙන්න එන්න. මම ඇවිත් ඉන්නම් බීච් එකට  මතක් කරලා  මට  කියවන්න කතාවක් ලියලා ගෙනැත් දෙන්න.”

හිතාගන්න බැරි විදියට වෙන් වෙලා ගිය අපි අන්තිම පාරට හම්බ වෙන දවසට කලින් දවසෙයි එයා මට මේක එවලා තිබ්බේ. මම අන්තිම වතාවට එයා වෙනුවෙන් කතාවක් ලිව්වා. ඒත් මට මතක් වුණේ, එයාට මම මුලින්ම ලිව්ව කතාවේ මුලයි, මැදයි, අගයි.

මොකද, මම මුල්ම දවසේ නොදැනුවත්වම ලියලා තිබුණේ ඒ කතාවමයි. ඉතින්  පුරුදු වෙරළෙ දිම අපි ආයේ හම්බු වුණා. ලියාගෙන ආපු කතාව එයාට දුන්නා. එයා ඒක ගත්තා. පොඩි වෙලාවක් මුහුද දිහා බලන් ඉඳලා අපි යන්න ම ගියා.■

 

කවිඳු එන්. අමරතුංග

 

 

Leave A Reply

Your email address will not be published.

1 × two =