“පුතා නැඟිටින්න… නැඟිටින්න…” අම්ම උදේම කෑගහනවා.
“ඇයි… තව ටිකක් නිඳාගන්න දෙන්න කෝ…”
“නිඳාගෙන හරියන්නෙ නෑ… උදෙන් යන්න ඕන… දැනටම පෝලිම දිගයි ලු…”
“මොන පෝලිමද? ඇයි පන්දාහ දෙනව ද?”
“කෙහෙල්මල් පන්දාහක් නෙමේ… පැණිය ගන්න…”
“අයියෝ… මම දවල් වෙලා සයිමන් මාමගෙ කඬේට ගිහින් හොඳ කිතුල් පැණි එකක් ගෙනත් දෙන්නං… යන්න කෝ වද නොදී..”
“කිතුල් පැණි නෙමේ බං… කොවිඞ් පැණි… බෙහෙත්… බිව්වම ලෙඩේ දවස් දෙකෙන් හොඳ වෙනවලු…”
ඒකෙ පොඩි ගතයුත්තක් තියෙන එකේ හිච්චි කොලුවත් නැඟිටලා ලැහැස්ති වුණා.
“කොහෙ යන්නද මේ…?” පොඩි අයියා ඇහුවා.
“කොවිඞ් පැණිය ගන්න… දැනටමත් පෝලිම දිගයි ලු…”
“මොන පැණිය…?”
“අර කොවිඞ් පැණිය…. බිව්වම දවස් දෙකෙන් හොඳ වෙන එක…”
“දැන් කාටද ලෙඬේ හැදිල තියෙන්නේ දවස් දෙකෙන් හොඳ කර ගන්න…?”
කතාව ඇහිලා අම්මත් ආවා..
“කාටවත් හැදිලා ඇති එකක් නෑ… අරන් තියා ගන්න… හැදුණොත් බොන්න…”
“හැදුණොත් බොන්න කියලා ඕක ගන්න ගිහින් නැති ලෙඩ හදා ගන්න ද හදන්නෙ ඔය පෝලිම්වල තෙරපිලා ? ඇරත් කවුද දැන් කියන්නේ ඕකට ඔය ලෙඬේ හොඳ වෙනවා කියලා…”
“ඔය ටීවීවල කියන්නේ… අර කොහෙද ඉස්පිරිතාලෙක 20ක් බීලා 10ක් හොඳ වුණාලු…”
“දැන් ලංකාවේ දැනට අඳුර ගත්ත ලෙඞ්ඩු 33,000කට විතර, 150ක් වගේ තමයි, මැරිලා තියෙන්නේ… අනික් අය හොඳ වෙලා… දැන් ඕක නැතුවත් 95%ක් විතර හොඳ වෙලා නේ… ඔය හැමෝම වතුර බිව්වා කියලා හිතුවොත්, වතුරෙනුත් කොවිඞ් හොඳ වෙනවා කියලා මට කියන්න පුළුවන්…”
“ඕක නේ උඹලා ඉගෙනගෙන වැඩි වුණාම මේවා පේන්නේ නෑ.. මේක කාලි අම්ම හදලා දීපු බෙහෙතක්… එසේ මෙසේ එකක් නෙමේ…”
“මෙහෙමයි… ඔය අර අම්මලා මේ අම්මලා නැති වුණාට ලංකාවේ ඕනෑ තරම් දක්ෂ දේශීය වෛද්‍යවරු ඉන්නවා. ඒ මිනිස්සු ගාව අරුමපුදුම බෙහෙත් තියෙනවා… එහෙව් රටක මේ මාධ්‍යවලින් පුම්බන අය පස්සෙ යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න. දැන් පරීක්ෂණ කරනවලු නේ… ඕක හොඳ නම්, ඔය පරීක්ෂණ අවසන් කරලා රටට කියයි නේ.. එතකොට බොමු…”
“එතකන් ඉන්න බෑ.. එතකොට කොල්ලයි, බල්ලයි හැම එකාම ඕක පස්සෙ දුවයි… ”
“කොල්ලටයි, බල්ලටයි යන්න දෙයක් නෑ නේ.. එහෙම හොඳ එකක් නම්, ආණ්ඩුවට මැදිහත් වෙලා ඕක හදලා රටටම බෙදලා රටත් යවන්න බැරියැ…”
“මේ හිච්චි එකෝ… උඹ එනව නම් වරෙන්… මුගේ කතා අහ අහ හිටියොත් රෑටවත් එන්න වෙන්නෙ නෑ…”
“අපි කියන කතා අහනවා නම් බැරියැ… නිකමට පොඞ්ඩක් හිතන්න… ඇයි මේ මාධ්‍ය මෙච්චර මේක උස්සන්නේ ඇයි කියලා… එහෙන් රට හැම තැනම කොවිඩ් ලෙඩ්ඩු මතු වෙනවා.. දවසකට 500-600ක් ලෙඩ්ඩු හැමදාම… අඩු වෙන පාටක් ඇත්තෙම නෑ… වෙන රටවල් වැක්සින් ගහද්දි අපි ඒකට ණය ඉල්ලනවා. ශීතකරණ පහසුකම් නෑ කියනවා.. තනිකරම අපේ අවධානේ වෙන තැන්වල තියන්න මේ වගේ කතා ගේනවා… ඉතින් මිනිස්සු මේවට හීන දකිනවා…”
“අනේ මේ උඹේ බණ උඹ කියා ගනින් වෙන එකෙක්ට… හිච්චි උඹ එනව නම් වරෙන් මම යනවා…”
අම්ම එළියට බැහැලා ගියා. හිච්චි කොලුවත් පස්සෙන් ගියා.