කෙළෙසී යන ජනමාධ්‍ය ආචාරධර්ම

ආචාරධර්ම යන්න සරලව හැඳින්වුවහොත්, යම්කිසි කණ්ඩායමක් විසින් පොදු එකඟතාවක් මත සකස් කර ගත් දෙයක් බව කිව හැකි ය. එහෙත්, ආචාරධර්ම යනු ඊටත් එහා ගිය ගැඹුරු සංකල්පයකි. මෙය දැනුම පදනම් කොටගත් ක්‍රියාවලියකි. ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය ලක්ෂණයකි. ඒ ඒ සමාජ සන්දර්භයට අනුගතව එය අර්ථවත් වේ. වෘත්තීයමය වශයෙන් ආචාරධර්ම ගැන කතා කිරීමේ දී  වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතිඥවරුන්, හෙදියන් දිවුරුම් දෙන ආකාරය ඔබ දැක ඇත. ඔවුන්ගේ වෘත්තියට අනුව නියමයට අනුව යම්කිසි ආචාරධර්ම පද්ධතියකට අනුව කටයුතු කරන බවට එයින් ඔවුහු පොරොන්දු වෙති. ජනමාධ්‍ය තුළ ද එවන් ආචාරධර්ම පවතී. එහෙත්, ජනමාධ්‍ය සඳහා ප්‍රවේශ වීමට මූලික අධ්‍යාපන සුදුසුකමක් තවමත් හරිහැටි ලංකාව තුළ නොමැත. එබැවින්, ඕනෑම අයකුට ජනමාධ්‍යයට සම්බන්ධ විය හැකි ය. එම හේතුව මත ජනමාධ්‍ය ආචාරධර්ම බිඳී යන ස්වභාවයක් වර්තමානය වන විට දක්නට ලැබෙයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකත්වය ජනමාධ්‍යකරුවන්ට නොලැබෙන්නේ එබැවිනි.

වර්තමානය වන විට ජනමාධ්‍යකරුවන් අතර පවතින්නේ තරගයකි. ඉක්මනින්ම පුවත් ඉදිරිපත් කරන මාධ්‍ය ආයතනය බවට පත් වීමට ඇත්තේ, විශාල තරගයකි. මැතිවරණ සමයේ සහ වර්තමාන කොරෝනා තත්ත්වය සහ පාස්කු ප්‍රහාරය සමයේ මෙම තත්ත්වය කැපී පෙනිණි.

මාධ්‍ය ආචාරධර්මවල මූලිකම සාධක ලෙස මූලාශ්‍ර, නිරවද්‍යතාව, පෞද්ගලිකත්වය සහ පිළිතුරු දීමේ අයිතිය හැඳින්විය හැකි ය. එහි දී නිවැරැදි තොරතුරු, පුවත් තෝරා ගැනීම, වැරැදි තොරතුරු ඉදිරිපත් නොකිරීම, විකෘති කරන ලද තොරතුරු ඉදිරිපත් නොකිරීම, පෞද්ගලික ජන ජීවිතයට ඇඟිලි නොගැසීම ආදිය ජනමාධ්‍යය තුළ පවතින ආචාරධර්ම අතුරින් කිහිපයකි. වර්තමානය වන විට ජනමාධ්‍යකරුවන් අතර පවතින්නේ තරගයකි. ඉක්මනින්ම පුවත් ඉදිරිපත් කරන මාධ්‍ය ආයතනය බවට පත් වීමට ඇත්තේ, විශාල තරගයකි. මැතිවරණ සමයේ සහ වර්තමාන කොරෝනා තත්ත්වය සහ පාස්කු ප්‍රහාරය සමයේ මෙම තත්ත්වය කැපී පෙනිණි.

පාස්කු ප්‍රහාරය, යුද සමයේ දී ලේ වැගිරීම් සහ දරුණු ලෙස තුවාළ සිදු වූවන් නිතර රූපවාහිනිය තුළින් පෙන්වී ය. ඔවුන්ගේ තත්ත්වය ගැන නොසලකා ඇතැම් මාධ්‍යවේදීන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් පවා ප්‍රශ්න කරන ආකාරය දක්නට ලැබිණි. ළමා අපයෝජන සිදු වූ අවස්ථාවල එම දරුවාගේ ඡායාරූප පවා ප්‍රදර්ශනය කරන අතර, වයස සහ වෙනත් විස්තර ආදී සියලු‍ දෑ පවසයි. දේශපාලන අවශ්‍යතා මත ජනප්‍රිය පුද්ගලයන්, කලාකරුවන් ආදීන් රෝගී වී සිටින විට දේශපාලනඥයන් ඔවුන් බැලීමට ගිය අවස්ථා ඡායාරූපගත කරයි. පසුගිය ජනාධිපතිවරණය සමයේ දී ‘සිංහල බෞද්ධ නායකයෙකි‘ යන්න වරින්වර ඉස්මතු කිරීමට උත්සාහ කළේ ජාතිභේදය මතු කරමිනි. කෙනෙක් අපරාධයක් සිදු කළ විට ඔහුට හෝ ඇයට විශේෂණ නාම ද යොදන අයුරු මෑතක දී දක්නට ලැබිණි. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකාරිනියක වී සිට කොරෝනා වැළඳුණු කාන්තාවට ‘කුඩු රැජින‘ යැයි විශේෂණ නාම පවා ඈඳා තිබිණි. ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන කාන්තාවන්ගේ නම, ගම, වාසගම, ලිපිනය සහ ශරීර අංගලක්ෂණ පවා ඇතැම්  ජනමාධ්‍ය මඟින් සඳහන් කර තිබිණි. එහි නො තිබුණේ දුරකථන අංකය පමණි මේ ආකාරයට ලේ වැගිරීම්, සිය දිවි නසා ගැනීම් ආදියේ දී කෙනකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කරුණු ඉස්මතු කර පෙන්වීම, ජාතිවාදය ඇවිස්සෙනසුලු ඡායාරූප, පුවත් ඉදිරිපත් කිරීම ජනමාධ්‍ය ආචාරධර්මවලට පටහැනි ය. එහෙත්, වර්තමාන ජනමාධ්‍ය තරගකාරීත්වය මත ඒ කිසිවක් නොසලකා ඇතැම් ජනමාධ්‍ය ආයතන අවිනීතව හැසිරෙන ආකාරය ජනමාධ්‍ය මඟින් දක්නට ලැබේ. වාණිජ සහ ව්‍යාපාරික, දේශපාලනික වුවමනාවලට විකිණෙන වෙළෙඳ භාණ්ඩයක් බවට ‘ප්‍රවෘත්තිය’ අද වන විට පත්ව ඇත. ජනමාධ්‍ය අවශ්‍ය වන්නේ ප්‍රජාවට වුවමනා දේ පමණක් ඉදිරිපත් කිරීමට විනා කිසි විටෙක එය කෙනකුගේ පෞද්ගලිකත්වය කෙළෙසීමේ අවියක් නොවේ. වර්තමානය වන විට කෙළෙසී යන ජනමාධ්‍ය ආචාරධර්ම හමුවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සහ ජනමාධ්‍යවලට අදාළව විනය නීති මාලාවක් හඳුන්වා දිය යුතු කාලයක් උදා වී ඇති බව අවිවාදයෙන් පැවසිය යුතු ය. ■

 

චමෝදි පෙරේරා

Leave A Reply

Your email address will not be published.

five + thirteen =