බුර්කාව, සාරිය සහ (ගැහැනුන්ගේ) සංස්කෘතිය

අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ වහාම ශ්‍රී ලංකාවේ මුල් පෙළේ දේශපාලන සාකච්ඡාවලට කේන්ද්‍ර වූයේ ආගමික අන්තවාදීන්, රාජ්‍ය ආරක්ෂාවේ අඩුලුහුඬුකම්, ආගමික සංහිඳියාව පිළිබඳ නොයෙකුත් අදහස්ය. ආගමික අන්තවාදීන්ගෙන් බහුතරය උගත්, යැයි කියා ගන්නා තරුණ පිරිමි වූහ. ආරක්ෂක මණ්ඩලය මුළුමනින්ම පිරිමි දේශපාලනඥයන්ගෙන් සමන්විත වූවකි. ආගමික සංහිඳියාව ගැන කතා කළේ අගරදගුරුතුමා සහ බෞද්ධ/මුස්ලිම් පිරිමි ආගමික නායකයන්ය. එහෙත්, ඉතා සරදම් සහගත ලෙස සති කිහිපයකට පසුව මේ සාකච්ඡාව ශීඝ්‍රයෙන් වඳ සැත්කම්, බුර්කාව, සාරිය යනාදී වූ ගැහැනු ශරීරයට අදාළ වන මාතෘකා වටා කේන්ද්‍රගත වන්නට පටන් ගත්තේ ය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුර්කාව ගලවා ගැහැනුන්ට සාරි අන්දවන්නට පිරිමි පාලකයන් තීරණය කළ අතර, සිංහල ජාතිය වඳ කිරීමට පැමිණියේ යැයි කියන මුස්ලිම් පිරිමියකු දංගෙඩියට යැවීමට ගැහැනුන්ට ඉදිරියට පැමිණෙන්නැයි ඇරයුම් කොට තිබේ. මේ අතරතුර ත්‍රස්තවාදයට සෘජු සම්බන්ධයක් නැතත්, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අහෝසි කරන ලෙස ද බොහෝ දෙනා ඉල්ලා තිබේ. දැන් සංස්කෘතිය ආරක්ෂා කිරීම මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිය ඇඳුම ගැලවීම ද ගැහැනුන්ගේ වගකීමක් වී තිබේ. මේ අතර, තමන් පිළිපැදිය යුත්තේ රජය විසින් පනවනු ලැබූ නීතිය ද, නො එසේ නම්, ආගමික නායකයන් විසින් පැන වූ නීතිය ද, එසේත් නැතිනම් තම ශරීරය ගැන තීරණ ගැනීමේ අයිතිය හෝ සංස්කෘතිය පිළිපැදීම පිළිබඳ කැමැත්ත ක්‍රියාවට නඟන්නේ ද යන උභතෝකෝටිකය ගැහැනුන් හමුවේ ඉතිරි වෙයි.දකුණු ආසියානු කලාපය තුළ සංස්කෘතිය යනු යමකුගේ පෞද්ගලික ජීවිතයේ කොටසක් ලෙස පිළිගනු ලබන අතර, එය ආරක්ෂා කිරීමේ වගකීම ගැහැනිය මත පැටවෙන රාජකාරියක් ය යනුවෙන් රාධිකා කුමාරස්වාමි ලියයි. චාරිත්‍ර, පුරුදු සහ සදාචාරය ආරක්ෂා කිරීමේ වගකීම හැම විටම පැවරෙන්නේ ගැහැනියටය. ‘සම්ප්‍රදායික සංස්කෘතික වටිනාකම්’ ලෙස දැනට සැලකෙන බොහොමයක් චාරිත්‍ර සහ පුරුදු ඇත්තෙන්ම බටහිර විසින් යටත්විජිතකරණ ක්‍රියාවලිය තුළ පටවනු ලැබූ අදහස් වෙයි. බොහෝ පූර්ව යටත්විජිත සමාජයන්හි පැවැති මාතෘ මූලිකත්වය පිළිබඳ සම්ප්‍රදායයන්ට ද එය සිදු වී තිබේ. මෙය ආසියාව තුළ මෙන්ම, පැසිෆික් සහ අප්‍රිකානු කලාපයට ද පොදු වන්නකි. බොහෝ මාතෘමූලික ව්‍යුහයන් වෙනුවට යුරෝපීය යටත්විජිතකරණ ක්‍රියාවලිය තුළ බටහිර අනුකරණය කරන පීතෘමූලික ව්‍යුහයන් ආදේශ කරන ලදී. එහෙයින් නව යටත්විජිතවාදයට එරෙහිව සටන් කරන මිනිසුන්ම බටහිර විසින් බලෙන් පටවනු ලැබූ පවුල් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ව්‍යුහයන් අනුමත කරනු ලැබීම හාස්‍යජනක ය. එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීම එහි කාන්තාවන්ට නිදහස ලබා දීම උදෙසා සිදු කරනු ලැබූවක් ය යන තර්කයේ නව යටත්විජිතවාදී ස්වභාවය කිරාන් ග්‍රෙවාල් සිය ස්ත්‍රීවාදී රචනා තුළ පෙන්වා දෙයි. පශ්චාත් පාස්කු ප්‍රහාර සමය තුළ, මුස්ලිම් කාන්තාවන් ‘ෂරියා නීතියෙන් ගලවා ගැනීම’ සහ ‘බුර්කාවෙන් නිදහස ලබා දීම’ පිළිබඳ සිංහල පිරිමි තර්ක, මෙයින් වෙනස් නොවන්නේ ය යන්න මගේ අදහසයි. ඇත්තෙන්ම, සංස්කෘතිය යනු හැම විටම නරක දෙයක් නොවේ. එය විවිධ අයුරින් මිනිසුන්ගේ අනන්‍යතා සහ ජීවිත සරුසාර කිරීමෙහි වැදගත් මූලාශ්‍රයක් වෙයි. අප ප්‍රවේශමෙන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නය එය නොවේ. මේ සංවාදය නියෝජනය කිරීමේ බලය හිමි වන්නේ කාට ද යන්නයි. සංස්කෘතිය වෙනුවෙන් කතා කිරීමේ අයිතිය හිමි වන්නේ කාට ද? සංස්කෘතිය පිළිබඳ සිය අදහස අන් අය මත පැටවීමට බලය ඇත්තේ කාට ද? එකී සංස්කෘතියෙහි සැබෑ ස්වරූපය ලෙස පෙනී සිටින්නේ කුමක් ද? කිසියම් නිශ්චිත අන්දමකට සංස්කෘතිය රාමුගත කිරීම වූ කලී පුරුෂමූලික, ජාතිවාදී සහ අනෙකුත් ධූරාවලිගත ක්‍රියාවලීන්ගේ අන්තර් ක්‍රියාකාරකම්වල නිෂ්පාදනයකි. අප ‘අව්‍යාජත්වය’ සොයන්නේ ද, ප්‍රභූ පිරිමින්ට කතා කිරීමේ අයිතිය ලබා දෙන්නේ ද එබඳු පසුබිමකය. එහෙයින්, ‘පිරිසිදු’ සාම්ප්‍රදායික සංස්කෘතියක් පිළිබඳ ප්‍රකාශයන් පිළිබඳව අප සැක පහළ කළ යුතුය. සියලු සංස්කෘතීන් වෙනස් වන අතර, සියල්ලම විවිධ බාහිර සහ අභ්‍යන්තර සාධකවල බලපෑමට ලක් වී තිබේ. පෞරාණික, පූර්ව-යටත්විජිත සංස්කෘතියක් පුනර්ජීවනය කිරීමට හෝ ආරක්ෂා කිරීමට වඩා අප උනන්දු විය යුත්තේ අප සියලු දෙනා පිළිගන්නා සංස්කෘතිය, එහි ජීවත් වන සියල්ලන්ට සුදුසු වන්නේ ද යන්න තහවුරු කර ගැනීමටය.

කෞෂල්‍යා ආරියරත්න

Leave A Reply

Your email address will not be published.

4 − three =