හකුළන, හැකිළෙන බුද්ධි අංශ සහ මන්ද බුද්ධික මත

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් කළ සාක්ෂි විමසීම් වලදී මේ වන විට වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් ශාන්ත කෝට්ටෙගොඩ, හිටපු ආරක්ෂක අමාත්‍යාංශලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසින් හෙළිදරව් කරන ලද තොරතුරු නිසාය. මෙම සාක්ෂි විමසීමත්, ඔවුන් විසින් හෙළි කළ කරුණුත් නිසා මේ වන විට ආරක්ෂක මණ්ඩලය, බුද්ධි අංශ සහ බුද්ධි තොරතුරු වඩාත් කතාබහට ලක් වෙන මාතෘකා බවට ද පත් වී තිබේ.

ජාතික ආරක්ෂක මණ්ඩලය

ජාතික ආරක්ෂක මණ්ඩලය සම්බන්ධවත් ඊට ජනාධිපතිවරයාට කැමති පිරිස පමණක් සම්බන්ධ කර ගත් බවටත් චෝදනාව එල්ල වූයේ බෝම්බ ප්‍රහාරයෙන් දින කිහිපයක් ඉක්ම යන්නටත් මත්තෙනි. එවැන්නක් සිදු වෙමින් තිබුණද, අගමැතිවරයා පවා ඊට සම්බන්ධ කර නොගත් බවට චෝදනා එල්ල වුවද ඒ කිසිවක් ප්‍රහාරයට පෙර කිසිවෙකු විසින් ප්‍රකාශ කළේ නැත. කෙසේ වෙතත් 2018 ඔක්තෝබර් මාසයේ සිට ප්‍රහාරය එල්ල වන තෙක් කිසිම අවස්ථාවක තමන්ව ජාතික ආරක්ෂක මණ්ඩලයට කැඳවූයේ නැති බව පූජිත් ජයසුන්දර විසින් විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය. ඒ ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව බවත් පැවසීය. ජනාධිපතිවරයාට එසේ කළ හැකිද? ජාතික ආරක්ෂක මණ්ඩලය යනු ජනාධිපතිවරයාගේ අභිමතය අනුව එහි සාමාජිකත්වය තීරණය වන ව්‍යුහයක්ද?
ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයාගේ අභිමතය අනුව සාමාජිකත්වය තීරණය වන්නක් නොවේ. එහෙත් එය ව්‍යවස්ථාපිත ආයතනයක් ද නොවේ. එසේ වුවද එය නිත්‍ය සාමාජික මණ්ඩලයකගේ නියෝජනයකින් සැදුම්ලත් ව්‍යුහයක් වන අතර අවශ්‍යතාවයන් අනුව වෙනත් වගකීම් දරන්නන්ද ඊට කැඳවනු ලැබේ.

ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්

  • ජනාධිපති
  • අගමැති
  • ආරක්ෂක රාජ්‍ය ඇමති
  • ජනාධිපති ලේකම්
  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
  • ත්‍රිවිධ හමුදාපතිවරු
  • පොලිස්පති
  • ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්
  • විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරු
  • ජාතික බුද්ධි ප්‍රධානී
  • රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ


මෙම පිරිසගෙන් සැදුම්ලත් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ජාතික ආරක්ෂාවට වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සිදු වන අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබඳවද යම් තාක් දුරට සාකච්ඡා කරනු ලබයි. ඒ අනුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික තීන්දු තීරණ ගනු ලබන ජාතික ආරක්ෂක මණ්ඩලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු එක් ප්‍රධාන පාර්ශ්වයකි. ජාතික බුද්ධි ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබ දුන් සාක්ෂි අනුව අප්‍රේල් 04 වන දා වන විට මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියා වෙත ලැබී තිබේ. ඔහු පවසන පරිදි ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම් හේමසිරි ප්‍රනාන්දුව දැනුවත් කර ඇත. එහෙත් අප්‍රේල් 09 වන දින කැඳවනු ලැබූ ජාතික ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවධානය යොමු කර නැත. කෙසේ වෙතත් ජාතික බුද්ධි ප්‍රධානියා පවසන පරිදි ප්‍රහාරය පිළිබඳ ලැබුණු තොරතුර පොලිස්පතිවරයා වෙත අප්‍රේල් 09 වන දිනම දැනුම්දීමට කටයුතු කර තිබේ.

ජාතික බුද්ධි ප්‍රධානි

පසුගිය දා ධුරයෙන් ඉවත් කරන ලද සිසිර මෙන්ඩින් කටයුතු කරනු ලැබූයේ මෙම ධුරයෙහිය. ධුරයට අදාළ නම සහ ඊට සමාජය තුළ ඇති වී තිඛෙන ප්‍රතිරූපය අනුව සමස්ත බුද්ධි අංශ වගකීමම ඔහු සතුව පවතින්නේ යයි හැඟී ගියද ජාතික බුද්ධි ප්‍රධානියාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වගකියන තනතුරකි. ඔහුට විශාල කාර්යමණ්ඩලයක් නොමැති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහායට සිටින නිලධාරියෙකි. ලැඛෙන බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට වාර්තා කිරීම ජාතික බුද්ධි ප්‍රධානියාගේ මූලික වගකීම වේ. එසේම එම තොරතුරු පිළිබඳ ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාටත් ආරක්ෂක මණ්ඩලයටත් දැනුම් දීම ද ඔහුගේ වගකීමේ කොටසකි. 2003 වසරේදී මෙම තනතුර ආරම්භ කර ඇති අතර එය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලබන තනතුරකි. වසරෙන් වසර සේවා දිගුවක් මත මෙම තනතුරෙහි කටයුතු කරන්නාගේ සේවය ලබා ගනියි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ කපිල හෙන්දාවිතාරණ ජාතික බුද්ධි ප්‍රධානි වශයෙන් කටයුතු කළ අතර 2015 ජුනි මාසයේ සිට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊට පත් කරනු ලැබීය. පසුගිය දා ඔහුව සිය ධුරයෙන් ඉවත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ කිසිදු රාජ්‍ය නිලධාරියෙක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට නොයන ලෙස තමන් විසින් කර තිබූ නියෝගය නොසලකා හැරීම නිසාය.

රාජ්‍ය බුද්ධි සේවය

ජාතික බුද්ධි ප්‍රධානියා හෝ ඔහු යටතේ සිටින කාර්ය මණ්ඩලය විසින් බුද්ධි තොරතුරු එක්රැස් කිරීම සිදු නොකරන අතර එය සිදු කරනු ලබන්නේ රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ විසිනි. රාජ්‍ය බුද්ධි සේවය (SIS – State Intelligent  Service) ඒ අතරින් ප්‍රමුඛ වේ. මීට පෙර එය ජාතික රහස් තොරතුරු විමර්ශන කාර්යාංශ්‍ය (NIB – National Investigation Bureau) ලෙස හඳුන්වනු ලැබීය. එහි ප්‍රධානියා ද ජාතික ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරයි. මෙය පොලිසියේ නියෝජ්‍ය පොල්ස්පතිවරයෙකුගේ වගකීම යටතේ පැවතිය ද එය සෘජුව ආරක්ෂක අමාත්‍යාංශයට වගකියන ආයතනයකි. ඒ අනුව රාජය බුද්ධි සේවය සෘජුවම ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට වග කියනු ලබයි. එහෙත් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශත්, ජාතික බුද්ධි ප්‍රධානියාත්, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාත් නියෝජනය කරමින් එහි වගකිවයුත්තන්ගේ සහභාගි වන බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීමක් සතියකට වරක් කැඳවෙන්නේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නොමැති අවස්ථාවක පමණක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එය කැඳවනු ලබයි. මෙම සමාලෝචනයේදී හඳුනා ගනු ලබන ජාතික වැදගත්කමක් ඇති තොරතුරු ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාටත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත්, ජාතික ආරක්ෂක මණ්ඩලයටත් ඉදිරිපත් කිරීම ඉහත කී පරිදි ජාතික බුද්ධි ප්‍රධානියාගේ වගකීමකි.

ගැටලූව කොතැනද?

කටයුතු මෙසේ සිදු වුවද ප්‍රහාරයට පැය විසි හතකර පෙර නිකුක් කළ වාර්තාවේ පවා මෙවැනි ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් වී නැත. ඒ වන විටත් තිබී ඇත්තේ විදේශ බුද්ධි අංශ විසින් ලබා දුන්නේ යයි කියන තොරතුරු පමණකි. එසේම පොලිස්පතිවරයා වෙත ලැබී තිබුණු තොරතුරක කටුවාපිටිය ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරු වන මහම්මදු හස්තූන් නැමැත්තාගේ නම සඳහන් වුව ද ඔහු සහරාන්ගේ බිරිඳ සමග සිටින තවත් අයෙකුගේ ස්වාමිපුරුෂයා බව පමණක් සඳහන්ව තිබී ඇත. 2017 වසරේ මාර්තු මාසයේ කාත්නන්කුඩි වල සිදු වූ ගැටුමෙන් පසු සහරාන් හෂීම් අත් අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොටුව මහේස්ත්‍රා්ත් අධිකරණයෙන් ලබා ගත් වරෙන්තු දෙකක් තිබියදී ද ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකි විය. ප්‍රහාරයට පෙර කරන ලදැයි කියන සහරාන් හෂීම් ඇතුලූ ප්‍රහාරක කණ්ඩායම අයි.එස්.අයි.එස්. සංවිධානයේ කොඩිය සමග සිටින දර්ශන වීඩියෝගත කර ඇත්තේ කොළඹ කොල්ලූපිටියේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ පස් වන මහලේදීය. ජනාධිපති මන්දිරය සහ අරලිය ගහ මන්දිරයට ඉතාම ආසන්න ස්ථානයකදී මෙවැන්නක් සිදු කරද්දී පවා ඒ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ අසමත් වී තිබේ.
ඒ අනුව මේ වන විට පැහැදිළි වන එක් කරුණක් වන්නේ බුද්ධි තොරතුරු එක්රැස් වීමේ සහ ඒවා විමර්ශනය කිරීමේ බරපතළ ගැටළුවක් තිබී ඇති බවයි. ඇතැමුන් බුද්ධි අංශ දුර්වල කිරීම සහ බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූ බව හුවා දැක්වීමට උත්සාහ කරයි. එහෙත් සැබෑ හේතුව එය නොවේ. මෙවැනි තත්ත්වයක් ඇති වීමට බුද්ධි අංශ අතර තිබූ අන්තර් සම්බන්ධය අකාර්යක්ෂම වීම සහ එකිනෙකා අතර තිබූ දේශපාලන ගැටුම් ප්‍රධාන හේතුවයි. බුද්ධි තොරතුරු හා සම්බන්ධ හැම ව්‍යුහයකටම මෙම තොරතුරු ලැබී ඇති අතර එක් අංශයකින්වත් ප්‍රමාණවත් විමර්ශනයක් සිදු කර නොමැත. සරලව කියන්නේනම් හැමෝම ටික ටික දැනගෙන සිට ඇත. එහෙත් සංයුක්ත සම්බන්ධීකරණයක් සහිතව ඊට මැදිහත් වී නැත. එසේම ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් ලැබිය යුතු අවධානය ලැබීමක් ද සිදු වී නැත.

බුද්ධි ව්‍යුහයන් රහස්‍ය ද?

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරමින් සිටින සාක්ෂි විමසීම් විසින් බුද්ධි අංශ නිලධාරීන් රටට අනාවරණය වන බවත් බුද්ධි අංශයට අදාළ ව්‍යුහයන් නිරාවරණය වන බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිසක් විශාල මතයක් ගෙන යමින් සිටියි. එහෙත් ලෝකයේ ප්‍රධානම බුද්ධි අංශයන්ගෙන් එකක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI (Federal Bureau of Investigation) හි සියලූම තොරතුරු, එහි සංවිධාන ව්‍යුහය, කාර්යයන්, අංශ ප්‍රධානීන් මෙන්ම එහි අධ්‍යක්ෂවරයා පවා නම් සහ ඡායාරූප සහිතව අන්තර්ජාලයට මුදාහැර තිබේ. එසේම CIA (Central Intelligence Agency) ප්‍රධානියා ද රහසිගත පුද්ගලයෙකු නොවේ. වෙනෙකක් තබා ආසන්නම උදාරහණයක් වන ඉන්දියාවේ RAW (Research and Analysis Wing) ඔත්තු සේවයේ ප්‍රධානීන් බව සැඟවුණු චරිත නොවේ.

ලංකාවේදී පමණක් විශේෂ ඇයි?

ලංකාවේ දී ද තත්ත්වය මීට වඩා වෙනස් නැත. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ ජාතික බුද්ධි ප්‍රධානියා කවුද යන්නත් ඉහත කී අයුරින්ම අන්තර් ජාලය ඔස්සේ සොයා ගත හැකිය. ඒ නිසා ගැටලූව එය නොවේ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හරහා මේ වන විට හෙළි වෙමින් යන්නේ බුද්ධි තොරතුරු වලට අදාළ සම්බන්ධීකරණයේ සහ වගකීමේ තිබූ දුර්වලතාවයන් සහ ගැටළු පිලිබඳවය. බුද්ධි අංශ නිලධාරීන් මාධ්‍ය ඉදිරියට ගෙන ඒම තුළින් ආරක්ෂාවට තර්ජයනයක් වන්නේ යයි කියමින් මොවුන් වසා ගන්නට උත්සාහ දරමින් සිටින්නේ ඒවාට වගකිවයුත්තන් කවුරුන්ද යන්න හෙළිදරව් වීමය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

eighteen − five =