කලිසම් ගැලවුණ කොමිසම්

කොමිෂන්වල උපත

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වූයේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ය. ඒ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරය දරන අවධියේ ය. අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම පිහිටුවනු ලැබුවේ ඊටත් පෙර වෙනම ම පනතකිනි. 17 වැනි සංශෝධනයෙන් පිහිටු වූ කොමිෂන් සභා අතුරින් සාමාජිකයන් පත් කොට සක්‍රියව ක්‍රියාත්මක වූයේ පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම පමණකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් 17 වැනි සංශෝධනයෙන් ක්‍රියාත්මක වූ කොමිෂන් සභා අක්‍රිය කරනු ලැබී ය. 2015 පත් වූ පසුගිය හවුල් ආණ්ඩුව විසින් නැවතත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආ අතර, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කොමිෂන් සභාවලට ලබා දුන් බලතල ප්‍රමාණයට වඩා බලතල ප්‍රමාණයක් ද නව සංශෝධනයෙන් එක් කර දුන්නේ ය.

19 වන සංශෝධනය

ජාතික පොලිස් කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, මුදල් කොමිසම, අධිකරණ සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම යනාදී ලෙස කොමිෂන් සභා ස්ථාපිත කෙරිණි. එම කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරිණි. ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ පවත්වා කොමිෂන් සභාවලට සාමාජිකයන් හා සභාපතිවරුන් පත් කළ යුතු බවට තීරණය විය.
එහි දී වැඩිමනත් කතාබහට ලක් වූයේ ස්වාධීන මැතිවරණ කොමිසම ය. මැතිවරණ කොමිසම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ ද, ඊට සාමාජිකයන් පත් කෙරුණේ නැත. නමුත්, 19 වැනි සංශෝධනයෙන් ඊට සාමාජිකයන් පත් කළ අතර, එහි සභාපති ධුරයට පත්වූයේ ඒ වන විට මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කළ මහින්ද දේශප්‍රිය ය.
මැතිවරණ සම්බන්ධයෙන් පූර්ණ බලධරයා මැතිවරණ කොමිසම වූ අතර, පොලිසිය සම්බන්ධයෙන් අධිකාරී බලයක් පොලිස් කොමිසම සතු විය. අධිකරණ සේවා කොමිසම ඇතුළු සෙසු කොමිෂන් සභාවල තත්ත්වය ද ඊට වෙනස් නොවී ය.

20 වන සංශෝධනය

19 වැනි සංශෝධනයෙන් සීමා කොට පැවැති ජනාධිපති බලතල යළි ලබා ගැනීම වෙනුවෙන් ගෙනා 20 වන සංශෝධනයෙන් කොමිෂන් සභාවල බලය ද නිෂ්ක්‍රිය කෙරිණි.  ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලය ස්ථාපිත කෙරුණු අතර, කොමිෂන් සභා සභාපතිවරුන් ඇතුළු සාමාජිකයන් පත් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතු විය.
20 වැනි සංශෝධනය අනුමත වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභා 5ක් සඳහා සභාපතිවරුන් ප්‍රමුඛ සාමාජිකයන් පත් කළ අතර, එය අනුමත කිරීම උදෙසා පාර්ලිමේන්තු සභාවට යොමු කර තිබිණි. පාර්ලිමේන්තු සභාව විසින් එය අනුමත කරන ලදී.
19 වැනි සංශෝධනයෙන් ස්ථාපිත ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා යොමු කරන නම් ප්‍රතික්ෂේප කිරීමේ බලය පැවැතිය ද, 20 වැනි සංශෝධනයෙන් ස්ථාපිත පාර්ලිමේන්තු සභාවට එවැනි බලයක් නොමැත.

මැතිවරණ කොමිසම

ඒ අනුව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ලෙස පත් කර ඇත්තේ, නීතිඥ නිමල් ජී. පුංචිහේවා ය. ඔහු මැතිවරණ කොමිසමේ හිටපු නීති ලේකම් ද වේ. සෙසු සාමාජිකයන් වන්නේ එම්. එම්. මොහොමඞ්, එස්.බී. දිවාරත්න, ජීවන් ත්‍යාගරාජා හා කේ. පී. පී. පතිරණ ය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා සාමාජිකයන් පස් දෙනකු ලෙස වැඩි කරන ලද්දේ 20 වන සංශෝධනය මඟිනි. නිමල් ජී. පුංචිහේවා අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටින සමයේ සිට මිත්‍රයෙකි. 1988-1989 කාලයේ මහින්ද රාජපක්ෂ සමඟ එක්ව එවක එ.ජා.ප ආණ්ඩුවේ භීෂණ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කළ නීති මණ්ඩලයේ සිටි සාමාජිකයෙකි.
මහින්ද රාජපක්ෂ 1994 ආණ්ඩුවේ ධීවර ඇමති වන විට නිමල් පුංචිහේවා ‘සීනෝර්’ ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වීම් ලබන්නේ ය. ඉන් පසු දිගටම මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු තනතුරු හොබවන්නේ ය. කලක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ අතර, මානව හිමිකම් කොමිසමේ නීති ලේකම්වරයා ලෙස ද කටයුතු කළේ ය.
කුමන තනතුරු හෙබවුවත්, මාධ්‍ය සමඟ මෙන් ම ඇමතිවරු සමඟ ද සුහදව කටයුතු කිරීමේ සහජ හැකියාවක් ඔහු සතු විය. රනිල්-මෛත්‍රී ආණ්ඩු සමයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොහුගේ නම යෝජනා කළ ද, එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඊට විරෝධය පළ කිරීම නිසා මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව මැතිවරණ කොමිසමේ නීති ලේකම් ලෙස පත් කරන්නේ ය. කොතැනක සිටිය ද, ඔහු රාජපක්ෂ පවුලේ හිතවතෙකි.

රාජ්‍ය සේවා කොමිසම

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ධුරයට පත් කරන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි ය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරය දරන අවධියේ ජනාධිපති ලේකම් වූ කුසුම්සිරි බාලපටබැඳි ඔහුගේ සොහොයුරෙකි. සෙසු සාමාජිකයන් ලෙස ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එච්. පියදාස, දිලිත් ජයවීර, වී. සිවඥානසෝති, ඒ.එල්.එම්. සලීම් පත් කර තිබේ.
ඉන්ද්‍රානි සුගතදාස යනු රාජ්‍ය සේවයේ දක්ෂ නිලධාරිනියක වන අතර, කලක් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපතිනිය වූවා මෙන් ම රක්ෂණ මුදල් මණ්ඩලයේ ද සභාපතිනිය වූවා ය. ඇය හිටපු ජනාධිපති ලේකම් මෙන්ම වත්මන් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ ය. ව්‍යාපාරිකයන් දෙදෙනකු ද මීට පත් කර ඇති අතර, ඒ ඩයන් ගෝමස් හා දිලිත් ජයවීර ය. මෙහි කතාබහට ලක් වූයේ දිලිත් ජයවීර ය.
පාර්ලිමේන්තුවේ දී සමඟි ජනබලවේගයේ මන්ත්‍රී මනූෂ නානායක්කාර මෙම පත්වීම් ගැන විමසා සිටියේ ය. “රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයකු ලෙස මාධ්‍ය හිමිකරුවකු මෙන් ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර පත් කර තිබෙනවා. මේ ජනාධිපතිවරණයේ දී කළ දේ සඳහා කෘතගුණ සැලකීමක් ද? අනෙක ඔහු වෛද්‍ය ක්ෂේත්‍රයට උපකරණ ගෙන්වන සමාගමකත් සභාපතිවරයෙක්. මෙය රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක්.” මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කීවේ, පාර්ලිමේන්තු සභාව අනුමත කරන ජනාධිපතිවරයාගේ පත්වීම් ගැන මෙහි දී සාකච්ඡා කළ නොහැකි බව ය.
රාජ්‍ය සේවක උසස්වීම්, ස්ථාන මාරුවීම් මෙන්ම රාජ්‍ය සේවකයන්ට වන අසාධාරණකම් ගැන ද සාකච්ඡා කරන තැනට ව්‍යාපාරිකයන් දමා ගැනීමෙන් රාජ්‍ය සේවයට අගතියක් වන බව වෘත්තීය සමිති චෝදනා කරයි. මන්ද ව්‍යාපාරිකයන්ට සිය ටෙන්ඩර් අනුමත කර ගැනීම වෙනුවෙන් අල්ලස් ලෙස උසස් වීම් ලබා දෙන බවට පැවසිය හැකි බව ය. එසේ අල්ලස් පෙන්වා ව්‍යාපාරික ටෙන්ඩර් අනුමත කර ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.

පොලිස් කොමිසම

ජාතික පොලිස් කොමිසමේ සභාපති ලෙස පත් කර ඇත්තේ හිටපු පොලිස්පතිවරයකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු ය. සෙසු සාමාජිකයන් ලෙස එස්. ලියනගම, ඒ.එස්.පී.එස්. ප්‍රියන්ත සංජීව, එම්. එස්. එම් සම්සුදීන් හා ප්‍රේමසිරි පෙරේරා, ගුණපාල වික්‍රමගේ, වී.පී. පරමේෂ්වරම් යන අය පත් කර තිබේ.
චන්ද්‍රා ප්‍රනාන්දු යනු පොලිස් සේවයේ දී කැළැල් ඇති කර ගත් පුද්ගලයෙකි. ඔහුට පොලිස්පති ධුරය ලබා දෙනවාට ඉතිහාසයේ මුල්වරට විරෝධය පළ කළේ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය ය. ඔවුහු එවක ජනාධිපතිනියට මොහුට විරුද්ධව සාක්ෂි සහිත චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කළහ. යාපනය පොලිස් අධිකාරීව සිටි සමයේ පොලිස් භාරයේ තිබු රත්‍රන් භාණ්ඩ අතුරුදහන් වීමක්, සුදුසුකම් සපුරා නැති කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් පරීක්ෂිකාවක් දක්වා උසස් කිරීම යනාදී චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබිණ. නමුත්, ඔහු ජනාධිපතිනියගේ හිතවතකු වීම තුළ කුමන චෝදනා එල්ල වුව ද ඔහුට පොලිස්පති ධුරය හිමි විය.

මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට පත් වන්නේ, කලක් ඇමතිවරයකු ලෙස ද කටයුතු කළ ආචාර්ය ජගත් බාලසූරිය ය. සෙසු සාමාජිකයන් ලෙස විජිත නානායක්කාර, හර්ෂ නවරත්න, අනුෂා ෂන්මුගනාදන්, ආචාර්ය නිමල් කරුණාසිරි යන අය පත් කර තිබේ.
ජාතික කෞතුකාගාරයේ රන් අසිපතක් ඇතුළු භාණ්ඩ කිහිපයක් නැති වූයේ ආචාර්ය ජගත් බාලසූරිය සංස්කෘතික ඇමතිව සිටි කාලයේ ය. පසුව කංගැට්ටා නමැති අයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර, රන් කඩුව ඇතුළු භාණ්ඩ ද සොයා ගැනිණ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර ය. සෙසු සාමාජිකයන් ලෙස හිටපු අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ පත් කර තිබේ.
ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස සිටිය දී ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කියා තිබුණේ, තමන් හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතියක බවයි. එසේ ම මහින්ද රාජපක්ෂ යනු නීති විද්‍යාලයේ සිටි හොඳම මිතුරා බව ද ඇය විසින් කියා තිබිණ. එසේ ම ඇය විභාග කළ නඩුවක දී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස ය.
සරත් ෆොන්සේකාට එරෙහි සුප්‍රකට සුදු කොඩි නඩුවේ තීන්දුව ලබා දුන්නේ ඇය මහාධිකරණ විනිසුරුවරියක ලෙස සිටිය දී ය. පසුව ඇය අභියාචනාධිකරණයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළ ද, ව්‍යවස්ථාදායක සභාව එය ප්‍රතික්ෂේප කළේ ය.
20 වන සංශෝධනයෙන් ස්ථාපිත කොට ඇති කොමිෂන් සභා සඳහා පත් කර ඇත්තේ මෙවන් පිරිසකි. ඔවුන්ගේ ඉතිහාසය ගැන අපට කිව හැකි වුව ද, ඔවුන්ගේ වර්තමානය හා අනාගතය ගැන අපට කීමට නොහැකි ය. එය දැකගත හැක්කේ ද අනාගතයේ දී ය. එනමුදු අතීතය අනාගතයේ කැඩපත බවට ද කියමනක් පවතී.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

3 × four =