“මින් පස්සේ කොවිඩ් ගැන ලොකු දෙයක් ලියන්න නැති වෙයි සමහර විට”

ෆයිසර් සමාගම සහ බයෝඑන්ටෙක් සුසංයෝගය විසින් නිෂ්පාදනය කල කොවිඩ් වැක්සීනය එක්සත් රාජධානිය තුළ භාවිත කිරීම සඳහා අනුමැතිය දීමත් සමග ෆයිසර් සමාගමේ බෙල්ජියම් ඖෂධ නිපදවීමේ පිරියතයෙන් එන්නත් මාත්‍රා මිලියන ගණනක් සහිත කන්ටේනර් කිහිපයක් අද ගමන් ආරම්භ කර තිබෙනවා. පුරා වසරක් පමණ එකතැන සිරවී සිටි ලෝකය එම දසුන වෙත තම නෙත් දැල්වුවේ නැවතත් හුස්ම ගැනීමේ බලාපොරොත්තු දල්වා ගනිමින්.
සී. එන්. එන්. ප්‍රවෘත්ති සේවය බයෝඑන්ටෙක් ප්‍රධානි සහ එහි ප්‍රධාන විද්‍යාඥ මහාචාර්ය උගුර් සහීන් හමුවී අද පැවති සාකච්චාවෙන් පසු වාර්තා කළේ බටහිර ලෝකය තුළ කොවිඩ් එන්නතක් නිත්‍යානුකූල කල ප්‍රථම රට බවට බ්‍රිතාන්‍යය පත්වීමෙන් පසු කොවිඩ් වසංගතය අවසන් කිරීමේ පළමු පියවර තැබීමට අද හැකි වූ බවයි. ඒ අනුව බටහිර රටක් විසින් ප්‍රථම වරට එම රටවැසියන් සඳහා අනුමත කළ ප්‍රථම වැක්සීනය බවට ෆයිසර් එන්නත (Pfizer vaccine) පත් වෙනවා.
සියයට අනුපහක සාර්ථක බවක් පෙන්වා ඇති ෆයිසර් වැක්සීනය මුලින්ම එන්නත් කරනු ඇත්තේ වයස්ගත පුද්ගලයන් වෙනුවෙන්. ඉන්පසුව සෞඛ්‍ය සේවකයන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය රාජකාරී කොටස් වෙනුවෙන් මේ එන්නත බ්‍රිතාන්‍යය තුළ නොමිළයේ ලබා දෙනු ඇති.
සායනික පර්යේෂණ වලට අමතරව සාමාන්‍ය ජනයා සඳහා ලබා දෙන ලොව මුල්ම එන්නත මේ අනුව ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත වනු ඇත. මේ ප්‍රවෘත්තියත් සමඟ නැවතත් සාමාන්‍යයෙන් පුරුදු පරිදි මිනිස් ජීවිත චලනය වීම ආරම්භ වනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළකරනවා. කෙසේ උවත් ව්‍යාජ එන්නත් සෑදීමේ සහ විකිණීමේ කූට සැලැස්මක් ගැනත් ජාත්‍යන්තර පොලිසිය ඇස ගසාගෙන සිටිනවා.
ඉතිං මේ සියල්ල එක්කලා කියන්න තියෙන්නේ තව පොඩ්ඩක් පරිස්සමෙන් දේවල් අල්ලාගෙන ඉම්මු කියල….
මින් පස්සේ කොවිඩ් ගැන ලොකු දෙයක් ලියන්න නැති වෙයි සමහර විට. ඒ නිසා සියල්ල එකට කැටි කරලා පොඩි ප්‍රශ්නයක් අහන්නම්.
පුරා වසරක් පමණ අප මේ පැන්ඩමියක සමඟ ජීවත් වූ පසු ඉගෙන ගත් වඩාත්ම වැදගත් පාඩම කුමක් දැයි ඔබෙන් යමෙක් විමසුවොත් ඔබගේ පිළිතුර කුමක් ද?
දෘෂ්ටිවාදය බොනවාට වඩා එන්නතක් ගහන එක සනීප විය හැක.. (ස්ලාවෝ ජිජැක්).
-මහේෂ් හපුගොඩ ( fb)

Leave A Reply

Your email address will not be published.

five × five =