මහර : ‘පෙති කතාව’ බොරුවක්

මානසික ආතතියට භාවිත කරන ඖෂධ ලබාගැනීම නිසා මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් සහ සිරකරුවන් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති බවට ආණ්ඩු පාර්ශ්වයෙන් කරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස්  පවසා තිබේ.

මේ අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා අදාළ ඖෂධ ලබාගන්නා රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් පීඩාවට පත්ව ඇති බවත්, එම ඖෂධ සම්බන්ධයෙන් වන විශ්වාසය පිළිබඳ ගැටලු මතුවන බවත් අවධාරණය කරන විශේෂඥ වෛද්‍යවරයා, මීට අදාළ ව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබේ. මෙම ඖෂධ මගින් සිදුකෙරෙන්නේ මානසික ආතතිය අවම කර, කලබල නොවන තත්ත්වයට මනස පත්කිරීම හෝ නිද්‍රාවට පත්කිරීම බව ද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමට පෙර වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගත යුතුව තිබුණු බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය වර්ගවලින් මෙවැනි තත්ත්වයක් මනස තුළ ඇති කළ හැකි බවද පෙන්වා දුන් ඔහු, කිසිදු විමර්ශනයකින් තොරව මෙසේ ඖෂධ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ආණ්ඩුවේ ඇමැතිවරුන් ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුවට කරුණක් බව ද පැවසීය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් පෙරේදා (30) මෙසේ සිරකරුවන් පෙති ලබාගෙන ඇති බවට මුල් වරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන ලදි.

ඉන් පසුව ඊයේ (01) බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායකත් සහභාගී වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ මානසික ආතතියට භාවිත කරන පෙති සහ නිද්‍රාජනක පෙති රැඳවියන් විසින් ලබාගෙන ඇති බවත්, එය ඔවුන්ගේ කලහකාරිත්වයට හේතුවක් වී ඇති බවත් ය. දැනට තුවාල ලබා රෝහල්ගතව සිටින රැඳවියන් ද අදාළ පෙති ලබාගැනීම නිසා තවමත් ව්‍යාකූලත්වයෙන් හැසිරෙන බව ද කොමසාරිස්වරයා සඳහන් කර තිබිණි. මෙවැනි පෙති 21,000 ක් පමණ අදාළ ඖෂධ ගබඩාවේ තිබී ඇති බවත්, එපමණ ප්‍රමාණයක් එහි ගබඩා කර තිබුණේ ඇයි ද යන ගැටලුව මතුවන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

12 + six =