අවිෂ්කගේ පිත්ත ජැෆ්නා ස්ටැලියන්ස් ජය ගෙනෙයි

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් තරගාවලියේ දෙවන තරගය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ඊයේ (27 දා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළේ ය. වඩාත්ම පෙර සූදානම් වුණු කණ්ඩායම ලෙසින් පළමු තරගය සඳහා අවතීර්ණ වූ ජැෆ්නා ස්ටැලියන්ස් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී රැස් කරන ලද ලකුණු 92 ක එම ජයග්‍රහණයට විශේෂම හේතුව විය.

තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකලාභියාගේ වාර්තාව තමන් සන්තකයට ගනිමින් ගෝල් ග්ලැඩියේටර්හි ශහිඩ් අෆ්රිඩි රැස් කරන ලද අර්ධ ශතකය හේතුවෙන් ලකුණු 176 ක ඉලක්කයක් ලබා දීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත් විය. එය හඹා යෑමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු 3 ක් සහ කඩුලු 8 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරා ගත්තේය.

මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට අද දිනයේදී පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දුගේ නොබිඳුණු ලකුණු 92 ක ඉනිම සඳහා ඔහු පන්දු 63 කට මුහුණ දුන්නේ ය. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර හතරැක අයත් විය. එම ඉනිම නිසාම දෙවන LPL තරගයේදී අවිෂ්ක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

අර්ධ ශතකය පන්දු 40 කදී සපුරාගත් දකුණත් පිතිකරුවාගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ වර්තා වෙද්දී ෂොයෙබ් මලික් සමඟ තෙවැනි කඩුල්ලේ නොබිඳණු සම්බන්ධතාවය ලකුණු 110 ක්  ලෙසින් සටහන් විය. තරගය හමාර වන විට අනෙක් අන්තයේ රැඳී සිටි මලික් ලකුණු 27 ක් ලබා සිටියේ ලකුණු 03 ක් ලබා සිටියදී පන්දු යැවූ ශහිඩ් අෆ්රිඩිට පෙරළා ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑම හේතුවෙනි.

කොවිදඩ් 19 වෛරසය ආසාධිත වී සුව වීමෙන් පසු නැවතත් තරග බිමට පිවිස ගෝල් ග්ලැඩියේටර් නායක ශහිඩ් අෆ්රිඩි කාසියේ වාසිය දිනා ගැනීමත් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන් වෙත පීඩනය එල්ල කිරීමට සැලසුම් කළේය. මෙවර තරගාවලිය සඳහා වැඩිම පෙර සූදානම් වූ කණ්ඩායම බවට පත් වුණු ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයින් ඒ සඳහා රුකුලක් ලබා දෙන ලද්දේ රැක ගත යුතු උඩ පන්දු 3 ක් සහ එක් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් මඟ හරවා හැරීමෙනි

එම අවස්ථා 4 න් වැඩිම වාසිය ලබා ගනු ලැබුවේ ‘බූම් බූම්’ (Boom Boom) යන අන්වර්ථ නාමයෙන් හැඳන් වෙන ශහිඩ් අෆ්රිඩිය. ලකුණු 17 ක් ලබා සිටියදී ඇබොට්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව වනිඳු හසරංග අතින් ගිලිහී යෑමෙන් වාසිය ලබා ගත් අෆ්රිඩි සිය ඉනිම ලකුණු 58 ක් දක්වා ඉහළ දමා ගත්තේය. සමාරම්භක තරගයේදී 18 හැවිරිදි රහමනුල්ලා ගුර්බාස් පන්දු 21 කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද වේගවත්ම අර්ධ ශතකයේ හිමිකාරීත්වය පැය 24 ක් ගත වීමට මත්තෙන් අෆ්රිඩි තම සන්තකයට ගනු ලැබුවේ ඒ සඳහා පන්දු 20 ක් පමණක් වැය කරමිනි.

උඩ පන්දුව ගිලිහී යෑමෙන් පසු පන්දු 11 කට මුහුණ දුන් අෆ්රිඩි ඩුවෑන් ඔලිවර් විසින් යවන ලද 18 වැනි පන්දුවාරයේදී ලකුණු 24 ක් උදුරා ගනිමින් තවත් ලකුණු 41 කින් ඉනිම ඉහළ දමා ගත්තේ ගෝල් ග්ලැඩියේටර් පිල ඉලක්කයකට ගෙන එමිනි.

පළමු පන්දුවාරයේදීම ලකුණු 4 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දුවද්දී දවා ගැනීමට අවස්ථාවක් උදා වුවද එය මඟ හැර ගැනීමේ වාසියෙන් ඔහු ලකුණු 38 ක් දක්වා සිය ඉනිම ඉහළ දමා ගත්තේය. ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හිටපු පාක්සාතානු කඩුලු රකින මොයින් ඛාන්ගේ පුත් අසාම් ඛාන් තිසර පෙරේරාගේ පන්දු හමුවේ පිට පිට පන්දු 2 කදී බිනුර ප්‍රනාන්දු සහ චතුරංග ද සිල්වා අතර උඩ පන්දු ලබා දුන්නද එම අවස්ථා 2 ම ගිලිහී යෑම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමට අසාම් හැකි විය. කෙසේ වෙතත් අවස්ථා 2 ක් අසාම්ට හිමි වුවද ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණකි.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් ඉමහත් බලාපොරොත්තු තබා සිටි යාපනය ප්‍රදේශයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතයට ඇතුළත්ව සිටි තේවින්ද්‍රන් ඩිනෝශාන්(18), විජයකාන්තන් වියස්කාන්ත්(19) සහ කනගරත්නම් කබිල්රාජ්(21) මෙම තරගයට ඇතුළත්ව නොතිබීමද විශේෂයකි.

තරගාවලියේ තෙවැනි දිනය වන අද (28 දා) දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකින්ග්ස් පිල තරගාවලියේ පළමු වතාවට ක්‍රීඩා කරනු ඇත. මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව පැවැත්වෙන එම තරගය ප.ව. 3.30 ට ආරම්භ වන අතර ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු කිංග්ස් අතර තරගය ප.ව. 8 ට ආරම්භ වනු ඇත.

Leave A Reply

Your email address will not be published.

14 − three =