Red Apple International Theater Festival – 2020

කොවිඩ් 19 වෛරසය මිනිසුන්ට සේම අඩු වැඩි වශයෙන් ව්‍යාපාර, ආර්ථිකය, අධ්‍යාපනය මෙන්ම කලාවටද බලපෑම් කරමින් පවතී. තවමත් වෛරසය නැවැත්විය නොහැකි වුවත් අභියෝගයන්ට හැඩගැසෙමින් ලෝකය අනාගතය වෙත ගමන් කරමින් ඇත. ගතවන නිමේශයට හැඩගැසිය නොහැකි දෑ යල්පැන යන නිසාවෙන් ලෝක මට්ටමේ කලාවක් වන වේදිකා නාට්‍ය කලාව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තැබූ වෙනස් අභියෝගාත්මක පියවරකි ‘Red Apple – ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උලෙළ’ . එය දෙසැම්බර් පළමුවැනිදා සිට ඇරඹේ. එහි අධ්‍යක්ෂක  සචිත්‍ර රාහුබද්ධ සමඟ ‘ලංකා’ කළ සංවාදයක සටහනකි මේ.

මුලින්ම කියන්න ‘Red apple’ ආයතනය ගැන?

ළමා හා තරුණ නාට්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් තමයි ‘Red Apple’ කියන්නේ. අපි දැන් අවුරුදු පහළොවක් විතර වෙනවා වැඩ පටන් අරන්. ‘Red Apple Theater Academy of Creative Art’ මඟිනුත් විශේෂයෙන්ම ළමයින්ගෙ නිර්මාණාත්මක ආකල්ප දියුණු කිරීම වෙනුවෙන් Theater in Education Academy  විදිහටත් ක්‍රියාත්මක වනවා. Theater සම්බන්ධයෙන් මෙන්ම ලංකාවේ සමාජ සංවර්ධනය වෙනුවෙන් කලාව භාවිතා කරන ආකාරය පිලිබඳවත් වැඩකටයුතු කරන ආයතනයක්. මේ වන විට ‘Red Apple’ ආයතනයක් විදිහට ලංකාව සහ ජාත්‍යන්තරය අතර Hub එකක් විදිහට වැඩ කරනවා.

සචිත්‍ර රාහුබද්ධ

මොකද්ද මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ?

මේක සුවිශේෂී කාලයක්. දෙවෙනි ලෝක යුද්ධය පවතින කාලෙදිවත් මුළු ලෝකෙම රංග ශාලා වහල තිබුණේ නෑ. මේ වෙලාවේ මුළු ලෝකෙම තියන රංග ශාලා  වහලා. විශාල නිර්මාණ ශිල්පීන් පිරිසක් නිර්මාණ පෙන්වීමට නොහැකිව ඉන්නවා. ඒ වගේම රසික පිරිසක් නිර්මාණ බොහොමයක් රසවිඳීමට නොහැකිව ඉන්නවා. ඒත් ව්‍යාපාර, අධ්‍යාපනය වගේම අනික් සියල්ලම පවතින තත්ත්වය හමුවේ තමන්ගේ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වෙන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ නිසා අපි කල්පනා කළා වේදිකා නාට්‍යකරුවන්ට බැරිද තමන්ගේ ප්‍රේක්ෂකයා සමඟ සම්බන්ධ වීමට නූතන ක්‍රමයක් හොයාගන්න. පළවෙනි කොරෝනා රැල්ල එනකොටත් මේ ගැන සාකච්ඡා වෙමින් තමයි තිබුණේ. නමුත් වෛරසය පිලිබඳ දැනුවත් බවක් නොමැතිකම නිසාවෙන් අපිට ඒ අවස්ථාවෙදි අපේ අදහස ක්‍රියාත්මක කරගන්න බැරි වුණා.

මේ වතාවෙදි අපිට හැකි වුණා අදාල වටපිටාව කළමනාකරණය කරගෙන ජාත්‍යන්තර වශයෙන් නාට්‍යය උලෙළක් අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන්න. අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ලෝකය පුරා විසිරී සිටින ප්‍රේක්ෂක පිරිස සහ නාට්‍යකරුවන් එක තැනකදී මුනගස්සවන එක. ඒ වගේම ඔවුන් අතර බැඳීම නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යාම.

කොහොමද මේ නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ?

සජීවී බව තමයි නාට්‍ය කලාවේ සුවිශේෂත්වය වෙන්නෙ. නමුත් මෙතනදි ඒ සජීවී බව නැති වෙනවා. ඒ නිසා අපිට වේදිකා නාට්‍යක තියන impression එක සීයට සීයක් ගන්න බැරිවෙනවා. ඒ වුණත් තාක්ෂණය මගින් නාට්‍යකරුවා සහ රසිකයා මුණගැස්වීමට අපි උපරිම උත්සාහ කරනවා. ලෝකයේ සහ ලංකාවේ පළවෙනි වතාවට තමයි Theater Festival එකක් live කෙරෙන්නේ. පවතින තත්ත්වයන් මත මෙතනදී නාට්‍යකරුවන් එක්රැස් කළ නොහැකි නිසා කලින් පටිගත කෙරුණු නාට්‍ය තමයි අපි live stream එකක් විදිහට ප්‍රදර්ශනය කරන්නේ. මෙතැනදි Facebook, Youtube, Zoom කියන platform අපි භාවිතා කරනවා.

ඒ අනුව දෙසැම්බර් 01 සිට 05 වෙනිදා දක්වා උදේ 11.30 සවස 3.30 හා 7.30 ට නාට්‍ය වේදිකාගත කරමින් නාට්‍ය උළෙල පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සූදානම් වෙමිනුයි තියෙන්නේ.

මේ සඳහා සම්බන්ධ වන රටවල් මොනවද ?

අපි මුලින්ම ප්ලෑන් එක හදලා ඇප්ලයි කරන්න දවස් පහළවක් දීල තිබුණා. ඒ දවස් කිහිපය ඇතුළත විවිධ රටවල් 64 කින් විතර  අයදුම්පත් 218 ක් අපිට ලැබුණා. ඒ අතරිනුත් ඉන්දියාව වගේ රටවල් වලින් නාට්‍ය හැත්තෑවක් විතර ඉදිරිපත් වෙලා තිබුණා. මොකද ඉන්දියාව කියන්නෙ ප්‍රාන්ත ගණනාවක් තියන ඒ ඒ ප්‍රාන්ත අතර වෙන වෙන භාෂා කතා කරන රටක් නිසා.

එතනදී තමයි අපිට හොදටම තේරුණේ ලෝකයේ ඉන්න නාට්‍යකරුවන්ට තමන්ගෙ නාට්‍ය තමන්ගේ ප්‍රේක්ෂකයින් අතරට ගෙනියන්න කොයි තරම් වුවමනාවක් තියෙනවද කියල. ඊට පස්සෙ අපි ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය සහ බෙල්ජියම කියන රටවල නාට්‍යකරුවන් පස්දෙනෙක් නම් කළා අපේ නාට්‍ය කමිටුව විදිහට. ඒ අය තමයි නාට්‍ය තේරීම් කමිටුව. එතනින් එක දවසකට නාට්‍ය තුන ගානෙ දවස් පහට නාට්‍ය පහළොවක් අපි තෝරාගත්තා.

නාට්‍ය නියෝජනය කරන රටවල් මොනවාද?

ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංගලාදේශය, මැලේසියාව, ඉතාලිය, රුසියාව, ස්‌පාඤ්ඥය සහ ශ්‍රී ලංකාව කියන රටවල් නාමයෙන් මේ උළෙලට නාට්‍ය ඉදිරිපත් වෙනවා.

උදය චාලක රණසුරිය

ඒ අතරින් උදය චාලක රණසුරියගේ ‘බොක්ස්’ සහ චන්දිම දෙල්පචිත්‍රගේ ‘තාප්පයෙන් පනින්න’ කියන නාට්‍ය දෙක තමයි ලංකාව නියෝජනය කරන්නේ.

මේ සඳහා අවශ්‍ය වන තාක්ෂණික , විකාශන සහ සංවිධානමය කටයුතු වලදී ඒ වෙනුවෙන්  දායකත්වය එක්කර ගත්තේ මොන විදිහටද?

අපිට අවශ්‍ය සියලුම තාක්ෂණික පහසුකම් සැපයීම වෙනුවෙන් Harmonic Crescendo  කියන ආයතනය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන Chords නමින් අංශයක් එම ආයතනයේ තියනවා. ඒ මඟින් තමයි Upload, –  Download, Online stream, Zoom  යන සියලුම පහසුකම් වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නේ. අනෙක් සියලුම කටයුතු සංවිධානය කරන්නේ Red Apple International Theater  ආයතනය විසින්.

මේ වෙනස් කාලයක්. මේ කාලය තුළ වේදිකා නාට්‍යට අත්වන තත්වය ගැන ඔබේ අදහස මොකක්ද?

චන්දිම දෙල්පචිත්‍ර

විශාල අභියෝගයක් තමයි මේ වෙලාවේ වේදිකාවට එල්ල වෙන්නේ. මොකද

විත්‍රපටි, සංගීතය වගේ විෂයන්ට තාක්ෂණය හරහා තමන්ගේ ගමන යන්න පුලුවන්. Netflix වගේ ආයතන දැනටමත් ඒ අනුව කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඔය කියන තාක්ෂණික පැත්තට එනකොටම වේදිකා නාට්‍යක සජීවී බව නැති වෙනවා. ඒත් සෞඛ්‍ය අංශ කියන්නේ තව අවුරුදු දෙකක් විතර මෙම වෛරස් ව්‍යාප්ති තත්ත්වය යටතේ ගතකිරීමට සිදුවෙන බවයි. එතැනදී නාට්‍ය සිය වෘත්තිය කරගත් නාට්‍යකරුවන් සහ ලෝකය පුරා සිටින ප්‍රේක්ෂකාගාරයට අත්වන ඉරණම මොකක්ද? අප විසින් එය රැක ගත යුතුයි නේද.

ඒ නිසා අපි මේ උළෙල සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන්නේ. ඒත් මීළඟට අපි වේදිකා නාට්‍යයක් subscription එකක් ගෙවල බලන්න පුලුවන් විදිහේ තැනක් ගැන උත්සහ කරනවා. ඒක නාට්‍ය නිෂ්පාදකයාට වාසි සහගත තත්වයක්. ඔහුට ආදායමක් එන නිසා නාට්‍යකරුවාව ආරක්ෂා කරගන්න පුළුවන් වේවි.

දැන් මේ වෙන කොටත් ලෝක මට්ටමින් cine theater  නමින් නව Concept  එකක් තියෙනවා. ඒ අය වේදිකා නාට්‍ය පටිගත කරනවා. සාමාන්‍යයෙන් අපි වේදිකා නාට්‍යක් පටිගත කරන්නේ ඉස්සරහින් කැමරාවක් තියලනේ. නමුත් එයින් ඔබ්බට ගිහින් තාක්ෂණය භාවිතා කරමින් නාට්‍යක් රෙකෝඩ් කරනවා. මේ ක්‍රමය දැනටමත් ලෝකයේ නව ප්‍රවණතාවයක්. අපිත් හිතන්නේ උපරිමයෙන් ඊට අනුගත වෙමින් ඒ හා සම්බන්ධ විය යුතුයි කියල යි.

සංවාදය – වරුණ උදේශ් ජයසිංහ

නාට්‍ය නැරඹීමට – https://www.facebook.com/RedAppleTheaters

Leave A Reply

Your email address will not be published.

eighteen − 14 =