වැඩබලන ඇමතිවරු පත්කිරීම වැරදියි

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පසුගිය  11දා ලිපියකින් දන්වා තිබේ. 

රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්,කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හතරක් පුරප්පාඩු විය. එම අමාත්‍යාංශවල වැඩබැලීමට පත්කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබීය.

එහෙත් එම නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස පසුගිය10 දින පත් කළේය. ලකී ජයවර්ධන නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමති වශයෙන්ද , අනෝමා ගමගේ මහාමාර්ග ,මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමති වශයෙන්ද , බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ ,දිගු කාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපාකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු වැඩබලන ඇමති වශයෙන්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වී තිබියදී ඒවාට වැඩබලන ඇමතිවරුන් පත්කළ නොහැකි බවත් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවට පටහැනි බවත් අගමැතිවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ඇමතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇතැයිද එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නැතැයිද අගමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කිරීමකටද ලක්විය  හැකි බව අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

සුලෝචනා අධිකාරී

Leave A Reply

Your email address will not be published.

ten − 5 =