කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) සවස  නිකුත් කර තිබේ.

ලංකාවට ගිණිකොණදිගට වන්නට බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කාලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධන විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් ව ඇත. පවතින අවපීඩන තත්වය මත ඉදිරි පැය 48ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින දිවයිනේ ඊශානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟාවෙනු ඇතැයි විශ්වාස කරයි.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවේ යැයි පැවසෙන අතර නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව පැවසේ.

ඒ අතර බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව සඳහන් වේ. නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රචණ්ඩ සුළං ඇති විය හැකයයි විශ්වාස කරන අතර සෙසු ප්‍රදේශවල පැ.කි.මි. 40-50 අතර වන තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු තීරය විටින් විට රළු වියහැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවලත් ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බවද දැනුම් දෙයි.

Leave A Reply

Your email address will not be published.

three × 2 =