පාසල් 5,100 කට ආසන්න ගණනක් හෙට විවෘත කරයි

රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් පහක් සහ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ද, සබරගමුවේ හා සෙසු ප්‍රදේශවල පාසල් කිහිපයක් ද හැරුණු කොට පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් හෙට (23) සිට 6 – 13 ශ්‍රේණි දක්වා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ  ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.

සියලු පළාත්, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේවන විටත් නිකුත් කර ඇති 15/ 2020 දරන චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අදාල සියලු පාර්ශව සහාය කරගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත්තේ.

විශේෂයෙන්ම අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව මූලික කරගනිමින් වඩාත් සුදුසු තීරණ ක්‍රියාවට නංවමින් පාසල් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරමින් මේ සඳහා සහාය වීම සියලු පාර්ශ්ව වෙතින් අපේක්ෂා කරන බව ද අධ්‍යපන ලේකම්වරයා පැහැදිලි කරයි.

ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, එක් එක් පාසල් වෙත ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින්  සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇති බව පැවසීය.

ඒ අනුව, රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය. සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 /ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000/ බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000/ බැගින්ද මේ යටතේ ප්‍රදානය කෙරෙන බවයි පැවසෙන්නේ.

දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශ්ව පූර්ණ සහාය පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන ලේකම් වරයා වැඩිදුරටත් සඳහන් කළේය. යම් හෙයකින් පාසල් ආශ්‍රිතව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් ඇති වුවහොත් එහි වගකීම කවුරු විසින් භාර ගන්නේ ද යන්න අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසා සිටියදී ඔහු පවසා සිටියේ අනිවාර්යයෙන්ම රජය වෙනුවෙන් තමන්ට එම වගකීම බාරගැනීමට සිදුවන බවයි.

උතුරු පළාත්  සියලු පාසල් විවෘත කිරීමට හැකියි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි. නැගෙනහිර පළාත් පාසල් අධ්‍යක්ෂ පවසන ආකාරයට පාසල් 5ක් හැර ඉතිරි සියල්ල ආරම්භ කිරීමට හැකියාව තිබේ. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ පාසල් විවෘත කරන ලෙස පස්සේ බස්නාහිර පළාත තුළින්ද ඉල්ලීම් ඇති බවයි.

අමාත්‍යාංශය පවසන ආකාරයට දුරස්ථභාවය ඇතුළු අනිකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

සිසුන්ගේ ආරක්‍ෂාවට කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව පාසල් විවෘත කිරීම සඳහා කඩිමුඩියේ ආණ්ඩුව ගන්නා තීරණවලින් පාසල් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ බවද එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. එමෙන්ම පාසල් සිසුන්ගේ ආරක්‍ෂාව ගුරු විදුහල්පතිවරුන් මත පටවා ආණ්ඩුව අත පිසදමාගැනීමට සූදානම්ව සිටින බවත් එයට දැඩි විරෝධය පලකරන බවත් ඔහු සඳහන් කරයි. අද (22) ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි ඇතුලූ වෘත්තීය සමිති 9 ක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූහ.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ අද (22) සවස පවසා සිටියේ  කුරුණෑගල ප්‍රදේශයේ පාසල් වල ඇතැම් ප්‍රශ්න පවතින නිසා හෙට (23) පාසල් විවෘත කළ නොහැකි බවයි. ඒ අනුව බොහෝ විට 29 වෙනි දින පාසල් විවෘත කළ හැකි බවයි. ඒ අතර සබරගමුව පළාත් පාසල් අධ්‍යක්ෂකවරයා පවසන ආකාරයට එම පළාත බස්නාහිර පළාතට මායිම් පවතින හේතුවෙන් පාසල් විවෘත කිරීමට ප්‍රශ්න ඇති බවයි. මධ්‍යම පළාත් සම්පුර්ණයෙන්ම පාසල් විවෘත් කිරීමේ සුදානම ඇතිබව සඳහන් වේ. මීට අමතරව උතුරු මැද, දකුණ සහ ඌව පළාත් පාසල් විවෘත කිරීමේ සුදානමක් පවතින බව පැවසේ.

දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. මෙරට පාසල් අතරින් සිසුන් සංඛ්‍යාව 500ට අඩු පාසල් ප්‍රතිශතය 77.3% කි. සිසුන් සංඛ්‍යාව 501-1000 අතර පවත්නා පාසල් ප්‍රතිශතය 13.6% කි. සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට අනූ එකක්ම 1000ට අඩු සිසුන් සිටින පාසල් වේ.

Leave A Reply

Your email address will not be published.

20 + thirteen =