කම්කරු ඇමති නිමල්, ලෝක බැංකු නියෝජිතයින් මුණගැසෙයි

ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නිත්‍ය නියෝජිතවරිය වන චියෝ කන්ඩා (Chiyo Kanda)  පසුගිය දා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුණගැසී තිබිණි. කම්කරු අමාත්‍යංශයේ පැවති මෙම හමුවට ලෝක බැංකුවේ  ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් ද (Faris Hafad Zervos) එහි ජේෂ්ඨ ආර්ථික විද්‍යාඥ (සමාජ ආරක්ෂණ හා රැකියා ) තෝමස් වොර්කර්(Thomas Walker) ද අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ ද එක්ව ඇත.

කෝවිඩ් 19 වෛරස් වසංගතය  ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට බලපා තිබෙන ආකාරය පිළිබඳව මෙන්ම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට එය බලපා ඇති අන්දම පිළිබඳවත් එහි දී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

විදේශීය රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් 48000ක් පමණ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින හෙයින්, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති අභියෝග සහ ප්‍රශ්න පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ලෝක බැංකු  නියෝජිතවරුන් දැනුවත් කර ඇති බව මෙම හමුව පිළිබඳව අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එම පිරිස් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සියලු කටයුතු සංවිධානය කර තිබූ අවස්ථාවක කොවිඩ් දෙවන රැල්ල මතුවූ බවත්, එම නිසා රජය පිහිටුවා ඇති රජයේ  කොවිඩ්  කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර ඔවුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීමට  පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිතයන් වෙත පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකුව නියෝජිතවරු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට කටයුතු කිරීම සුදුසු බවත් එවැන්නක් ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබීම ඉතාමත් සාධනීය පියවරක් බවත් ය. ඒ පිළිබඳ තම සතුට ප්‍රකාශ කරන බව ද ඔවුහු පැවසූ බව එම නිවේදනයේම සදහන් කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන එම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ඕනෑම අවස්ථාවක ලබාදීමට ලෝක බැංකුව සූදානම් බව එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ජේෂ්ඨ ආර්ථික විද්‍යාඥ(සමාජ ආරක්ෂණ හා රැකියා) තෝමස් වොර්කර් මෙම හමුවේදී පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.

18 + 8 =