මධුමාධව අත්අඩංගුවට ගන්න ඕනේ නෑ – නීතිපති කියයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් මෙම අවස්ථාවේදී සාක්ෂි මතු වී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේය. එහිදී මධුමාධව අරවින්ද වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත් අධිකරණයෙන් නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් වී සිටින බවත්ය. ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අත්හිටුවීමට තීන්දු කළේය.

අසංක කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

15 − 15 =