බොරුවෙන් වැනසෙන පණ වන් මගෙ රට !

ලොව ම වනසන මාරක කෙරෝනා වෛරසය රට ම ගිලගෙන තිබිය දී, එය පාලනය කර ඇතැයි කියමින්, අතීසාරයට අමුඩ ගසන ක්‍රමවේද නිරන්තරව ගෙන යන ආණ්ඩුව මේ අවාසනාවන්ත අවස්ථාවේ දී ද රටේ ආර්ථිකය ගැන බොරු කියමින්, ජනතාව රවටයි.

අයිසින් අයවැය
2021 සඳහා ඉදිරිපත් කර ඇති අය-වැය ද අයිසින් තැවරූ පරණ කේක් ගෙඩියකි. 2021 සඳහා ඇස්තමේන්තු කර ඇති රජයේ ආදායම රුපියල් මිලියන 1,961ක් වන අතර, මුළු වියදම රුපියල් මිලියන 3,525කි. අය-වැය පරතරය රුපියල් මිලියන 1,564කි. ජාතික ආදායමෙන් සියයට 9කට අඩු අය-වැය හිඟයක් පවත්වා ගැනීමට ආණ්ඩුව සැලැසුම් කර තිබේ.

අද ලෝකය ම මාරක කොරෝනා වසංගතයට මුහුණ දී ඇති අවස්ථාවක මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා අය-වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 159.57ක් පමණි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා 2019දී රුපියල් මිලියන 187ක් වෙන් විය. 2020දී රුපියල් මිලියන 139.48ක් වෙන් වී තිබිණි. මෙතරම් බැරෑරුම් අවස්ථාවක, නිමාවක් නොදකින වසංගතයක් පවතින අවස්ථාවක වෙන් කර ඇත්තේ සොච්චමකි. මෙයින් පෙනෙන්නේ මේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත සඳහා ජනතාව ජීවත් කරවීම සඳහා දක්වන නොසැලැකිල්ලයි.

එහෙත්, මහා මාර්ග සඳහා නම් රුපියල් මිලියන 330ක් වෙන් කර තිබේ. කොරෝනා සෑදීමෙන් අනතුරට ලක්වන ජනතාවගේ ජීවිතවලට වඩා ආණ්ඩුවේ ලොක්කන්ට මේවා වැදගත් වී තිබෙන්නේ ඇයිදැයි සිතා බැලිය යුතුය. මහා මාර්ග සඳහා 2019දී රුපියල් මිලියන 176ක් ද, 2020දී රුපියල් මිලියන 244.8ක් ද, 2021 සඳහා රුපියල් මිලියන 330ක් ද වෙන් කර තිබේ. ආණ්ඩුවේ ප්‍රමුඛතාව ලැබෙන්නේ මෙවැනි දෑ සඳහා ය.

මේ සියලු අය-වැය යෝජනා හුදු සංඛ්‍යාලේඛන පමණකි. දේශීය හා විදේශීය ගෙවීම් සඳහා කල් පිරුණු ණය, දිගුකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීම මේ ආණ්ඩුව අය-වැය හිඟය මඟහරවා ගැනීමට පිටිවහලක් ලෙස දකී. කල් පිරුණු ණය යළි දිගුකාලීන ණය වශයෙන් සැලැකූ විට ඒ සඳහා ගෙවන පොලිය ද එකතු විය යුතු ය.

2021දී ආණ්ඩුව ආර්ථික වර්ධනය 5.5ක් ලෙස සඳහන් කරයි. සත්‍යය වසන් කිරීම නිසා සාවද්‍ය ගණන් හිලවු යොදා ගැනීම නිසා මෙවැනි දේ ඉදිරිපත් කළ ද, සත්‍යය වශයෙන් ම අද රටේ ඇත්තේ සෘණ ආර්ථිකයකි. 2020 අය-වැයෙන් වැඩි ම මුදල වෙන් වී ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යාංශයට ය.
සුපුරුදු පරිදි අය-වැයෙන් මත්පැන්, දුම්වැටි, රථවාහන, දුරකථන බදු වැඩි වනු ඇත.

අගමැතිවරයා සතුව ඇති අමාත්‍යාංශ සඳහා දෙවනුව ද චමල් රාජපක්‍ෂට වෙන්ව ඇති අමාත්‍යාංශවලට සහ නාමල් රාජපක්‍ෂ සතුව ඇති ක්‍රීඩා අමාත්‍යාංශයට වැඩි ප්‍රතිපාදන වෙන් වී තිබේ. ඇතැම් අමාත්‍යාංශ සඳහා වෙන්ව ඇති සොච්චම් මුදලින් ආසනයක ව්‍යාපෘතියක වැඩ අවසන් කිරීමට තරම්වත් ප්‍රමාණවත් නැත.

ව්‍යවස්ථා සෙල්ලම

ආණ්ඩුව 2021 අයවැය ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය-වැය විසර්ජන කෙටුම් පත සම්පූර්ණයෙන් නීති විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන්නක් බව ජවිපෙ මන්ත්‍රී, විජිත හේරත් කීවේ, අදාළ විවාදයේ දී ය. පාර්ලිමේන්තුවට ඇති මුදල් පාලන බලය ව්‍යවස්ථා විරෝධී ලෙස ජනපති අතට ගෙන කැබිනට් මණ්ඩලය අනුමත කළ අතිවිශාල මුදල් කන්දරාවක් ගෙවීමට ඇති මුදල් ලෙස සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. මෙය නීති විරෝධී මෙන් ම සදාචාර විරෝධී ය.

මේ අසීරු අවස්ථාවේ තෝරා ගත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා නොගෙවූ මුදල් ආදී වශයෙන් රාජපක්‍ෂවරුන්ගේ විනිවිදභාවයෙන් තොර මූල්‍ය භාවිතයට නීතිමය මුද්‍රාව පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීම කෙතරම් වරදක් ද? රජයේ විගණකාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇත්තේ, මේ නීතියට අනුකූල නොවන බවයි. කොහොමටත් රාජපක්‍ෂවරු සාවද්‍ය සංඛ්‍යාලේඛන පෙන්වීමට, ඒ හරහා රටේ සංවර්ධනය පෙන්වීමට අතිදක්‍ෂයෝ ය. එදා මහින්ද යුගයේ ද එය අපූරුවට සිදු විය. රටේ ආර්ථික සංවර්ධනය සංඛ්‍යාලේඛනවලින් පෙන්වුව ද, යථාර්ථය එය නොවේ.

එදා බොරුවෙන් රට, ජනතාව මුළා කරමින්, කල් ගෙවා අවසානයේ පී. බී. ජයසුන්දරලා, කබ්රාල්ලා රට ඇද දැමුවේ අගාධයට ය. තව ඉදිරියට මාසයක්වත් යා නොහැකිව ජනාධිපතිවරණයට ගිය පුවත රට ම දනී. මෙවර ද යළි රටේ නැති ආර්ථික සංවර්ධනයක් මවාපෙන්වමින්, කොටස් වෙළෙඳපොළ කෘත්‍රිමව ඉහළ දමමින්, ආර්ථික වර්ධනයක් ගැන කතා කළේ මහින්ද අගමැති ය. මහ බැංකු සංඛ්‍යාලේඛන අනුව අද රටේ ඇත්තේ, සෘණ ආර්ථික සංවර්ධන අගයකි.                                                                                                                                                                               අද මේ කරන බොරු සංවර්ධනය පාරාවළල්ලක් වන්නේ මේ අයට ම ය.

විදෙස් ණය ගෙවා දැමූ බව මුදල් ඇමති, මහින්ද කීවේ ඇඟට-පතට නොදැනී ය. රට ණය උගුලේ පැටළී, ණය ගෙවා ගැනීමට නොහැකිව දඟලද්දී, ණය වී ඒ ණය ගෙවීමට සිදුව තිබිය දී, රටේ සියලු ආයතන, කර්මාන්ත, ව්‍යාපාර ආදායම් නොමැතිව අඩපණ වී තිබිය දී, රටේ සම්පත්, දේපළ විදෙස්වලට දීමට පිඹුරු පත් සැකැසෙද් දී, මේ බොරු සංඛ්‍යාලේඛන දක්වමින් බොරු කරන්නේ කාට ද?

පවුලේ සාදය
අප දන්නා දේශපාලනය තුළ මේ රටේ සිටි කිසිදු නායකයකු සැලැසුම්සහගතව මෙතරම් විශාල ලෙස ඥාති සංග්‍රහයක යෙදී නොමැත. ආණ්ඩුව ලෙස හැඳින්වූවාට මෙය රාජපක්‍ෂලාගේ මැදමුලන ආණ්ඩුවකි. අය-වැයෙන් වැඩිපුර ම මුදල් වෙන් වන්නේ ද, සියලු බලතල ඇත්තේ ද  රාජපක්‍ෂවරුන්ට ය. ප්‍රධාන තනතුරු දරන්නෝ ද ඔවුහු ම ය. මෙසේ නිර්ලජ්ජී ලෙස ඥාති සංග්‍රහයේ යෙදෙන ලෝකයේ එක ම ආණ්ඩුව මෙය බවට තර්කයක් නැත.

දැන් මේ පවුලේ ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී තමන් ජනතාවට වසන් කළ සියලු කටයුතු අනීතිකව රහසේ ම ඉටු කර ගනිමින් සිටී. සිය විදෙස් ගැති ප්‍රතිපත්තිය සඟවමින්, ආණ්ඩුව කොළඹ මර්මස්ථානවල ඇති වටිනා ඉඩම් රැසක් විදේශීය සමාගම්වලට දීමට සූදානම් වේ. හෙට අනිද්දා ම කොළඹ මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට රැගෙන යාමෙන් අනතුරුව ඒ ඉඩම ද සමාගමකට දෙනු ඇත. ජවිපෙ නායක අනුර කුමාර කී ආකාරයට හෙක්ටයාර් ගණනාවක ඉඩම් කොරෝනා වසංගතය අස්සේ ම විකුණා දමනු ඇත.

මේ ආණ්ඩුව පත් වී කළ එකදු හෝ පොදු, ජනතාවාදී කටයුත්තක් තිබේ ද? කයිවාරු පමණකි. මේ අය කළේ බෙහෙත් මිල වැඩි කිරීම හා නොමිලයේ දුන් දෑ ඉවත් කිරීම පමණකි. මේ ආණ්ඩුව කර ඇත්තේ, ඇඳිරි නීතිය දැමීම, නිරෝධායනය කිරීම ආදිය සඳහා හමුදාව යෙදවීම. සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා බලය යෙදවීම පමණකි. කෙරෝනා වෙනුවෙන් රටේ ආයතනවලින්, පරීක්‍ෂණවලින් සහ විදෙස් ආධාරවලින් ද ගසා කන බව කියන්නේ, මේ ආණ්ඩුවට උදවු කළ අය ම ය.

ජාලගත ජාවාරම

උගතුන්, විද්වතුන් සහ පරිපාලනයේ දක්‍ෂයන් සිටිනවා යැයි කියන මේ ආණ්ඩුව රට පාලනය කිරීමෙන් ‘ෆේල්’ ය. එවැනි දක්‍ෂයන් කෙසේ වෙතත්, කුඩු ජාවාරම්කාරයන්, එතනෝල් ජාවාරම්කාරයන්, බාර් හිමියන්, පාතාලයේ නායකයන් හා පසුගිය යුගයේ හොරකම් කළ අය ද, එජාපයේ සිට ‘මහින්දට සුළඟට’ එක් වූ ලෝක අපරාධකාරයන්ගෙන් නම්, මේ ආණ්ඩුවට අඩුවක් නැත. ඔවුන් දන්නේ, තර්කානුකූලව ප්‍රශ්නවලට උත්තර දීමට හෝ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හෝ නොව පාර්ලිමේන්තුවේ අනවශ්‍ය කතා කියමින්, ඝෝෂා කිරීමට ය. හැකි උපරිමයෙන් හම්බ කිරීමට ය. ගැසට් පහකින් ම මිල පාලනය කළත්, සහල් ඒ මිලට පාරිභෝගිකයන්ට ලබා දිය නොහැකි ආණ්ඩුව කුමකට ද? ගැසට් මඟින් මිල අඩු කළ සීනි, පරිප්පු, සැමන් ආදී භාණ්ඩවල මිල අඩු නොවේ නම්, ඉන් කියැවෙන්නේ, ආණ්ඩුවේ අසමත්භාවය නොවේ ද?

බැසිල් නැති එකද අඩුව ?

මේ ආණ්ඩුවේ ජනතා සේවයට දැන් ඇති එක ම අඩුව බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ නැතිකම ය. ආණ්ඩුවේ බහුතරය සහ විසිවැනි ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයේ බලතල තිබුණත්, බැසිල් නැතිව ඉදිරියට යා නොහැකි ය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් 39 දෙනකු අත්සන් කළ ලිපියක් බැසිල්ට යවා, එය ජනපතිට ද යවනු ලැබී ය. මෙහෙමත් විකාර තිබේ ද? ද්විත්ව පුරවැසිභාවයේ සීමාව ඉවත් කිරීමේ සංශෝධනය ගෙනාවේ ඔහු වෙනුවෙනි. ආණ්ඩුවේ ආර්ථික කටයුතු නිලයක් නැතිව ම හසුරුවන්නේ බැසිල් ය. බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකමක් ගන්නැයි කියමින්, පෝස්ටර් ගැසීමට, බැනර් දැමීමට මන්ත්‍රීවරුන්ට දැන් බලපෑම් කෙරේ.

කවුරු කොයි ලෙසට විග්‍රහ කළත් ආර්ථිකය අද ඇත්තේ, නරක තැනක ය. ණය කන්දරාව අතිශය විශාල ය. මේවා ගෙවීමට හා රටේ සංවර්ධන ක්‍රියාවලියට මුදල් සපයා ගැනීම දුෂ්කර වී තිබේ. රටේ සංවර්ධනයක් දැකිය නොහැකි ය. දැන් දේශපාලනයෙන් දෙපැත්තට, තුන්පැත්තට බෙදී, ජාති, ආගම්, කුල මල වශයෙන් බෙදී මෙම ප්‍රශ්නවලින් ගොඩ ආ නොහැකි තැනක අප සිටින බව කවුරුත් පිළිගත යුතුව ඇත. කවුදෝ කීවාක් මෙන් ‘තැල්ල බඳින්නට බෙල්ල තිබිය යුතු ය.’ එනයින් තමන්ගේ දේශපාලන සීමා-මායිම් පසෙක ලා ප්‍රථමයෙන් මේ මාරක වසංගතයෙන් ගොඩ ඒමට අවශ්‍ය උත්සාහයන් දැරිය යුතු ය.

-ඩී. බී. ඇල්කඩුව

Leave A Reply

Your email address will not be published.

18 − three =