“පොඩ්ඩක් රෙස්ට් කරන්න ප්‍රියත්…”

“කොහෙද බං උඹ?”

සෙනසුරාදා උදේ පුතා ටියුෂන් පන්තියට බස්සවා මා එනතුරු බලා සිටින ප්‍රියත්ගෙන් එස්එම්එස් පණිවුඩයකි. නැත්නම් මා මඳක් පමා වූවොත් මගේ දුරකතනය නාද වෙයි.

මා එනවිට නිවසේ උදේ කෑම මේසය ලංකාවේ රස මසවුලෙන් පිරිලා ය.

ඊයේ රාත්‍රියේ උයා තැබූ පෝක් කළු මස් කරිය සහ උදේ උයා ගත් කිරිබතත් සමඟ වංගෙඩියේ කෙටූ පොල් සම්බෝලයක් ද තිබේ.

නැත්නම් බතල හෝ මඤ්ඤොක්කා උයලා ය. එයට උදේම ගා ගත් පොල් ටිකකුත් කට්ට සම්බෝලයකුත් වරදින්නේ නැත.

දක්ෂ කෝකියෙකු වූ ප්‍රියත් ගේ රස මසවුලෙන් සප්පායම් වී අපි, පුතාගේ පන්තිය හමාර වනතුරු වල් පල් දොඩමින් සිටින්නෙමු. බොහෝවිට ඒ ‘වල් පල්’ ඇත්තෙන්ම ඉතා හරබර සාකච්ඡාවකි. ඕමාර් ඛයියාම්, රූමි, සුෆීවාදය, ලෝක සිනමාව, මයිලායි සමූහ ඝාතනය වැනි ඛේදවාචක මෙන්ම ලංකාවේ දේශපාලනය ද අපේ සංවාදයට බඳුන් වේ. සංවාදයකටත් වඩා මම ප්‍රියත් කියන දේ අසා සිටිමි. “ඔය දේවල් ලියන්න ප්‍රියත්, පොතකට ගන්න” නිතර මගේ ප්‍රතිචාරය එය විය.

තවත් වරෙක ප්‍රියත් ඔහු පබැඳු කවි පෙළක් හෝ මා නොදුටු ‘පකට පුඟුලා’ තීරු ලිපියක් මට යොමු කරයි. පළ වූ ලිපියක් නම් “ඕක ෂෙයාර් කරපන් බං …”

එදා මෙදා තුර ඔහු මගෙන් කර තිබෙන එකම ඉල්ලීම එපමණය.

ඒ අතරේ උදේටත් නොකා ඉගැන්වීමේ යෙදී සිටින දුලාමනීට කෑම පිඟානක් අනා තැබීමටත් ප්‍රියත් අමතක නොකරයි.

මේ වසර මුලදී ලොක්ඩවුන් ඇරඹෙන තුරු මාස ගණනාවක් අපේ සෙනසුරාදා උදය වරුව ගෙවුණේ එලෙසිනි.

ඉන් අනතුරුව ලොක්ඩවුන් නිසා නිතර හමු නොවුණත් අපි නිරන්තරයෙන් දුරකතනයෙන් හමුවුණෙමු.

ලන්ඩනයට ආ එල්මෝටත්, අසාම්ටත් සංදේශය කණ්ඩායමේ බොහෝ දෙනාටත් එලෙසම රස මසවුලෙන් ප්‍රියත් ආගන්තුක සත්කාරය පුද කළ හැටි මතකය.

ප්‍රියත් අසනීපෙන් සිටි බවත් රෝහල්ගත කළ බවත් මම දැන සිටියෙමි.

එහෙත් සඳුදා රාත්‍රියේ දුලාමනීගෙන් ලැබුණු දුරකතන පණිවුඩය අපි කිසිවෙකුත් බලාපොරොත්තු වූවක් නොවීය.

නිවසේ සිට ලැප්ටොපය ඉදිරිපස වාඩි වී වැඩ කරද්දී -working from home- නොදැනුවත්වම මා නෙත් කඳුලෙන් තෙත් වෙයි.

සිත වරින්වර අතීතයට දිව යයි.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලන්ඩනයට පැමිණ සිටියදී සුනිල් ජයසේකර ඇතුළු රාවයේ මිතුරන්ගේ හඳුන්වාදීම මත මා සංදේශයට කැඳවා ආවේ නන්දන වීරරත්න ය.

මාධ්‍යවේදයේ මෙලෝ අකුරක් නොදැන සිටි මට නන්දන, ප්‍රියත්, බණ්ඩාර, උපාලි, එල්මෝ සහ ඉන්ද්‍රා ගුරු දෙවියෝ වූහ.

කණ්ඩායමේ සිටි ‘පොඩි එකා’ වූ මට ඒ සියලු දෙනා ගුරු හරුකම් දුන්නා මතකය. කිසිදු ගුරු මුෂ්ටියක් නොතබා ඔවුන් මට ශිල්පය කියා දුන්නාත් මතකය. එකල තනිකඩ කෝඩුකාරයෙකු වූ මා හැරුණු කොට ලන්ඩන් ටීම් එකේ අන් සියලු දෙනාම සතියේ එක් දිනක් සෑම දෙනාම වෙනුවෙන් දිවා ආහාරය රැගෙන ආ හැටිත් මතකය.

වැඩ කරන අතරවාරයේම සතියකට වරක්, දෙවරක් අප හැම දෙනා ‘පොඩි අඩියකට’ සෙට් වූ හැටිත් මතකය.

කිසි දිනෙක ‘බොස් කෙනෙක්’ නොවූ කණ්ඩායමේ නායක ප්‍රියත් ඒ සියල්ලට අනුබල දෙමින් ගතව ගිය දශක දෙකකට අධික කාලය තුළ ගුරැ පියෙක් මතු නොව සොහොයුරෙක් සහ පියෙකුවන් වෙමින් එදා මෙදා තුළ සියලු සීමා ඉක්මවා යමින් සහෝදරත්වයෙන් මා මෙතෙක් ආ ගමනට මඟ පෙන්වූ හැටිත් මතකය.

සිතුවිලි හදවතේ තෙරපෙද්දී දින ගණනාවක් වචන ගලපාගත නොහැකිව මම අරගලයක යෙදුනෙමි.

කණ්ඩායමේ බාලම කොලුවා අලුත් නිවසකට පිවිසෙද්දී, සිය කුඩා පුතුන් දෙදෙනා ට ද දූවිලි වදින බව නොතකා සිය කාරයෙන්ම අලුත් පොලාවකට දැමීමට ලෑලි ගෙන ආ එකම මාධ්‍ය ප්‍රධානියා ඔහු විය හැකිය. අපි ඒ පොලව සකස් කරන තුරු දූවිලි ගොඩේ බිම වාඩි වී සිටි එකම ‘ලොක්කා’ ද ඔහු විය හැකිය. දුලාමනී ද ඒ සෑම තැනකම ඔහු සමඟ සෙවනැල්ලක් මෙන් සිටියාය.

ගයාන්, ප්‍රියාන් සහ දුලාන් පුතුන් සිය පවුලේ සාමාජිකයෙකුට මෙන් මා කෙරෙහි දැක්වූ ලැදියාව මෙන්ම සහෝදරයන් දෙදෙනකුගේ ලොකු අක්කා වන දුලාමනී “උඹ මගේ සහෝදරයෙක් වගේ” කී වේලේ මා දෑස් තෙත් වූ හැටිත් මතකය.

‘ගෝලයන්’ ට අත්වැරදීම් සිදුවන විට හැකි සෑම අවස්ථාවකම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එකම ‘ලොක්කා’ ද ඔහු විය හැකිය.

කුරිරු යුද්දයකින් රට වෙලාගෙන තිබූ සමයක යුද්ධයේ සැබෑ තොරතුරු ලබාදීමට දැවැන්ත කැපවීමකින් කටයුතු කළ ප්‍රියත්, ඒ අතරේම චිත්‍රපට තිර රචනයටත්, නාට්‍ය රචනයටත් කාල වේලාව සොයාගත්තේ කෙලෙස දැයි නොදනිමි.

සංදේශයේ සතිපතා කලා සහ දේශපාලන පිටුව සම්පාදනය කළ ඔහු එතෙකින් නොනැවතී බීබීසී ඉංග්‍රීසි ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවල ද නැතිවම බැරි චරිතයක් විය. ඒ බොහෝ දෙනා අදත් ඔහුගේ දැනුම, විචාරය මෙන්ම හාස්‍ය රසය ද ආදරයෙන් සිහිපත් කරති.

ඔහු කෝපයෙන් සිටි දවසක් මට මතක නැත.

ප්‍රියත් ගේ විවේචනය ද හෙමින් සීරුවේ කෙරුණ දෙපැත්ත කැපෙන වචනයකි.

ප්‍රිය සම්භාෂණය ප්‍රිය කළ ප්‍රියත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානවවාදියෙකු විය.

ජාතිය, ආගම හෝ කුලය, පන්තිය හෝ ධනය ඔහුට වැදගත් නොවීය.

ඔහුට වැදගත් වූයේ ඔහු හෝ ඇය මිනිසෙකු වීම පමණය.

“උඹේ වැඩක් බලාගෙන හිටපන්. උඹ කරන දේ හරියට කරපන් අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්නේ නැතුව… මා කෙනෙකුගේ වරදක් කී විට ඔහුගේ සුපුරුදු උපදෙස එයයි.

ප්‍රියත් ගෙන් මා උගත් දෑ බොහෝය. තවත් බොහෝ දේ ඉගෙනීමට තිබුණත් ඔබ සුව නින්දකය.

ලොව සමහරුන් ජීවත්ව සිටින අතරත් මියගියවුන් සේ වුව ද ඇතැම් සැබෑ මිනිස්සු සිය කෙටි ජීවිත කාලය තුළ සිය, දහස් සංඛ්‍යාත මිනිසුන්ට නොකළ හැකි තරම් මෙහෙයක් කරති.

ප්‍රියත් එවැනි සැබෑ මිනිසෙකි.

ඔහු අප හැර ගිය බවක් මට නොසිතෙන්නේ ඒ නිසාය.

හෙට උදයේත් ප්‍රියත් මා එනතුරු බලා සිටින බවක් මට හැඟෙන්නේ එනිසා ය.

උදේ අඩියක් නොගැහුවත් හවසට නම් ප්‍රියත්ගේ ගෙදර අඩියක් වරදින්නේ නැත.

“මොනවද උඹ ගන්නේ… විස්කි ද රම් ද පොල් අරක්කු ද වයින් ද බියර් ද?”

ඒ බාර් එකේ නැති දෙයක් නැත.

“පොඩ්ඩක් රෙස්ට් කරන්න ප්‍රියත්. අද මහන්සි වගෙයි. ටිකක් නිදාගන්න.

හෙට හවස මීට් වෙමු ද පොඩි අඩියක් ගහන්න? හැබැයි මට ගොඩක් රෑ වෙනකල් නම් ඉන්න බෑ.

එනකොට කළු පෝක් කරියකුත් හදල තියනවද? “

(නොබෝදා හදිසියේ සිය දිවියෙන් සමුගත් බිබිසි සිංහල සේවය වූ සංදේශය මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙකු, තිර පිටපත් රචකයෙකු ලෙස වැඩ කරමින් හුන්  ප්‍රියත් ලියනගේ වෙනුවෙන් තැබූ සටහනකි.)

සරෝජ් පතිරණ

Leave A Reply

Your email address will not be published.

16 + 15 =