වෛරසයට එරෙහිව බෙල්ජියම් ජනයාට නොමිලේම එන්නත්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට යොදාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම් ආණ්ඩුව විසින් ප්‍රකාශ කර තිබේ.

අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය Frank Ignace Georgette Vandenbroucke ඒ බව ප්‍රකාශ කළේ ය.

සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වෛරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් 70% කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු මෙම සමුළුව අමතමින් පැවසුවේ.

බෙල්ජියම් රජය පසුගිය සඳුදා පැවසුවේ ජනගහනයෙන් සියයට 70 කට පමණ, මිලියන අටක පමණ ජනතාවකට එන්නතක් නොමිලේ ලබා දීමට අදහස් කරන බවයි.

“ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70 කටවත් එන්නත ලබා දීම අපේ අරමුණයි. ඒ ගැන විද්‍යාත්මක මතය සහ සමාජ තෝරාගැනීම යහපත් ලෙස පදනම් කරගෙන ප්‍රමුඛතා කණ්ඩායම් තීරණය කරනවා” යි අමාත්‍ය වැන්ඩෙන්බෲක් ප්‍රකාශ කර තිබුණේ.

ජනගහනය මිලියන 11.5 ක් වන බෙල්ජියමේ කොරෝනා වයිරස් රෝගීන් 540,000 ක් පමණ වාර්තා වී ඇත. මේ දක්වා වාර්තා වන මරණ ගණන 14,000 කට වඩා වැඩිය.ජනගහනයෙන් මිලියනයකට එහි මරණ අනුපාතය සැලකෙනුයේ  යුරෝපයේ නරකම වාර්තාවක් ලෙසිනි. එම තත්වය සලකා බලමින් යුරෝපා සංගම් සාමාජික රටක් ලෙස බෙල්ජියම ඉදිරි මාස කිහිපය තුළදී කොවිඩ් -19 විරෝධී එන්නත් තොග වශයෙන් මිලදී ගැනීම සඳහා පුළුල් ක්‍රමවේදයක් අනුගමනය කරන බව එරට සෞක්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.

3 + 12 =