2020 බුකර් සම්මානය ස්කොට්ලන්ත-අමෙරිකානු ජාතික ‘ඩග්ලස් ස්ටුවර්ට්’ට

ඉංග්‍රීසි බස වහරන රටවල සාහිත්‍යය උදෙසා පිරිනැමෙන ප්‍රමුඛතම සම්මානයක් ලෙස සැලකෙන බුකර් ත්‍යාගය මෙවර දිනාගෙන ඇත්තේ ස්කොට්ලන්ත-අමෙරිකානු ලේඛකයකු මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පියකු ද වන ඩග්ලස් ස්ටුවර්ට් (Douglas Stuart) විසිනි.
සම්මානනීය කෘතිය වන Shuggie Bain ඔහුගේ කුළුඳුල් නවකතාවයි. අවසන් වටයට නිර්දේශිත කෘති 6ක් අතුරින් මෙම කෘතිය ජයග්‍රාහී නවකතාව ලෙස තෝරාගැනුණේ පස්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගිනි.
1980 දශකයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරය පසුබිම් කරගත් නවකතාව ගොඩනැගෙන්නේ දුගී බවින් සහ මත් ඇබ්බැහියෙන් බැටකන මවකගේ ජීවන අරගලයට උරදෙන්නට වෙහෙසෙන අතර, තමන්ගේම පුද්ගල අර්බුද හා සටන් වදින්නට සිදුවූ පිරිමි ළමයකු වටා ය.
සම්මානිත ලේඛක 44 හැවිරිදි ඩග්ලස් ස්ටුවර්ට් කියාසිටියේ සිය ජයග්‍රහණය කණවැකුණු කල තමන් “ඇත්තටම පුදුම වුණු” බව ය.
තමන් සිය නවකතාව මෙන් ම මේ සම්මානයත් සිය මවට පුදකරන බව ද ඔහු කියාසිටියේ ය. අධික මධ්‍යසාර භාවිතය නිසා ඔහුගේ මව මිය යන විට ඔහුට වයස 16ක් විය.
මෙම තීරණය ඒකමතික එකක් වූ බව සහ තීරණය ගැනීමට විනිශ්චය මණ්ඩලයට ගතවූයේ ‘පැයක කාලයක්’ පමණක් බව සම්මාන විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය වූ මාග්‍රට් බස්බි (Margaret Busby) සම්මානිත කෘති නිවේදනය කරමින් කියාසිටියා ය.

බුකර් ජයග්‍රාණයට හිමි මුදල් ත්‍යාගය බ්‍රිතාන්‍ය පවුම් 50,000කි. පසුගිය වසරේ ජයග්‍රහණය කැනේඩියානු ලේඛිකා මාග්‍රට් ඇට්වූඩ් සහ බ්‍රිතාන්‍ය ලේඛිකා බර්නඩීන් එවරිස්තෝ (Bernardine Evaristo) අතර සම සේ බෙදාහැරුණේ එතෙක් පැවැති සම්මාන නීති රීති පවා වෙනස් කරමිනි. එහෙත් මෙවර අදාළ ත්‍යාග මුදල එක් කෘතියකට පමණක් පිරිනැමිය යුතු බවටත්, විනිශ්චය මණ්ඩලයේ ඒකමතිකත්වයක් නැති නම් වඩා වැඩි ඡන්දයට ජයග්‍රහණය යා යුතු බවටත් දැඩි උපදෙස් විනිශ්චය මණ්ඩලයට ලැබී තිබිණි.

 

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ඉපදී හැදීවැඩුණු සම්මානලාභී ලේඛක ස්ටුවර්ට් ලන්ඩනයේ Royal College of Art හි උපාධි ලබා වයස 24 දී එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය බලා ගියේ මෝස්තර නිර්මාණ ශිල්පියකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමේ අදහසිනි. Calvin Klein, Ralph Lauren, Banana Republic ඇතුළු ලොව සුප්‍රකට වෙළෙඳ සන්නාම රැසකට ඔහු සිය මෝස්තර නිර්මාණ දායකත්වය ලබාදී තිබේ.
තමන් සිය දෙවැනි නවකතාව වන Loch Awe ද මේ වනවිට අවසන් කර ඇති බව පසුගිය දා ස්ටුවර්ට් නිවේදනය කළේ ය. එය ද ග්ලාස්ගෝ නුවර පසුබිම් කරගත්තකි.

මෙම ත්‍යාග මුදල තමන්ට සිය සාහිත්‍යකරණය කෙරේ වැඩි අවධානයක් යොමුකිරීමට මෙන් ම එක්සත් ජනපදයේ සිට නැවත සිය උපන් බිම වූ ග්ලාස්ගෝ වෙත යාමට ද උපකාර වනු ඇතැයි ස්ටුවර්ට් පවසයි.
“අමෙරිකාවේ ජීවත් වුණත් මගේ හදවත තියෙන්නේ ස්කොට්ලන්තයේ. මගේ පවුලේ උදවිය එහේ ඉන්නවා. මං හැම තිස්සෙම බලාගෙන ඉන්නේ ආපහු ගෙදර යන්න.” ස්ටුවර්ට් වැඩිදුරටත් කියාසිටී.

සටහන – ‘සම’ ප්‍රකාශකයෝ

 

Leave A Reply

Your email address will not be published.

16 + seventeen =