විවාහ කරදෙන විට සත්වැනි ශ්‍රේණියෙහි පසු වූ ‘සුක්වින්දර් අම්රිත්’

සුක්වින්දර් අම්රිත් කාව්‍ය සංග්‍රහ ගණනාවකට හිමිකම් කියනා සම්මානලාභී ප්‍රකට පන්ජාබ් කිවිඳියක සහ ගසල් ගායිකාවකි. ඇගේ කාව්යකරණය පිලිබඳ ඉතිහාසය අඳුරු සෙවනැල්ලෙන් ගහණය. ළමා වියේදී ඇය කවි ලියනු දකිනා මව කරනුයේ ඇගේ රචනාවන් පුළුස්සා දැමීමයි. ඉන්පසු වයස දහහතේදී ඇය විවාහ කරදෙනු ලබන්නීය. එවිට ඇය පසුවූවේ සත්වැනි ශ්‍රේණියෙහිය. එහෙත් දැඩි අදිටන්සහගත බව නිසාම ඇය පසුව සිය සැමියාගේ කැමැත්තද ලැබ කාව්‍යකරණයට පිවිසෙන්නී අධ්‍යාපනයද අරඹන්නීය. ඇය යළි දහවන ශ්‍රේණියෙහි සිට අධ්‍යාපනය අරඹන විට ඇගේ දරුවන්ද එම පාසලෙහිම අධ්‍යාපනය ලබමින් සිටියි. ඇය සිය ධ්‍යාපනය නිම කරනුයේ පන්ජාබ් සාහිත්යය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගනිමිනි. පියාසැරිය ඇගේ කවිය වටහා ගැනීමට මනා කවුළුවකි.

පියාසැරිය
අහස් ඉම පරයන
මගේ පියාසැරිය
තැතිගන්වාලීය ඔහු…..
හුදු කරදාසි සරුංගලයක් වුව
රිවි මඩලෙහි පහස ලබයි නම්
ඉවසා සිටිය නොහැකිමය…….
එහෙයින්
ගස්සා ඇද්දේය ඔහු
මා ගැටගසා ඇති නූල් පට…..
පියාසැරිය අතර මැද
පහලට ඇදී ආවෙමි
වැනෙමින්, කැරකෙමින්
කූරියා ගසමින්
ආපසු පතිත වූවෙමි
ඔහු දෑත් වෙතටම….
මා හොඳින් යයි දැක
සතුටින්ය දැන් ඔහු

සටහන චූලානන්ද සමරනායක 

Leave A Reply

Your email address will not be published.

5 − one =