මැනිං මාර්කට් පෑලියගොඩ ගෙනියාම හෙටින් පටන් ගනියි

මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) පෑලියගොඩ නව වෙළඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම හෙට(20)අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විතව ඇති බවයි පවසන්නේ.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් වශයෙන් මෙන්ම වෙළඳ ප්‍රජාවගේත් පාරිභෝගිකයන්ගේත් පහසුව සඳහා බව කියමින් මෙම නව වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ 2013 දී ය. ඊට පෙර  2011 වසරේ දී එතෙක් කොළඹ පැවතී  මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද පෑලියගොඩ ස්ථාපනය කළේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අධික්ෂණය මතයි. මත්ස්‍ය වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කර තිබිණි.

මෙම විවෘත කිරීමත් සමඟ මින් ඉදිරියට මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නොව පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යාමට නියමිතයි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා අවස්ථාව ඇති විශ්වාස කරති.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන හෙයින් තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවනු ඇති විශ්වාසය පළකරති.

මේ හේතුව නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවමවීමට මෙය යම් බලපෑමක් ද සිදුකරනු ඇත.

හෙට විවෘත කෙරෙන පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.

                     

මෙම වෙළඳ සංකීර්ණය යටතේ මෙතෙක් කලක් කොළඹ නගර මධ්‍යයේ අක්කර 2 ක භූමියකට සීමා වී තිබුණු මැනිං වෙළඳ බිම අක්කර 13.5 ක් පුරා විහිදෙන තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබේ.

ඡායාරුප : නලින් හේවාපතිරණ

Leave A Reply

Your email address will not be published.

five + 18 =