ආයිබොවන්ඩ රාජකීය වෙදැදුරු වයිට්

ටික කාලයක් තිරෙන් පිටිපස්සට වෙලා උන්නු ඒලියන්ත වයිට් හෙවත් රාජකීය වෙදැදුරුතුමා ආයෙමත් සළුපිලි ඇඳගෙන කරළියට ඇවිත් ඉන්න බව දැක්කහම අපිට දැනුණ තන්තෝසෙ නං මෙතෙකැයි කියන්ඩ බැහැ. ඇත්තටම අපි නං හිතාන උන්නෙ ඉන්දරජාලික වැඩ කොරන්ඩ මුන්නැහැට ලැබිල තිබුණ දේව වරම හරි වෙන මොකක්දෝ එක හරි දැන් බැස්ටි බැහැපු ටෝච්චෙකක් වගේ ඈලියාවට ගිහින් වෙන්ඩැති කියලයි.
අපේ තකතීරුකොමට එහෙම හිතපු එක ගැන තරහක්-අමනාපයක් නං හිතේ උපද්දා ගන්ට එපා ආයිබොවන්ඩ. තමුන්නැහැ වගේ ඉරිසිවරයෙක් අපේ රටේ ඉන්න එක මොන තරම් ආඩම්බරයක්ද. ඇත්තම කියනවනං වයිට් දොස්තර මහත්තයෝ මේ වංගියෙ ඔහේ කොරපු හපන්කොමෙන්නං හෙළේ විස්සකර්ම වෙදාණන් හැටියට නම් දරා උන්නු බුදදස් මහා රජ්ජුරුවො තියපු රැකෝඞ් ඔක්කොම බ්ලාස් වෙලා යනවා.
අති දස්ස නළු-නිළියො හැටියට නම් කොරලා විඩින් විඬේට කලාබූසන, කලා සක්විති වගේ සම්මාන-සැටිපිකේට් පිදෙන උදවිය රඟන රැඟුම් බලු මයිලක් තරංවත් වටින්නෙ නැහැ කියල තේරුණේ තමුන්නැහැ සන්තකව තියෙනවය කියන ඔය විස්ස සත්තියෙන්ද මොකක්ද එකෙන් පණපොවපු විස්සකර්ම කළගෙඩි ටික අපේ ගංගාවලට මුදාහැරිමේ රාජ්ජ මංගල්ලෙ මනරංජන දර්සන ටික ටැලිවිසොං පෙට්ටියෙන් දැක බලා ගත්තු වෙලාවෙයි. පවිත්තරා දේවි, පොරසන්න හා ගම්මංපිල රඟ දක්කපු කළගෙඩි ඩාන්ස් ටික දාලා චිත්තරපටියක් හැදුවනං අපේ දෙදාස් පන්සියේ සඟිස්කුරුතිය මේ විදිහට ආරක්සා කොරගෙන තියෙන ආකාරය මුළු ලෝකෙටම බොහොම ආඩම්බරෙන් පෙන්නා දෙන්ඩ ඇහැක්වෙයි නේද වයිට් සෑර්.
කොහොම වුණත් කොරෝනා මාරයා ඇතුළු සිරිලංකාවට අණ-වින කොරන යස්ස,බූත,ප්‍රේත සනුහරේම සුන්නද්දූලි කොරන්ඩ තමුන්නැහැ ආරම්බ කොරපු මේ විස්ස සත්ති කළගෙඩි වියාපුරුතිය ඉදිරියටම අරං යන්ඩය කියලා රටේ, ජාතියේ හා ආගමේ යහපත වෙනුවෙන් ඕනාම දෙයක් අතඅරින්ඩ ප්‍රතිඤඤා දීලා ඉන්න අපි දැඩි දේසපරේමකින් යුතුව ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ උතුම් පුන්නියකර්මෙට දායක කොරගන්ඩ ඇහැකි තවත් බලගතු විස්සකර්මයො කිප දෙනෙක්ම ඉන්න බවත් තමුන්නැහැට මතක් කොරල දෙන්නෙ බොහොම පවිත්තර චේතනාවෙනුයි.
සත්තකින්ම වයිට් මහත්තයෝ, වියත් මගේ පෙරමුණේ රාල කෙනෙක් වෙන චන්න ජයසුමන මහැදුරුතුමාගෙ සුදර්ශන පැණියෙන් බිංදු දෙකක් ඔය පැන් කළගෙඩියකට දැම්ම නං පංකාදුය කියලයි අපිට හිතෙන්නෙ. මොකද මීට කලිනුත් උන්නැහැ නාථ දෙයියන්ගෙ බලෙන් මහා බලගතු කැඳ පානයක් නිස්පාදනය කොරලා රැකෝඞ් තියල ඉන්න විරල ගනයේ විද්වතෙක් හන්දයි. ඒ වගේම මේ දවස්වල එල්ලෙන්න වැලක් නැතුව ඉන්න අතුරලියේ රතන උන්නාන්සෙත් ඔය වගේ වියාපුරුතියකට මාරෙට සැට් වෙනවා. කාලයක් ඔහේ වගේම රජගෙදර පරෙවියෙක් වෙලා උන්නු සර්වග්‍රහයන්ට අදිපති සුමනදාස ගුරුන්නාන්සෙගෙනුත් මේ වගෙ වෙලාවක හොඳ වැඩක් ගන්න ඇහැකි නොවැ.
බොක්කෙන්මයි කියන්නෙ ආයිබොවන්ඩ. ඇමරිකාව ජර්මනිය, එහෙමත් නැත්තං ප්‍රංසෙ වගේ ලොකු රාජ්ජෙකට ගෙහුන් වැඩ-කිඩ පෙන්නලා සුර සැප විඳින්ඩ ඇහැක්කොම තියෙද්දිත් අපේ දුක්-වේදනා බෙදාහදා ගනිමින් ලෝක සිතියමේ ගම්මිරිස් ඇටයක් තරම්වත් නැති මේ දුප්පත් ලංකා දූපතට වෙලා කළගෙඩි නාටක නටව නටවා ඉන්නෙ අපි හුඟක් පෝසත් වෙලා උන්නු පෙර ආත්මෙක මුන්නැහැ අපෙන් ගත්තු ණයක් පියවන්ඩ වෙන්ඩ ඇති නේද@
විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

four − four =