මේ යෝජනා මාලාව අපේ පැත්තෙන් ආරම්භයක්

ජවිපෙ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

ජනතා විමුක්ති පෙරමුණ විශේෂ යෝජනා මාලාවක් ජනතාව හමුවට ඉදිරිපත් කළා. ඒ ගැන කෙටියෙන් පැහැදිලි කරන්න කොහොමද?

ජනතා විමුක්ති පෙරමුණ විදිහට රටේ ඕනෑම සමාජ ආර්ථීක ප්‍රශ්නයකට විවේචන පමණක් නෙමෙයි යෝජනා ඉදිරිපත් කරනවා. වාමාංශික ව්‍යාපාරයක පැත්තෙන් ජනතාවත් එක්ක එවැනි විසඳුම් යෝජනා සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම බරපතළ ප්‍රශ්නයක දී විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම අපේ වගකීමක්. විවේචනය කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මාස එකහමාරකට පස්සෙත් මේ ආණ්ඩුවට හරි හෝ වැරදි කිසිම වැඩපිළිවෙළක් නැහැ. නිල විපක්ෂයෙන්වත් එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. ඇත්තටම මේ වෙලාවේ ඕනෑ කරන්නේ රට පැත්තෙන් වාසි අත්වෙන විදිහේ වැඩපිළිවෙළක්. මැරිච්ච අය මැරිලා. ඒ පවුල්වල අය දුක් විඳිනවා. රට ඉබාගාතේ යනවා. දරුණු ජාතිවාදී කෝලාහල මට්ටමටම සමාජය උණුසුම් වෙලා තියෙනවා. මේ හමුවේ වමේ ව්‍යාපාරයක් හැටියට රටේ අනාගතයට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ වගකීම අපි ඉටු කළා.

මේ වැඩපිළිවෙළේ අඩංගු කරුණු මොනවද?

සියලූම ක්ෂේත්‍ර ආවරණය වන විදිහට කරුණු ඉදිරිපත් කර තිඛෙනවා. දැනටත් වඩා මහා දැවැන්ත සමාජ දේශපාලන අර්බුදයක් ඉස්සරහට එමින් තිඛෙන්නේ. ඒකෙන් වන බලපෑම අවම කරගැනීමේ මූලික ක්ෂේත්‍ර හඳුනාගෙන විසඳුම් ඉදිරිපත් කර තිඛෙනවා.

මේ යෝජනා මාලාවේ සමාජ මතයන්ටත් ඉඩක් තිබුණද?

ප්‍රහාරයෙන් මාස එකහමාරක් පිරුණු අවස්ථාවේ දී ඉදිරිපත් කළ යෝජනාවලියක් මේ. ගෙවී ගිය කාලය තුළ රට පුරා අති විශාල සාකච්ජාවක් ඒ ගැන සිදු කර තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් අපේ සංවිධාන තුළ වගේම ඉන් බාහිර පුද්ගලයන් සිය ගණනක් එක්ක රටේ අනාගතය පැත්තෙන් විසඳුම් මොනවා ද කියලා සංවාදයක හිටියා. ඔවුන්ගෙන් පොදුවේ ඉදිරිපත් වුණු අදහස්, යෝජනා අපි පදනම් කරගෙන තිඛෙනවා. ඒ වගේම මේ යෝජනාවලිය සකස් කිරීමට රටේ විද්වතුන්ගෙන්, සමාජ, දේශපාලන ක්‍රියාධරයන් වගේම කලාකරුවන්ගෙන් අදහස් ගත්තා. මේ පිරිස අතරේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන සියලූම ජාතිකත්වයන්ගේ සමාජ ක්‍රියාධරයන් නියෝජනය වුණා. මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධානම සිවිල් සංවිධානය හැටියට මුස්ලිම් කවුන්සිලයත් එක්ක විශේෂ සාකච්ඡා පැවැත්වූවා. එහෙම සංවිධාන සහ පුද්ගලයන් රාශියකගේ සැලකිය යුතු යෝජනා ඇතුළත් කරලයි මේ යෝජනා මාලාව සකස් කළේ.

යෝජනා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?

යෝජනා මාලාව ගැන රටේ සාකච්ඡාවක් ඇතිවීමම දැන් පවතින අන්තවාදී වෛරය, ආගම්වාදී වෛරය නිවා දමන්න හේතුවක් වෙනවා. වැදගත්ම දේ තියෙන්නේ අන්න එතැනයි. පොදු ජනතාව මේ යෝජනා මාලාව ගැන සාකච්ඡා කරලා තේරුම් ගැනීම තුළම ප්‍රශ්නයේ සැලකිය යුතු ප්‍රමාණයක් විසෙඳන බව අපි කල්පනා කරනවා. උදාහරණයක් විදිහට මේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කාටත් සමාන ලෙස අයිතියි කියල පිළිගන්න පෙලඹුණත්, ඒ පෙලඹවීමම දැන් තියෙන ප්‍රශ්නයේ විශාල කොටසක් අවසන් කිරීමේ ජයග්‍රහණයක්. අපේ යෝජනාවල රටේ සියලූම පාසල් සෑම ආගමකම, සෑම ජාතිකත්වයකම දරුවන්ට විවෘත කරන්න කියලා එක විශේෂිත යෝජනාවක් තියෙනවා. මෙවැනි යෝජනාවක් ගැන සමාජ සංවාදයක් තුළින් එකඟතාවක් ඇති කරගන්න ලැබීමම රටේ ජයග්‍රහණයක්. ආණ්ඩුව විසින් සකස් කරගත යුතු යෝජනා මාලාවක් තිඛෙනවා. ඒ වගේම තව යෝජනා මාලාවක් තිඛෙනවා සමාජය විසින් සකස් කරගත යුතු.

සමාජය විසින් සකස් කරගත යුතු තත්ත්වයන් ගැන උදාහරණයකින් පැහැදිලි කරන්නේ කොහොමද?

රටේ පොදු නීති පද්ධතියක් ඇති කිරීම ගැන සලකා බැලූවොත්, ඒක කරන්න ඕනෑ ආණ්ඩුවෙන්. උදාහරණයක් හැටියට රටේ බලපැවැත්වෙන විවාහ නීතිය ආගමික හෝ සංස්කෘතික වෙනස්කමකින් තොරව රටේ පොදු නීතියට අනුගත විය යුතුයි. ඒ වගේම බාල වයස්කාර විවාහ නීතියෙන් තහනම් කිරීම, බහු විවාහවලට ඉඩ නොදීම, විවාහයේ දී ජාතිය, ආගම, කුලය අදාළ නොවීම, ඒ වගේම දේපොළ මත විවාහ සිදු නොවීම සහ ස්ති්‍රය හා පිරිමියා අතර වගකීම් සමාන විය යුතු වීම වගේ යෝජනා දක්වන්න පුළුවන්. සමාජය පැත්තෙන් ගත්තොත්, යම් යම් නීති ආගමකට විතරක් සීමා වුණු ඒවා තිඛෙන බව අපි දන්නවා. එවැනි නීති අවශ්‍ය නම්, ඒවා රටේ මූලික නීතියට වඩා බලසම්පන්න නොවිය යුතුයි. උදාහරණයක් හැටියට අවුරුදු දහඅටට අඩු දරුවන්ට විවාහ වෙන්න බැරි නම් ඒක සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම පවුල්වලට අදාළයි. ඒ වගේම කිසිදු දරුවෙක් රටේ පොදු විෂය මාලාව උගන්වන අධ්‍යාපනයට පිටින් සම්පූර්ණයෙන්ම ආගමික ඉගැන්වීම් පමණක් ලබාදෙන ආයතනවලට යැවීම නීති මඟින් තහනම් කරන්න ඕනෑ. ඕනෑ ම දරුවකුට පාසල් විෂය මාලාව ඇතුළේ විවිධ විෂයයන් උගන්වනවා. ඒ විෂයයන් අතර ආගමත් තිබිය හැකියි. එතකොට ආගම කියන්නෙත් විද්‍යාව, ගණිතය, සංගීතය වගේ විෂයයක් විතරයි. විශේෂයෙන්ම ඉස්ලාමීය දරුවන් සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට යවන්නේවත් නැතිව ආගමික අධ්‍යාපනය ලබාදෙන අවස්ථා අපි දකිනවා. අවුරුදු දහඅටට අඩු දරුවන්ට එවැනි ඉගැන්වීම් නොකළ යුතුයි.

එතකොට ආගම්වලට අදාළ දහම් පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවන්නේ මොන වගේ තත්ත්වයක්ද?

දහම් පාසල් අධ්‍යාපනය ලබා ගන්න ඕනෑ නම්, සිකුරාදා හරි ඉරිදා හරි දිනයක් වෙන් කරගන්න පුළුවන්. අපි මේ කියන්නේ දරුවාගේ මුළු අධ්‍යාපන කාලයම ආගමික ඉගැන්වීම්වලට යෙදවීම ගැනයි. ඒ වගේ අධ්‍යාපනයකින් දරුවා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. අපි සමාජයට යෝජනා කරන්නේ විශේෂයෙන් මුස්ලිම් සමාජයට යෝජනා කරන්නේ ආගමික සහ ව්‍යාපාරික කටයුතු පැත්තේ යෙදීමෙන් කලා සංස්කෘතික කටයුතුවල නියැළීම හරිම අඩුයි. මුස්ලිම් කාන්තාවන් කාන්තාවන් වෙනුවෙන්ම වූ සංවිධානවල කටයුතුවලට යොමු වීම පවා ඉතා අඩුයි. වෘත්තීය සමිති කටයුතුවල, ශිෂ්‍ය දේශපාලන කටයුතුවල මුස්ලිම් අය සම්බන්ධ වෙනවා හරිම අඩුයි. මේ වගේ තත්ත්වයන් නිසා රටක සාමුහික සමාජයක ජීවත් වෙද්දී පොදු තත්ත්වයන්ට අනුගත වීම පිළිබඳව මුස්ලිම් සමාජය තුළම සංවාදයක් ඇති කර ගත යුතුයි. පොදු සෑම සියලූ ක්ෂේත්‍රයක් එක්කම සම්බන්ධ නොවී හුදකලා වීමෙන් කොහොමත්ම ඉදිරියට යන්න බැහැ. සමාජය විසින් කරගත යුතු වෙනස්කම් ගැන ඔය වගේ නිදර්ශන ගණනාවක් ගන්න පුළුවන්.

මේ සමාජ සංස්කෘතික වෙනස් වීම් මුස්ලිම් සමාජය විතරක් ඉලක්ක කර ගත් ඒවද?

කිසිසේත්ම නැහැ. සිංහල, දෙමළ ජාතිකත්වයන් ඉලක්ක කරගත් යෝජනාත් තිඛෙනවා. මේ හැම ජන කොට්ඨාසයක්ම ආගම් වශයෙන් අද ප්‍රවේශ වෙලා තියෙන්නේ දර්ශනයට නෙමෙයි. දෛනික ජීවිතයේ හැම දේටම ඇඟිලි ගහන ආගමික ආයතනවලට අනුගත වීමයි. විභාගයකට ගියත්, විවාහයකට ගියත් ඔය හැමදේකටම මැදිහත් වෙන ආගමික ආයතනවලට විශේෂ බලයක් නොතිබිය යුතුයි.

ජාතිවාදය හා ආගම්වාදය හඳුනා ගන්නේ කොහොමද?

අපි මේ ජීවත් වෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍ර හැම පැත්තෙන්ම ක්‍රියාත්මක වන අවධියක. ඩොලර් කෝටි ගණන් වියදම් කරලා ඊට අදාළ ආයතන පවත්වාගෙන යනවා. අනෙක් පැත්තෙන් අපේ රටේ සමාජ ආර්ථීක බිඳවැටීමත් එක්ක අන්තවාදයට තල්ලූ කර දැමීමේ ඉඩකඩ විශාල වශයෙන් නිර්මාණය වී තිඛෙනවා. ආර්ථීක පීඩනයට, විරැකියා පීඩනයට වගේ විවිධාකාරයේ පීඩාවන්ට විරුද්ධව නැඟී සිටිනවා වෙනුවට තමන්ගේ තියෙන තරහ, මානසික ආතතිය පිට කරගන්න ජාතිවාදය හා ආගම්වාදය යොදා ගන්නවා. රටේ බිඳවැටෙමින් තිඛෙන ධනපති පාලන ක්‍රමයත් තමන්ගේ බැරිකම් වහගන්න ජාතිවාදය හෝ ආගම්වාදය දෙසට ජනතාවට ඇදී යන්න සලස්වනවා. වැඩියෙන්ම ජාතිවාදය හෝ ආගම්වාදය කතා කරන අය වීරත්වයෙන් සලකනවා. මේ ජාතිවාදී දේශපාලනය වර්ධනය වීම නැවැත්වීමට ඉතාමත් අවශ්‍ය පසුබිමක් තියෙන්නේ.

ජවිපෙ ඉදිරිපත් කර තිඛෙන යෝජනා මාලාව තුළින් පමණක් ආගමික සංහිඳියාව සහ ජාතික සමඟිය ගොඩනඟන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා ද?

නැහැ. කිසිසේත්ම අපි එහෙම හිතන්නේ නැහැ. කිසිම රටක මේ වගේ යෝජනාවලියකින් පමණක් රට ගොඩනඟන්න බැහැ. අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කර තිඛෙන්නේ මූලික වශයෙන් ම රට විනාශකාරී අන්තයන් කරා ඇදී යාම වළක්වන්නයි. රට ගොඩනඟන්න නම් මීට වඩා ධනාත්මක සහ අනාගතවාදී යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනෑ. මේ වෙලාවෙදි අනෙකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලටත් වගකීමක් තියෙනවා අපි මේ පෙන්වා දී තිඛෙන දිශාවට ගමන් කළ හැකි යෝජනා ඉදිරිපත් කරන්න. මූලික පදනම වෙන්න ඕනෑ ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාදයන් පරාජය කිරීමයි. අපි ඉදිරිපත් කර තිඛෙන මේ යෝජනා වගේ තවත් ගණනාවක්ම ඉදිරිපත් කර ඒවා ගැන සාකච්ඡාවක් සහ අවසානයේ සම්මුතියක් ඇති වෙනවා නම්, අන්න ඒක තමයි මේ රටේ ජනතාවගේ ජයග්‍රහණය. රටේ ජනතාව අතර පොදු සම්මුතීන් ඇති වෙන්නේ මේ වගේ යෝජනා යථාර්ථයක් බවට පත් කිරීමෙන්. අපි ඊට මුල පුරා තිඛෙනවා.

සංවාද සටහන: එස්. කේ. ගමගේ

Leave A Reply

Your email address will not be published.

thirteen + four =