වසරක නිමාව හා පණිවුඩය

2021 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ලබන 17දාය. පාර්ලිමේන්තුවේ විවාද කාල වෙන් කිරීමේදී සාමාන්‍යයෙන් සිදු කරනුයේ ආණ්ඩු පක්ෂයට 40%ක්ද විපක්ෂයට 60%ක්ද ලෙසය. එහෙත් ආණ්ඩු පක්ෂය පසුගිය දාක තීරණය කොට තිබෙන්නේ මෙය ආණ්ඩු පක්ෂයට 60%ක් ලෙසත් විපක්ෂයට 40%ක් ලෙසත් වෙනස් කිරීමටය. මෙය පාර්ලිමේන්තුවේ පැවැති සම්ප්‍රදායයට පටහැනි වන්නකි.
එසේම පාර්ලිමේන්තුවට අණපනත් ගෙන ඒමේදී ඒවා විධිමත්ව සකස් කිරීම හා අමාත්‍යාංශ කටයුතු අධීක්ෂණය වෙනුවෙන් ‘ආංශික අධීක්ෂණ කාරක සභා’ ස්ථාපිතව පැවැතිණි. එහෙත්, වත්මන් ආණ්ඩුව ඒවා අහෝසි කර දැමීය. මේ වෙනුවට අමාත්‍යාංශ උපදේශන කාරක සභා පිහිටුවන බවට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණද, තවම ඒවා පිහිටුවා නැත.
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය පැවැතියේ විපක්ෂය භාරයේය. පසුගිය සමයේ සුනිල් හඳුන්නෙත්ති රටේම අවධානය දිනාගනිමින් විශාල කාර්යභාරයක් ඉටු කළේ විපක්ෂයට සභාපති තනතුර හිමි වූ නිසාවෙන් ය. වත්මන් ආණ්ඩුව මෙය තමන් යටතට පවරා ගත්තේය. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ද සභාපති ධුරය විපක්ෂයට පැවැතියත්, එය ද වත්මන් ආණ්ඩුව ඩැහැ ගනු ලැබිණ. එසේම මුදල් කාරක සභාවේ බලය ද ආණ්ඩු පක්ෂය විසින් අත්පත් කර ගනු ලැබීය.

රටේම මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. එය වඩා විනිවිදභාවයෙන් සිදු විය යුතු වීම පොදු පිළිගැනීම නිසා විපක්ෂයට මෙවැනි කමිටුවල ප්‍රධානත්වය පැවරී තිබූ බව පැහැදිලි ය. එසේ නම්, මෙම කමිටු එසේ තිබියදී, මේ රට තුළ කිසිදු හොරකමක් සිදු නොවූයේ දැයි කෙනකු විමසිය හැකි ය. නැත. අපි එසේ නොකියමු. මන්ද, මේ පාලක පන්ති වෙතින් මූල්‍ය විනිවිදභාවයක් බලාපොරොත්තු වීම සැබැවින්ම මුළාවකි. එම ව්‍යුහයන් පැවැතීමෙන් අඩුම තරමින් සිදු වන මූල්‍ය අවභාවිතාවේ තරමවත් දැනගැනීමට හැකි වීම වැදගත් වන නිසා ය.
ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය හදා ගැනීමත් සමඟ විරුද්ධ පක්ෂවල මතයන්ට ඇති ඉඩ බොහෝ සෙයින් අහුරා දමනු ලැබිණි. ඉන් පසු 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමඟ ආණ්ඩුවේ මුළු බලයම ජනාධිපතිවරයා අතට ගනු ලැබී ය. දැන් සිදු කරමින් තිබෙන්නේ තවත් කොහේ හෝ තැනක ප්‍රජාතන්ත්‍රවාදයේ යම් හෝ ඉඩක් ඉතිරිව තිබේ නම්, එවා සියල්ල හකුළා දැමීමය.

ආණ්ඩුවට මේ අන්දමට ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමට සිදුව ඇත්තේ ඇයි? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී මෙම 16දාට වසරක් පිරේ. එහෙත්, බලයට පත්වෙද්දී රට සුඛිත මුදිත කරතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි කිසිවක්ම පාහේ ඉටුකිරීමට අසමත් වීම හමුවේ ඇතිවන තත්ත්වයයි. මෙය ජනාධිපතිවරයාගේ පෞද්ගලික දෝෂයක් ලෙස සැලැකීම වැරැදිය. සැබැවින්ම වත්මන් සමාජ – දේශපාලන ඛේදවාචකය යනු පවතින ක්‍රමයේම අර්බුදය විනා හුදු පුද්ගල දෝෂයක් නොවේ. සූරාකෑම හා ලාභයම සොයන පන්තිවලට බෙදුණු සමාජයක මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි ය.

සමාජ අර්බුදය විසඳිය හැක්කේ දියුණු විද්‍යාත්මක මඟපෙන්වීමක් සහිත සැබෑ ලෙසම රටට හා ජනතාවට ආදරය කරන ජනතා බලවේගයකට පමණක් බව මේ සිදුවීම් තුළින් යළි යළිත් තහවුරු කරමින් තිබේ. ජනාධිපතිවරයාගේ වසරක ධුර කාලය මෙරට ජනයාට දෙන වැදගත්ම පණිවුඩය එයයි. රට ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද, නිදහස ද, සමානාත්මතාවය ද වෙනුවෙන් වූ ජන පෙළගැස්මකි.

Leave A Reply

Your email address will not be published.

one × 4 =