ලොවෙන් තුනෙන් එකක් ලෙඩ කළ ‘ස්පාඤ්ඤ උණ වසංගතය’

ලෝක ඉතිහාසය පිරික්සීමේදී වරින් වර සිදු වූ වසංගත රාශියක් පිළිබඳ තොරතුරු අපට හමුවෙනවා. ඒ අතුරින් සමහරක් මුළු ලෝකයේම පැතිරී ගිය මහා වසංගත ලෙස අපට හඳුනාගත හැකියි. 1918 වසරේදී ලොව පුරා පැතිරී ගිය මහා උණ වසංගතය මේ අතුරින් ප්‍රමුඛ ස්ථානයක ලා සලකන්නට පිළිවන්. ‘ස්පාඤ්ඤ උණ වසංගතය’ ලෙස හඳුන්වනු ලැබූ මෙය ලෝක ජනතාවට කෙතරම් බැට දුන්නේ ද යත්, එකල ලොව විසූ සමස්ත ජනයාගෙන් තුනෙන් එකකට පමණ හෙවත් මිලියන 500ක ජනකායකට මෙය වැළඳුණු අතර, ඉන් සැලැකිය යුතු පිරිසක් හෙවත් මිලියන 20-50ත් අතර ප්‍රමාණයක් මරු වසඟයට පත් වුණා.

ස්පාඤ්ඤ උණ රෝගයේ ලක්ෂණ

ශීත රටවල සාමාන්‍යයෙන් සරත් සමයේ සිට වසන්තය දක්වා වසරේ අනෙක් කාලයට වඩා සෙම්ප්‍රතිශ්‍යාව හා සබැඳි උණ රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා. මේ නිසා මේ කාලය හැඳින්වෙන්නේ ‘ප්‍රතිශ්‍යා සමය’ ලෙසයි. 1918 වසරේ වසන්ත සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු උප නිවර්තන හා ඊටත් උතුරින් පිහිටි රටවල ප්‍රතිශ්‍යා රෝගීන් වාර්තා වූයේ අනෙක් වසරවල මෙන්ම සාමාන්‍ය ආකාරයෙනුයි. මෙලෙස ප්‍රතිශ්‍යාව සෑදුණු බොහෝ දෙනා ඉතා කඩිනමින් සුවපත් වූ අතර, මරණ වාර්තා වූයේ ඉතා අවමවයි.

ස්පාඤ්ඤ උණ හේතුවෙන් රටවල් බොහොමයක ආර්ථිකය කඩාවැටුණා. කුඩා ව්‍යාපාර කඩාවැටුණු අතර, විශාල ව්‍යාපාර ද කරගෙන යාම අපහසු වූයේ ඒවායේ සේවකයන් ද විශාල වශයෙන් රෝගයට ගොදුරු වීම නිසයි. ලොව තැපැල් සේවා හා සනීපාරක්ෂක සේවා ද ඇණහිටීම නිසා තවත් ගැටලු ඇති වුණා. අනතුරුව ආහාර අර්බුද ද ඇති වුණා. ඒ භෝග වගා කිරීමට හා අස්වනු නෙළීමට බාධා පැමිණීම නිසායි.

1918 වසරේ සර්ත් සමයේදී ද උක්ත රටවල මීළඟ ප්‍රතිශ්‍යා සමය ආරම්භ වන ලකුණු පහළ වුණා. කෙසේ නමුත්, මෙවර මිනිසුන්ට වැළඳුණු ප්‍රතිශ්‍යාව අතිශය ප්‍රබල එකක් වූ අතර, එය අධි වේගයෙන් ව්‍යාප්ත වන්නක් වුණා. මෙය වැළඳුණු සමහරෙක් රෝගයට ගොදුරු වී පැය කිහිපයකින් මිය යාමට තරම් අවාසනාවන්ත වූ අතර, ඔවුන් මිය ගියේ පෙණහලුවල තරළ පිරීම නිසා ශ්වසන මාර්ග අවහිර වීමෙනුයි. මෙය කෙතරම් වේගයෙන් හා මාරාන්තික ලෙස ලොව පුරා පැතිරී ගියේ ද යත්, මෙයින් තදින් බැට කෑ සමහර රටවල ඒකපුද්ගල ආයු අපේක්ෂාව පවා වසර කිහිපයකින් අඩු කිරීමට සමත් වුණා.

ස්පාඤ්ඤ උණෙහි ආරම්භය

ස්පාඤ්ඤ උණෙහි ආරම්භක ස්ථානය පිළිබඳව නිසි ලෙසම පැවසිය නොහැකි මුත්, මෙම ප්‍රබල ප්‍රතිශ්‍යා උණ මුලින්ම බැට දෙන්නට පටන්ගත්තේ යුරෝපයටයි. අනතුරුව එය ඇමෙරිකාව හා ආසියාවේ උප නිවර්තන කලාපයේ පිහිටි රටවලට බැට දෙන්නට පටන් ගත් අතර, ඉන් මාස කිහිපයකට පසු ලෝකයේ සතරදිග්භාගයටම පැතිරී ගියා. සමහරෙක් මෙහි ආරම්භය ප්‍රංශයේ වූ බැව් සඳහන් කරද්දී, තවත් සමහරෙක් එය චීනයේ, බ්‍රිතාන්‍යයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ ප්‍රංශයේ වූ බවට තර්ක කරනවා. කෙසේ නමුත්, අද වන තුරු ඒ කිසිම මතයක් නිසියාකාරව තහවුරු වී නැහැ.

ස්පාඤ්ඤ උණ රෝගයට එම නාමය පටබැඳීමට හේතු වන්නේ ස්පාඤ්ඤය මෙම උණ රෝගයෙන් දැඩි ලෙස බැට කෑ නිසායි. කෙසේ නමුත්, මේ වන විට අනෙකුත් බොහෝ යුරෝපීය රටවල් පළමුවන ලෝක යුද්ධය අවසන් වී සිය නඩත්තු කටයුතු සිදු කරමින් සිටි නිසා ඔවුන්ගේ මාධ්‍ය හා සෞඛ්‍ය සේවා ඇතුළු බොහෝ දේ නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පැවැතියේ නැහැ. එමෙන්ම එම රටවල්  සිය රටවැසියාගේ මානසික තත්ත්වය උසස් තත්ත්වයක පවත්වා ගැනීමට සැබෑ තොරතුරු වසන් කළ බවට ද මත පළ වෙනවා. මේ නිසා ඒ රටවල් පිළිබඳ සත්‍ය තත්ත්වය ලොවෙන් වසන් වුණු අතර, ඒවා ද ස්පාඤ්ඤය මෙන්ම හෝ ඊටත් වඩා උක්ත ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් බැට කන්නට ඇති බැව් පසුකාලීනව විද්වතුන් පවසන්නට වුණා.

ස්පාඤ්ඤ උණෙහි තවත් විශේෂත්වයක් වන්නේ එයට ප්‍රතිශක්තිය ඉතා ඉහළ මට්ටමේ සිටි අයවලුන්ද වැඩි වශයෙන් ගොදුරු වීමයි. සාමාන්‍යයෙන් ප්‍රතිශ්‍යා උණට ප්‍රතිරෝධයක් දක්වන නවයොවුන් හා තරුණ වියෙහි පසු වූවන් විශාල ප්‍රමාණයක් මෙම රෝගයට ලක් වී මිය ගිය අතර, පළමුවන ලෝක යුද්ධයට සහභාගී වූ සෙබළුන් වැනි අය ද මේ අතර වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙබළුන් පිළිබඳව සැලැකීමේදී පළමුවන ලෝක යුද්ධයේදී මිය ගිය ප්‍රමණයට වැඩි ප්‍රමාණයක්  මේ උණ රෝගය හේතුවෙන් මිය ගිය බවට පසුකාලීනව විද්වතුන් මත පළ කළා.

ස්පාඤ්ඤ උණ රෝගය හේතුවෙන් ලොව මිය ගිය ගණන මිලියන 20 සිට 50ක් දක්වා වූ අගයක් බැව් ප්‍රකාශ කෙරෙතත්, සැබෑ අගය මිලියන 100 ක් වැනි අගයක් බැව් පැවසෙනවා. මෙය එකල ලොව සමස්ත ජනගහනයෙන් 3%ක් පමණ වනවා. ඇමෙරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන්ටත් මේ රෝගය වැළඳුණු බැව් සමහරෙක් ප්‍රකාශ කරනවා.

ස්පාඤ්ඤ උණට එරෙහි සටන

1918 වසරේදී ස්පාඤ්ඤ උණ ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරී යාම පටන් ගැනීමත් සමග වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් හට ඊට එරෙහිව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශාල ගැටලු මතු වුණා. එකල ලොව වෛරස ආසාදන මැඬපැවැත්වීම සඳහා නිසියාකාර එන්නත් වැනි දේ තිබුණේ නැහැ. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක්ද පැවැතියා. ඒ පළමුවන ලෝක යුද්ධය අවසන් වූ විගසම මේ වසංගතය පැතිරී යාම නිසයි. තවද බොහෝ සෞඛ්‍ය සේවකයන්ද මේ උණට ගොදුරු වීම වෛරසයට එරෙහි සටන තවත් අඩපණ කිරීමට සමත් වුණා. එමෙන්ම රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමත් ගැටලුකාරී වුණා. මේ හේතුව නිසා මුලින්ම සිදු වූයේ ලොව නගර රාශියකට ඇඳිරි නීතිය පැනවීමත්, මිනිසුන් නිරෝධායනයට ලක් කිරීමත් යන කාරණා යි. එමෙන්ම විවිධ රටවල රජයන් මිනිසුන්ට මුහුණු ආවරණ පැළඳීම සඳහා නීති පැනවූ අතර, එකිනෙකා අතර දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා උනන්දු කරවූවා. පොදු ස්ථානවල කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් වුණා. එමෙන්ම සමහර පෙදෙස්වල වෛද්‍යවරු මේ සඳහා ඇස්ප්‍රින් අධිමාත්‍රා නිර්දේශ කිරීම නිසා ද ගැටලු ඇති වූ අතර, මරණ පවා වාර්තා වුණා.

ස්පාඤ්ඤ උණ නිසා ඇති වූ සාමාජීය හා අර්ථික ගැටලු

ස්පාඤ්ඤ උණ නිසා සමහර පවුල් සංස්ථා සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර, ලොව පුරා අනාථ දරුවන්, වැන්දඹුවන් ඇති වුණා. එමෙන්ම සුසාන භූමිවල මෘතශරීර ගොඩගැසුණා. සමහර දෙනකුට සිය පවුලේ සාමාජිකයන් වළදැමීම සඳහා තමන්ටම වළවල් කණින්නට සිදු වුණා.

ස්පාඤ්ඤ උණ හේතුවෙන් රටවල් බොහොමයක ආර්ථිකය කඩාවැටුණා. කුඩා ව්‍යාපාර කඩාවැටුණු අතර, විශාල ව්‍යාපාර ද කරගෙන යාම අපහසු වූයේ ඒවායේ සේවකයන් ද විශාල වශයෙන් රෝගයට ගොදුරු වීම නිසයි. ලොව තැපැල් සේවා හා සනීපාරක්ෂක සේවා ද ඇණහිටීම නිසා තවත් ගැටලු ඇති වුණා. අනතුරුව ආහාර අර්බුද ද ඇති වුණා. ඒ භෝග වගා කිරීමට හා අස්වනු නෙළීමට බාධා පැමිණීම නිසායි.

අමෙරිකාවේ දහස් ගණනක් ස්පාඤ්ඤ උණ රෝගයෙන් මියගියා

වර්තමානයේ මෙන් නොව එකල ලොව සන්නිවේදනය එතරම් දියුණු නොවීම නිසා ස්පාඤ්ඤ උණ පිළිබඳව දැනුම්වත් කිරීම් එතරම් කාර්යක්ෂ්මව සිදු වූයේ නැහැ. මේ නිසා වසංගතය ‘වළක්වා ගැනීමේ’ පියවර ගැනීමට බොහෝ රටවල් ප්‍රමාද වුණා. මේ නිසා ඔවුන් හට සිදු වූයේ ‘හානි අවම කර ගැනීමේ’ ක්‍රියාමාර්ග ගැනීමටයි. ඒවාායෙහි යෙදීම ද ප්‍රමාද වැඩි බැව් පසුකාලීනව බොහෝ කොටම පසක් වුණා. විශේෂයෙන් පළමුවන ලෝක යුද්ධයෙන් පසු සිය ගම් බිම් බලා යන සෙබළුන්ගෙන් මේ රෝගය ඇමෙරිකාව පුරාම පැතිරුණා. එය වළක්වා ගැනීමේ යාන්ත්‍රණයක් ඇති කර ගැනීමට ඇමෙරිකාව අපොහොසත් වුණා.

උණ වසංගතයේ අවසානය

1919 වසරේ ග්‍රීෂ්ම ඍතුව පැමිණීමත් සමග ස්පාඤ්ඤ උණ වසංගතය වියැකී ගියා. ඊට හේතුව වශයෙන් සඳහන් වන්නේ ප්‍රධාන වශයෙන් බොහෝ දෙනාට එම රෝගය වැළඳී එක්කෝ මිය යාම හෝ වඩාත් ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත අයවලුන් තුළ ඊට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැඟීම යන කාරණායි.

දිනිඳු ඒකනායක

Leave A Reply

Your email address will not be published.

two × 5 =