“මේ ලෝකය වෙනස් කළේ විභාගය අසමත් වුණ අය” – “හිතවතුනි එන්න අපි මේ පාරෙන් යමු”

මම ප්‍රාථමික ගුරුවරයෙක්. කලක සිටන් පහ ශ්‍රේණිය පන්තිභාර ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. වෙනදා මෙන්ම මෙවරද ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව කඩඉම් ලකුණ ඉක්මවූ ළමුන් සඳහා සුබ පැතුම් ද කඩඉම් ලකුණ ට ළඟා නොවූ සිසුන් වෙනුවෙන් ඔවුන් ධෛර්යමත් කරන අදහස් පළකරන අය ගේ අදහස් වලින්ද මේ දිනවල මුහුණු පොත පිරී තිබෙනවා. දින කිහිපයකින් මේ දෙවර්ගයම පෝස්ට් යට යනවා. නැවත ලබන අවුරුද්දේ ප්‍රතිඵල සමඟ කරළියට එනවා. ඔන්න ඕකයි තත්වය. ප්‍රාථමික ගුරුවරයකු වශයෙන් මගේ කාර්යභාරය ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කිරීම සඳහා නිපුණතාවන් ගෙන් පිරි දරුවකු බිහි කිරීම. මම එම අරමුණ ඉටු කිරීමට උත්සාහ කරන, මිනිසුන්ට ආදරය කරන, දරුවන්ට ආදරය කරන සහ පෙරළා දරුවන්ගේ ඇත්ත ආදරය විඳින ගුරුවරයෙක් වශයෙන් විශ්වාස කරනවා. පොදු මතය විදිහට වැඩි දෙනෙක් කියන්නේ මම ශිෂ්‍යත්ව විභාගය ෆේල් ඒත් අද මම හොඳ තැනක ඉන්නවා කියලා. ලෝකෙ වෙනස් කළේ ශිෂ්‍යත්වය ෆේල් වුණ අය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රශ්න පත්‍රයට ලකුණු අසූවක් අරගෙනත් අසමත් වෙන මේ විභාග සහිත අධ්‍යාපනයේ මොකක් හෝ වරදක් තිබෙන බව. ඒක ඇත්ත.. ඒත් ඒ ප්‍රකාශ ඇතුළේ මොන යම් හෝ තත්ත්වයක් යටතේ හෝ මේ විභාගයෙන් කඩයිම් ලකුණු සමත් වෙන දරුවා ලඝු කොට සැලකීමත් මටනම් ඛේදවාචකයක්…

මේවා ළමයිගෙ හීන නෙමෙයි

ලකුණු දෙසියයෙන් 200 ම ගත්ත දහ දෙනෙක් ගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරු වීම.. ඔය දහදෙනා විතරක් නෙමෙයි සමත් හෝ අසමත් ළමයි සීයක් ගත්තොත් 95 කට වැඩි ඕන කෙනෙක්ගෙ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීම.. මේවා ළමයිගෙ හීන නෙමෙයි ඇත්තටම දෙමව්පියන්ගේ හා සමාජය විසින් ඔවුන් මත පටවපු හීන ..ළමුන්ට සුබපතා හෝ… අසමත් ළමුන් වෙනුවෙන් තැබෙන මේ සටහන් පසෙකලා දරුවන්ගේ දෙමව්පියන් , ගුරුවරුන්, වැඩිහිටියන්, පාසල, සමාජය, විසින් ගොඩනගන මේ හීන වෙනස් කිරීම සඳහා කතිකා කිරීමෙන් නොනැවතී ඒ සඳහා ක්‍රියාත්මක වීමයි වැදගත් …
අසමත් දරුවන් තමයි ලෝකය වෙනස් කළේ කියලා පෙනී සිටින බොහෝ දෙනෙක් වුණත් මා ද ඇතුළුව තමන්ගේ දරුවකු මේ විභාගයට පෙනී සිටිනවා නම් ඒ දරුවාගේ ජය පතනවා… සහ විභාගයට කලින් කියන්නේ නැහැ.. මේ ලෝකය වෙනස් කළේ විභාගය අසමත් වුණ අය.. ඒ නිසා මගේ පුතා විභාගය අසමත් වෙන්න කියලා..

බහුතරයක් දෙමාපියන් නැවත ඉල්ලා සිටින්නේ තරඟකාරීත්වය 

දැනට ක්‍රියාත්මක 2016 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සතුටින් ඉගෙන ගන්නා දරුවකු නිර්මාණය කිරීම සඳහා සාධනීය පියවර රැසක් අරගෙන තියෙනවා.
හිස(Head) හදවත (Heart) අත (Hand)තුනම දියුණු කිරීමේ පරමාර්ථයෙන්… ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා සෑහෙන කාලයක් ශ්‍රමයක් ධනයක් වැය කොට තිබෙනවා..එම ප්‍රතිසංස්කරණවලට අනුව නම් පන්ති කාමරය ඇත්තටම සතුටුදායක තැනක් විය යුතුයි..
ඒත් ඇත්තට ම එහෙම වුණේ නැහැ.. ඒකට හේතු ගොඩක් තියෙනවා.. ප්‍රධානම හේතුව බහුතරයක් දෙමාපියන් නැවත ඉල්ලා සිටින්නේ තරඟකාරීත්වය ඇතුළේ මගේ දරුවා එක කිරීම… නැවත නැවතත් පාසල හා අධ්‍යාපන ක්‍රමය බලකරන්නේත් ඔය තරගකාරිත්වය තුළ තමන්ගේ දරුවා, තමන්ගේ පාසල, තමන්ගෙ ටියුෂන් පන්තිය, තමන්ගේ අධ්‍යාපන කලාපය හෝ තමන්ගේ පළාත එක කිරීම…
මෙතන ප්‍රශ්නය ඇත්ත ඉගෙනුම් ඵලය ( real learning outcome) මැනීමට ක්‍රමවේදයක් නැති එක.. එනිසා ඇත්තටම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන වැඩි දෙනෙක් ඉහළ අධ්‍යාපනයේදී අසමත් වෙන්න පුළුවන් සහ ඔවුන් ළඟ අර අසමත් වන දරුවන්ටත් වඩා කුසලතා ආදරය ලෙන්ගතු කම අහිමි වෙන්නත් පුළුවන්… එහෙම නොවෙන්නත් පුළුවන්…

එහෙම නම් කළ යුත්තේ කුමක් ද…?

අර දරුවන්ගේ හීන වෙනස් කිරීම… එහෙම කරන්න පුලුවන්ද ? …අමාරුයි …හැබැයි පුළුවන් .
මේ ක්‍රමය ඇතුළෙම එහෙම වෙනස් කරන වෙනස් කරන්න උත්සාහ කරන ආදරණීය දෙමව්පියන් ආදරණීය ගුරුවරුන් ආදරණීය වැඩිහිටියන් නැතුවා නොවේ.
අවුරුදු විස්සකට ආසන්න මගේ සේවා කාලය තුළ මමත් කරලා තියෙනවා.. පහ ශ්‍රේණියෙන් එලියට එනකොට තමන්ගේ අනාගත හීන විදියට කවබෝයි චිත්‍රපටයක වගේ ගොවිපලක් කරන… රටටම කිරි සපයන කිරි ගොවියෙක් වෙන… අපේ රටේ කෑම ලෝකෙටම හදලා දෙන සූපවේදියෙක් වෙන.. අපතේ යන ආහාර වලින් නව නිපැයුම් කරන.. ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට අධ්‍යක්ෂකවරු වෙන.. ආදරණීය ගුරුවරුන් සහ ආදරණීය වෛද්‍යවරු වන.. මිත්‍රශීලී බැංකු නිලධාරීන් වන ..තමන්ගෙ අනිකාට කුහක නොවී හදවතින් සුබ පතන…කොටින්ම මොන දේ කළත් සතුටින් ඒ දේ කරන… ආදරණීය මිනිසුන් වෙන හීන ඕන තරම් පහේ පන්තියෙන් එළියට එන දරුවන් මම හදලා තියෙනවා.. හැබැයි ලොකු වෙනකොට ආයෙත් ඒ හීන නැති වෙන්න පුළුවන් .
ඒත් මම නැවත නැවත උත්සාහ කරනවා .එහෙම කරන්න උත්සාහ කරන අර මම කලින් කී ආදරණීය මිනිසුන්ට ගරු කරනවා.. හිතවතුනි දෙමව්පියනි එන්න අපි ඒ පාරෙන් යමු…

– මිහිර බණ්ඩාර හේරත්

Leave A Reply

Your email address will not be published.

8 − eight =