තේරීම් කාරක සභාව වර්ජනය කළොත් වසර 10ක් දක්වා සිර බත් කන්න වෙන හැටි

දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවල නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන බවත් ඒ සියළු අය පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 07 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මාසික හමුවේදී ප්‍රකාශ කරන ලදැයි වාර්තා විය. නමුත් කිසියම් නිලධාරියෙක් ජනාධිපතිගේ එම නියෝග පිළිපැද්දහොත් ඔහු නිසැක වශයෙන්ම සිර දඬුවමකට ලක්වන බව නීතිවේදීහු පවසති.

ඊට අදාල නීති මෙසේය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ S-3 යටතේ පාර්ලිමේන්තුවේ හෝ එය විසින් පත් කරන ලද තේරීම් කාරක සභාවක කටයුතු කිසිදු අධිකරණයක අභියෝගයට හෝ ප්‍රශ්න කිරීමකට ලක් කළ නොහැකිය. එය පාර්ලිමේන්තුව සතු අනුලංඝනීය වරප්‍රසාදයකි.

වසර 10 ක් දක්වා සිරඬුවමක් 
———————————-
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ S-10, S-11, S-13 වගන්ති වලින් පැහැදිලිව දක්වා ඇත්තේ තේරීම් කාරක සභාපතිවරයා හෝ කතානායකවරයාගේ නියෝග අනුව පාර්ලිමේන්තුවේ ලිපිකරුවෙකු විසින් කිසියම් පුද්ගලයෙකුට ලබා දෙන කැඳවීමේ නියෝගයක් පැහැර හැරීමට කිසිවෙකුට නොහැකි බවයි.

එසේ පැහැර හැරියහොත් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම යටතේ අපරාධ නඩුවක් පැවරෙනු ඇත. එහිදී ‘ජනාධිපති මට යන්න එපා කීවා’ යයි කීම සමාවට හේතුවක් නොවන අතර අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ක්‍රියාත්මක වන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමට දඬුවම් ලබා දෙනු ඇත. එය වසර 2 සිට වසර 10 ක් දක්වා සිරඬුවමක් විය හැකිය.

මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ වත්මන් ජනාධිපතිගේ නිල කාලය දෙසැම්බර් 9 වෙනිදායින් නිමා වනු ඇත. අද තේරීම් කාරක සභාවට කැඳවීම් ලැබ ඊට නොයන පුද්ගලයාට එරෙහිව නඩු අසා තීන්දු ලැබෙන විට බොහෝ විට දෙසැම්බර් 9 පසුවනු ඇත. එවිට අදාල පුද්ගලයා බේරා ගැනීමට ජනාධිපති සිරිසේන ද බලයේ නොසිටිනු නිසැකය.

ජනාධිතිටත් ඉරණම ඒකමයි
————————————
එපමණක් නොවේ දෙසැම්බර් 9 වෙනිදායින් පසු ජනාධිපති සිරිසේනට ද ජනාධිපති මුක්තිය අහිමි වන බැවින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමට ආධාර දීම, උපදෙස් දීම යටතේ අපරාධ නඩු පැවරිය හැකි වන අතර ඔහුට ද සිදුවන්නේ සිරබත් කෑමටය.

මේ අනුව පාස්කු බෝම්බ ප්‍රහාරයට වග කිව යුත්තේ කව්ද? එවැනි ඛෙදවාචකයක් යළි ඇතිවීම වළක්වා ගත හැක්කේ කෙසේද? වැනි ජාතික වැදගත්කමකින් යුක්ත පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව වර්ජනය කිරීම සියතින් ගෙල සිඳගැනීමක් වනු නිසැකය.

Leave A Reply

Your email address will not be published.

five × 3 =