ගෙදර බුදුන් ‘අම්මා’ නෙවෙයි

හිච්චි කෙල්ලො කොල්ලො කාලෙ අම්මා ගැන රචනාවක් ලියන්න කිව්වම පස්සවල් උඩ දාන් කට්ටිය ලිව්ව මතකද? ඒ හැම එකකම වරදින්නෙ නැති වාක්‍යයක් දෙකක් තිබ්බා. ‘‍දස මාසයක් කුස දැරු අම්මා’, ‘ගෙදර බුදුන් අම්මා’. ඔව් අද මාතෘකාව අම්මා. ලොකු වෙච්ච අපිට ‘අම්මා’ පුංචි මාතෘකාවක් වුණාට පුංචි කාලෙ අපිට ‘අම්මා’  ලොකු මාතෘකාවක්.

පුංචි කාලෙ අම්මා මහා ලොකු මාතෘකාවක් වෙච්චි හිච්චි කොල්ලො කෙල්ලො ලොකු වෙලා කැම්පස් ආවා. උන්ම කැම්පස් තෙල් බැම්ම උඩ වාඩි වෙලා අලුතෙන් කැම්පස් එන උන්ට පවුලේ අය ගැන කියන විදිය ඉගැන්නුවා. අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි කිව්වොත් ඒ අලුත් කෙල්ලට, කොල්ලට කුණුහරුප කෝටියයි. හැම තිස්සෙම අම්මව දෙවැනියට දාන්න එයාල ඉගැන්නුවා. ඒ වුණාට ගෙදර බුදුන් අම්මා.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩමවපු ශ්‍රී මහා බෝධිය ළඟට හේමමාලා කුමරිය ගෙනාපු දළදාව ළඟට අම්මලාට යන්න බෑ. ඒත් ගෙදර බුදුන් අම්මා.

ලංකාවේ සාසනේ කාලයක්ම අම්මලාට මහණ වෙන්න බැරුව තිබුණ. දැන් නම් පුළුවන්. ඒත් මේ රටේ සමහරක් සංඝ ආයතන අයිතිකාරයො තාමත් අම්මලට මහණ වෙන්න තියෙන අයිතිය පිළිගන්නෙ නෑ. ඒ කියන්නෙ බුදුන් දේශනා කරපු නිවන් මඟ අම්මලාට අකැපයි. ඒත් ගෙදර බුදුන් අම්මා.

’88-89 කොල්ලො කෙල්ලො මැරුණා. යුද්දෙදි උතුරේ දකුණේ ආයෙමත් කොල්ලො කෙල්ලො මැරුණා. වැරදුණා. මැරුවා. අම්මලා පුතාලා එනකම් මඟ බැලුවා. සමහරු ආවා. සමහරු කවදහරි එයි කියල අම්මලා හිතුවා. ඒත් තාමත් අම්මලා මඟ බලන් ඉන්නවා. තාමත් ගෙදර බුදුන් අම්මා.‍ෙ

කූඩැල්ලො එල්ලුණ කකුල්වලින් ලේ ගල ගල අම්මලා ලේ පාට තේ හදන තේ වතුවල වැඩ කළා.  අපි හිනා වෙවී තොලගාන තේ කෝප්පේ කවදාවත් හිස් නොකරපු මේ අම්මලාට ඡන්ද අයිතියවත්, තමන්ගෙ මහන්සියේ ගෙවීමවත් ලැබුණේ නෑ. ඒ වුණාට ගෙදර බුදුන් අම්මා.

ඊළඟට මේ අම්මා රට ගියා. මැදපෙරදිග. ළමයි දාල අවුරුදු තුනක් හතරක්. සමහර අම්මලා ඇඟ ඇතුළේ යකඩ ඇණ පුරවන් ආව. සමහර අම්මලා අතක්, පයක්, කකුලක් නැතුව ආවා. සමහර අම්මලා ජීවිතේ කඹුරපු මුළු හුස්ම ටිකම අරාබියේ දාල ආවා. සමහර අම්මලා ආවෙම නෑ. ඒ වුණාට කොරෝනා ආවා. රටක්, රාජ්‍යයක් විදියටම අපි අහක බැලුවා. ඒ වුණත් තාමත් ගෙදර බුදුන් අම්මා.

අඩු නැතුව අම්මලා ගාමන්ට් එකේ වැඩට ගියා. ඒ වැඩ කරන අතරෙත් සමහරු ආයෙ ආයෙ අම්මලා වුණා. කොරෝනා දෙවැනි රැල්ලත් ගාමන්ට් එකකින්ම පටන් ගත්තා. අපරාදෙ කියන්න බෑ මීඩියා මහත්තුරු කැමරාවත් උස්සන් මේ අම්මලාගෙ මූණු රටටම පෙන්නුවා. ගෙදර බුදුන් අම්මා.

අපි අපි අපිට බැණ ගනිද්දි අපි හැමෝටම අනිත් කෙනාගෙ අම්මා මතක් වුණා. ඒත් අපි ලෝකෙටම ඇහෙන්න කිව්වා. ගෙදර බුදුන් අම්මා.

මේ මහපොළොව උඩ අම්මලා දහස් ගණනක් ගැබ්බර වුණා. කසාද බැඳපු අම්මලා අම්මලා වෙද්දි තවත් සමහර අම්මලා බඩුභාණ්ඩ වුණා. ඒ වුණත් ගෙදර බුදුන් අම්මා.

අයියලා, මල්ලිලා, තාත්තලා අපි හැමෝම වැඩ ඇරිලා ගෙදර ආවා. අපි කිව්වා ගෙදර බුදුන් අම්මා. අම්මා වැඩ ඇරිලා ඇවිල්ලත් ගෙදර වැඩ කළා. අපි ආයෙ ආයෙම කිව්වා ගෙදර බුදුන් අම්මා. අම්මා ආයෙ ආයෙම වැඩ කළා. දහදිය, ලේ ගෙවිල ගෙවිල යනකම්ම වැඩ කළා. පුංචි කාලෙ ඉඳන්ම අපිට ඉගැන්නුවා අම්මව රවට්ටල වැඩ ගන්න විදිය. ගෙදර බුදුන් අම්මා අපි ආයෙ ආයෙ මැතිරුවා.  ඒත් අම්මා ගෙදරටවත් බුදු වුණේ නෑ. සමාවෙන්න බුදු වෙන්න දුන්නෙ නෑ. හැබැයි අම්මලා මුළු ලෝකෙටම බුදු පුතාලා වැදුවා. හැදුවා. ඒ බුදු පුතාලා රටේ ලෝකෙ හැමතැනම බුදු වුණා. බුදු වෙච්ච පුතාලා මේ මහ පොළොව උඩම අම්මලා මැරී මැරී වැඩකරපු දහදිය, ලේ, කඳුළු වහලා දැම්මා. ඊට පස්සෙ ඒ අම්මලාව ගෙවල්වලට කොටු කළා. අම්මලාට ගෙදර බුදුන් වෙලා පාඩුවේ ඉන්න කිව්වා.

ඒ නිසා අම්මා ගෙදර බුදුන් නෙමෙයි. තමන් බුදු වෙන්නත් කලින් අනිත් අය බුදුවෙන්න වැඩ  කරපු අම්මලා තාම බුදුවෙලා නෑ. බුදු නොවී බුදු කරපු අම්මලා කවදමහරි බුදු කරන්න අර ලොකු වෙච්ච හිච්චි එවුන්ට නොහොත් බුදු පුතාලාට මතක් වේවා.

 

©මලිඳු කාවින්ද කුමාරසිංහ

Leave A Reply

Your email address will not be published.

seven − 1 =