තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඇතැම් නිළධාරීහු කොරෝනා අස්සේ ගරානාවක!

කෝවිඩ්19 ආපදාවෙන් පීඩාවට පත්ව සිටින සහ ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින අඩු ආදායම්ලාභීන්ට, රජයෙන් ලබා දෙන රු. 5000 දීමනාව හොරා කන නිලධාරීන් පිරිසක් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධව සේවය කරමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම නිලධාරීන් අතර, ඇතැම් සමෘධි සංවර්ධන නිළධාරීන්, ග්‍රාමසේවකවරුන් මෙන්ම සංවර්ධන නිළධාරීන් ද සිටින බව ඔව්හූ පවසති.

කොරෝනා වසංගතය ඇති වූ පළමු අවස්ථාවේදී ක්‍රියාත්මක කළ රු. 5000 ලබාදීමේ වැඩසටහනේ දී, ඇතැම් අසරණ පවුල් වලට එකී මුදල් ලබා දුන් බවට හොර අත්සන් යොදා එම මුදල් , සමෘධි සංවර්ධන නිළධාරීන් විසින් විශාල ලෙස හොරා කා ඇති බවට හෙළිවී තිබේ.

මේම වංචාව හෙළිවී ඇත්තේ කොරෝනා දෙවැනි රැල්ල වෙනුවෙන් රු. 5000 බෙදාදීම සිදුවෙමින් පවතින මේ අවස්ථාවේදීය.

ඇතැම්  සමෘධි සංවර්ධන නිළධාරීන් විසින් මෙම මූල්‍ය වංචාව සිදු කොට ඇත්තේ, ඇතැම් ග්‍රාමසේවකවරුන් සහ සංවර්ධන නිළධාරීන්ගේ ද දැනුවත් භාවය ඇතිවය.

බම්බලපිටිය, මිලාගිරිය, කොල්ලුපිටිය , වනාතමුල්ල සහ දෙමටගොඩ වැනි ග්‍රාමසේවා වසම් තුළ මේ වංචාව ජයටම සිදුවී ඇතැයි වාර්ථා වේ.

ඉහත සඳහන් ග්‍රාම සේවා වසම් තුළ පසු ගියදා සිදු කරන ලද රු. 5000 බෙදා දීමේ අවස්ථාවට මුදල් ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් , පළමු කොරෝනා රැල්ල පැවැති අවස්ථාවේ රු. 5000 බැගින් දෙපාරක් තමන් මුදල් ලබා ගෙන ඇති බවට සටහන් වී ඇති බව දැනගත් පසු විශ්මයට පත්වී ඇත.

තමන්ට ගියවර ලබා දුන්නේ රු. 5000ක් පමණක් බව පවසා ඇති ඔවුන්, ඉතිරි රු. 5000 හොර අත්සන් ගසා නිළධාරීන් විසින් හොරා කා ඇති බව එම අවස්ථාවේ මුදල් බෙදාදීමට පැමිණ සිටි නිළධාරීන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.

බම්බලපිටිය සහ මිලාගිරිය යන ග්‍රාමසේවා වසම්වළ පළමු වටයේදී පමණක් මෙලෙස වංචා කොට ඇති මුදල් ප්‍රමාණය රු. ලක්ෂ දෙකකට වැඩි බවට මේ වනවිට හෙළිදරව් වී ඇත.

මෙතරම් වංචාවක් සිදු කොට ඇති මෙම  සමහර නිළධාරින් ට  එරෙහිව කිසිදු නීතිමය හෝ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුලු ඉහළ නිළධාරීන් කිසිවෙකු මෙතෙක් ක්‍රියා කොට නැත.

මේ වන විටත් මෙම පුද්ගලයන්ටම අඩු ආදායම්ලාභීන්ට රු. 5000 බෙදාදීමේ වගකීම පවරා ඇත.

මෙහි ඇතැම් සංවර්ධන නිලධාරින් තමන්ගේ රාජකාරි නිසි පරිදි ඉටු නොකරන නිළධාරින් බව එම වසම් ජනතාව පවසති.

තම රැකියාවට අමතරව උපකාරක පංති පවත්වාගෙන යන නිසා ඇතැම්  නිලධාරින්ට  මෙලෙස රාජකාරියද අමතක වන බව ප්‍රදේශයේ ජනයා පවසති.

පැමිණීම ලකුණු කොට කොළඹ අවට ඇති උපකාරක පංතිවල ඉගැන්වීමේ කටයුතු සඳහා යෑම ඇතැමුන්ගේ දිනචරියාව වී ඇති බව ඔවුහු  පවසති.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධව සේවය කරනු ලබන මෙම නිළධාරීන්ගෙන් ඇතැමුන්ට , දැනට සේවයේ යොදවා ඇති මගී ප්‍රවාහන බස් රථ පවා ඇති බව ජනතාව පවසති.

අහිංසක ජනතාවට ලබා දිය යුතු ජනතා මුදල් හොරා කන මෙම නිළධාරීන්ට එරෙහිව කොළඹ දිසාපති, ප්‍රාදේශීය ලේකම් ඇතුලු ඉහල නිළධාරීන් කිසිවෙකු කිසිදු පියවරක් නොගන්නේ දේශපාලන බලපෑම් නිසා යැයි ජනතාවගේ මතය වී තිබේ.

ආරක්‍ෂක ලේකම්වරයා ස්වදේශ කටයුතු සහ රාජය පරිපාලන අමාතයාංශයේ කාර්යාලයක් පවත්වාගෙන ගියද, එම ගොඩනැගිල්ලේම තිබෙන තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කටයුතු ගැන සොයා බැලීමට කෙනෙක් නැත.

Leave A Reply

Your email address will not be published.

7 + 20 =