“‘පදබැඳියාව’ උගන්වන්න ලියවමින් ලියන්න උගන්වන වැඩක්” – අනුර කේ එදිරිසුරිය

අනුර කේ එදිරිසුරිය යනු මාධ්‍යවේදියෙකි. බොහෝ මාධ්‍යවේදීන් සතු නොවූ ද්විභාෂා දැනුම හෙවත් සිංහල – ඉංග්‍රීසි දැනුම හිමි මාධ්‍යවේදියෙකි. හේ ජාත්‍යන්තරව සම්මානිත් සහ අවධානයට ලක්වූ කෘතීන් ගණනක පරිවර්තකයා ය. කවියෙකි. කෙටිකතාකරුවෙකි. සිය රාජකාරිමය දිවිය තුළ අවසානයට රාජකාරි කළ පත්තර මහ ගෙදර වූ ලේක් හවුස් ආයතනය විසින් ‘ආයුබෝවන්’ කියූ අනුර කේ එදිරිසුරිය අඛණ්ඩව මාධ්‍ය ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නෙකි.
රාවය, යුක්තිය, ලක්මිණ, ලක්දිව සහ හිරු නම් වූ විකල්ප පත්තර ගණනාවක ට ලියු අනුර කේ එදිරිසූරිය ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ එකම එක කවි ප්‍රදර්ශනයේ කර්තෘවරයා ය. එය ‘සුළැඟිලි ලකුණ’ කවි ප්‍රදර්ශනයි. ඔහු කලෙක ‘කැණීමඩල’ සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා විය. අනුර කේ එදිරිසූරියගේ අකුරු නොපළ පත්‍රයක් හෝ සඟරාවක් මෙකල වේ නම් එය ඇඟිලි කිහිපයකින් ගැනිය හැකි ප්‍රකාශන ගණනකි.
දැන් ඔහු විශ්‍රාම ගැන්වූ දිවිය තවත් කාර්යයක් සඳහා යොදවමින් හිඳියි. ඒ ‘පද බැඳියාව’සඳහා යි.
මේ ඒ පිළිබඳව අනුර කේ එදිරිසුරිය සමඟ කළ සාකච්ඡාව යි.

මොකක්ද මේ ‘පදබැඳියාව’ කියන්නේ?

කෙටියෙන්ම කියනවානම් ‘පදබැඳියාව’ කියන්නෙ නිර්මාණාත්මක ලේඛණය සහ ජනමාධ්‍ය කලාව උගන්වන ප්‍රායෝගික පාඨමාලාවක්. ලේඛකත්ව, සන්නිවේදන ආදි පාඨමාලා ලංකාවෙ කොතෙක් තිබුණත් ඒ හැම එකකම වගේ බහුලව කෙරෙන්නෙ න්‍යායික දැනුම ලබාදීම. අන්තිමට සහතික තියෙනවා, හැබැයි ලියන්න බැහැ. පුවත්පත් ක්ෂේත්‍රයේ මට මුණගැසුණු ජනමාධ්‍ය උපාධිධාරින් බොහොමයකගේත් තත්ත්වය ඒකයි. ‘පදබැඳියාව’ න්‍යාය අවශ්‍ය පමණටත්, ප්‍රායෝගික ලිවීම දිගින් දිගටමත් සංකලනයෙන් ලිවීම හුරුකරන වැඩසටහනක්. මෙහිදී හැම සිසුවකුටම ස්ව නිර්මාණ සහ පැවරුම් මගින් ගුරුවරයා සමඟ සම්බන්ධ විය හැකියි. ඊමේල් මගින් නිර්මාණ සහ පැවරුම් ගෙන්වාගෙන ඒවාහි ගුණදොස් පෙන්වාදෙමින් අඩුපාඩු සකස් කරනවා. ඊට අමතරව එකී නිර්මාණවලට පිවිසිය හැකි වෙනත් ආකාර. ප්‍රවීණයන් එවැනි අවස්ථාවල අනුගමනය කර ඇති භාෂා ප්‍රයෝග, රචනා උපක්‍රම, පිවිසුම්, අවසන් කිරීම් ආදිය පෙන්වා දෙමින් හැකියාවන් ඔපමට්ටම් කරනවා. කෙටියෙන්ම ‘පදබැඳියාව’ උගන්වන්න ලියවමින් ලියන්න උගන්වන වැඩසටහනක්.

ඔබ කාලයක් මුද්‍රිත මාධ්‍යයේ වැඩ කළ කෙනෙක්. අලුත් ලෝකය මුද්‍රිත මාධ්‍ය, විශේෂයෙන් පුවත්පත් නොතකා හරින බව කියවෙන බව අප දන්නා දෙයක්?

නූතන තාක්ෂණයත් එක්ක මුද්‍රිත මාධ්‍ය කෙරෙහි අලුත් පරම්පරාවෙ ඇල්ම, ආකර්ෂණය අඩුබවක් පෙනෙනබව ඇත්තක්. මුද්‍රිත පමණක් නෙවෙයි විද්‍යුත් මාධ්‍ය කෙරෙහිත් නව පරම්පරාවේ උනන්දුව අඩුයි. වත්මන් ජනමාධ්‍යවල විශ්වාසවන්තභාවයත් ඊට හේතුවක් කියලයි මම හිතන්නේ. ජනමාධ්‍ය ඇසුර සම්බන්ධයෙන් එවැනි ගැටලු තිබුණත් ජනමාධ්‍ය හැදෑරීමටත් ජනමාධ්‍යවලට පිවිසීමටත් තරුණ ප්‍රජාව අතර ලොකු උනන්දුවක් තියෙනවා. ‘පදබැඳියාවට’ ඉල්ලුම් කළ බොහොමයක් තරුණ තරුණියන් වගේම අප සම්බන්ධ වන වෙනත් මාධ්‍ය වැඩමුළුවලත් තත්ත්වය එයමයි. අලුත් පරපුර උනන්දුයි, දක්ෂයි. ඔවුන් ඉතාමත් වේගයෙන් ඉගෙනගන්නවා. අවශ්‍ය වෙන්නෙ පුංචි තල්ලුවක් විතරයි. තමන්ගෙ වැරදි නිවැරදි කරගෙන අලුත් පරම්පරාවෙ තර්ක ඥානයට හරියට ආමන්ත්‍රණය කළොත් මුද්‍රිත මාධ්‍යවල අනාගතය කරුවල නැහැ .

සමස්තයක් විදිහට සිංහල භාෂාවෙන් කෙරෙන මාධ්‍ය කටයුතු සිදු කෙරෙන ආකාර පිළිබඳව වෘත්තීය මාධ්‍යවේදියෙක්, මාධ්‍ය ගුරුවරයෙක් විදිහට ඔබේ අදහස?

ජනමාධ්‍ය වැඩමුළුවලදි මම මතුකරන නිදර්ශනයක් මගින් මම මේ කරුණ පැහැදිලි කරන්නම්.

පාස්කු ප්‍රහාරය ආසන්නයේ බදුල්ල පැත්තේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක ගබඩාවකින් පොලිස් නිල ඇඳුම් වගයක් අත්අඩංගුවට ගත්තා කියා ප්‍රවෘත්තියක් පළවුණා . ප්‍රවෘත්තිය කියවාගෙන යද්දි අගට තියෙනවා, ඒ රාජ්‍ය නොවන සංවිධානය ඒ නිල ඇඳුම් තොගය පොලිසියට පරිත්‍යාග කරන්න මහලා සංවිධානයේ නම ඒවායේ සඳහන් කළ නිසා පොලීසිය බාර නොගත් නිසා ගබඩාවෙ තබා තිබුණු බව අදාළ සංවිධානයෙ වගකිවයුතු අයෙක් කීවා කියලා .ඒ අනුව ගත්තම ප්‍රවෘත්තියේ මුල් කොටස අග කොටස මගින් නිෂේධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි පොලිසිය වැරදි අත්අඩංගුවට ගැනීමක් කළාම රාජ්‍ය නොවන සංවිධානය ගැන වැරදි ආකල්පයක් ඇතිවෙන විදිහට වාර්තා කරනවා. ඇත්තෙන්ම විය යුතුව තිබුණෙ පොලිසිය වරදක් කර ඇතිබව වාර්තා කිරීම වුණත් එය සිදුවුණේ නැහැ. සිංහල විතරක් නෙමෙයි ලංකාවෙ ඉංග්‍රීසි මාධ්‍යවලත් හැසිරීම අඩු වැඩි වශයෙන් මීට සමානයි. පසුගිය ජනාධිපතිවරණයේදි ට්‍රම්ප් බොරු කියද්දි අමෙරිකානු මාධ්‍ය විකාශය අතරමැදදි නතරකළා. අපේ මාධ්‍ය ඒතරම් ශක්තිමත් ‘කොන්දක්’ කවදා හදාගනියිද කියල හිතන්නත් අමාරුයි .

‘ලියන්න – කියන්න’ විෂයක් ලෙස උගන්වන්න අදහස් කළේ ඇයි?

ලේක්හවුසියෙන් මා ඉවත් කිරීමත් සමඟ ඇතිවුණු සමාජ මාධ්‍ය සංවාදයෙදි බොහෝ දෙනෙක් කීවෙ මගෙන් යමක් ඉගෙන ගත්ත කියලයි . වචන පටලවා ලිවීමෙ වරද හැදුණෙ මා නිසාබව සමහරු කීවා. තවත් කෙනෙක් මගේ ලිපි සැකසුමගැන, ශීර්ෂපාඨගැන කතාකළා .

මම අත්දැකීමෙන් දන්න ආකාරයට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයගේ පවා අඩුපාඩු බොහොමයි. සමහරු ඒබව පිළිනොගත්තත්, ඒබව පිළිගෙන ඉගෙනගන්න කැමති අයත් ඉන්නවා. ඒ අයටත්; අලුතින් මාධ්‍යයට එකතු වෙන්න හිතන අයටත්; රසවත්ව ලියන හැටි උගන්වන්න මම හිතුවෙ මුලින් කී සංවාදයේ ප්‍රතිඵලයක් හැටියටයි. අනික, ලිවීම වගේම ලියන්නකුට ප්‍රගතිශීලී, සමාජ ද්‍රෝහී නොවන චින්තන රටාවක් දර්ශනයක් අවශ්‍යයි. මානවවාදීව හිතන කෙනෙක් අතින් ජනමාධ්‍ය හෝ සාහිත්‍ය කලාව හෝ අවභාවිත වෙන්නෙ නැහැ. ‘පදබැඳියාව’ එක්ක එකතුවෙන අයට හොඳට ලියන්නත් තර්කානුකූලව හිතන්නත් පුරුදුකරන්න හිතුවෙ දවසේ අවශ්‍යතාවක්, යුතුකමක් වශයෙන් හිතලයි.

කොහොමද කෙනෙකු ඊට සම්බන්ධ වෙන්නේ?

මෙය මුදල් අයකර කරන පාඨමාලාවක්. නමුත් වෙනත් පාඨමාලාවලට සාපේක්ෂව ගාස්තුව අඩුයි . අඩු මුදලට උගන්වන්නේ ඇයි කියා සමහරු අහනවා. වැඩි පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නයි ගාස්තුව අවම කළේ .මෙය එකඅතකින් නිර්මාණාත්මක ලේඛනය ජනගත කිරීමේ ජනතාවාදී පාඨමාලාවක්. ලියාපදිංචි ගාස්තුව ගෙවීමෙන් සහ පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් ඕනෑම තරාතිරමක ඕනෑම වයසක කෙනකුට මෙයට සම්බන්ධ විය හැකියි . විස්තර අවශ්‍ය කෙනකුට , ‘පදබැඳියාව’ , කෙසෙල්වත්ත, තිස්මල්පොල, රඹුක්කන . ලිපිනයෙන්, [email protected] ඊමේල් ලිපිනයෙන් හෝ 0764475355 දුරකතන අංකයෙන් විස්තර ලබාගත හැකියි.
-සිසිර යාපා

ඡායාරුප-රවීන්ද්‍ර පුෂ්පකුමාර 

 

Leave A Reply

Your email address will not be published.

twelve − 1 =