මන්දාකිණියෙන් එහා…

මම ඉන්නේ ඇඳ උඩ. කාමරේ ලයිට් නිවලා විදුලි පංකාව වේගයෙන් කැරකෙනවා. ඒක තියෙන්නේ හරියටම මගේ මූණට උඩින්. තත්පරේට වට කීයක් කැරකෙනවද කියන්න බැරි තරම් වේගයක් එක්ක කැරකෙමින්.

හ්ම්…  ඉස්සර දවස් ගෙවන්න කරන්න ඕනෑ තරම් දේවල් තිබුණා.  අපි හිනා වුණා. (මටම කියා ගත්තේ.)

“කෝල් එකක් ගන්න ද මං ඔයා වැඩක ද?”

කියලා පටන් ගත්ත කතාව පස්සේ පැය තුන හතරේ කෝල් දක්වා දුර ගියා. කොළඹින් බස් එකේ නැගලා යාපනෙන් බෝට්ටුටක් අරන් ඉන්දියාවට ගිහින් එතැනින් ලෝකේ වටේම රවුම් ගහලයි ආයේ අපේ කතාව පටන් ගත්ත තැනට ආවේ. කිලෝමීටර් ම කීයක් ද? ගණන් කරන්න බෑ නේද?

අපි  මුලින් මුලින් තරගෙට කතා කළා. එයා ඉවර කරන්න කලින් මම පටන් ගන්නවා. මම ඉවර කරන්න කලින් එයා පටන් ගන්නවා. අවුරුදු ගාණකින් කියලා ඉවර කරන්න බැරි තරම් කතන්දර අපි දෙන්නා ගාවම පිරිලා. ඒ කතා එකකට එකක් බැඳිලා. පුදුමයි ආත්ම ගාණක ඉඳන් මේ දේවල් බෙදාගන්න බලන් හිටියා වගේ.

දවස් යන්න යන්න මේ ලෝකේ අපිට මඳි වුණා. ඉන්දියන් සාගරයෙන් පැසිපික් අත්ලාන්තික් වෙනකම් ගිහින් මහා බාධක කොරල් පරත් පහු කරන් අයිස්ලන්තෙට ගියත් අපේ කතාවල් ඉවර වුණේ නෑ. හරියට ජෙට් එකක නැගල විනාඩි ගාණෙන් ලෝකේ වටේ යනවා වගේ අපිට ඒ දුර දැනුණේ. පස්සේ අපි ඕසෝන් ස්ථරයෙන් එහාට ගිහින් ග්‍රහලෝක අතර ඇවිදින ගමන් කතා කරන්න ගත්තා. ඔක්සිජන් නැති අවකාශයේ අපි හුස්ම ගත්තා. Whatsapp විතරයි අපිට ඒකට ඕනෑ වුණේ.

± ඔයා අහලා තියෙනවද  කළු කුහර ගැන

÷ ඕ….. ( උත්තර දෙන්නේ මම )

± කළු කුහර වලට පුළුවන්ලු ඕනිම දෙයක් ගිලගන්න වෙන කාටවත් නොදී…

÷ හ්ම් ඉතින්…

± මමත් ආසයි කළු කුහරයක් වෙලා ඔයාව ගිලින්න. එතකොට යන්න හදනවකෝ මගෙන් ඈතට.…

……………………………………………………………………

± මේ මන්දාකිණියට එහා එකක අපි වගේම දෙන්නෙක් ඉන්න බැරිද මේ වගේම පිස්සු කතා කියව කියව ඉන්න…

(මේ  කතාව පස්සේ දවසක වුණ සංවාදයක කොටසක්. පුරුදු පරිදි උත්තර දෙන්නේ මම)

÷ අපිට තියෙන පිස්සුව තියෙන දෙන්නෙක් ඒ මන්දාකිණියේ හිටියොත් ඒකත් ඉවරයි…

රෑ, දවල්, හවස හැම මොහොතකම මේ විදියට අපි කතාන්දර කියන්න ගත්තා.. හරියට චිත්‍රපටි බලනවා වගේ රූප මව මවා කතා කළා.

අපි මෙහෙම කතා කර කර ටික ටික ඉරට කිට්ටු වුණා. ඈතට ලස්සනට පේන හින්දාම ඇදිලා ගියා වගේ අපි ඒකට ළං වුණේ. ඇත්තටම කිව්වොත් බුධත් පාස් කරලා ළඟට එනකම්ම අපිට රස්නේ දැනුන් නෑ. එක පාරක අපිට දරාගන්න බැරි තරම් රස්නයක් දැනෙන්න ගත්තා. ආපස්සට යන්න බැරි තරම් ළඟට ඇවිත් හිටපු  අපි ඉර ළඟට ම ඇදිලා ගියා.

අපි දැන් ඉර ළඟ.

එක පාරට කෝල් එක කට් වුණා.

Data ඉවර වෙලා…..
(මම එහෙම හිතුවා)

ආයේම ගත්තට වැඩ කළේ නෑ…

(වැඩ කළේ නැති කාලය තත්පර ද, පැය ද, දින ද, සති ද කියන්න මට මතක නෑ.)

වැඩ කළේ ම නෑ.

මම ආයේම ගත්තා….. ගනිද්දී…

‘ ……………. is on another call…’

අන්තිමට මතක එච්චරයි. පස්සේ මාව  විසි වෙලා ගිහින් ඇඳට වැටුණා. උඩ තිබුණේ කැරකි කැරකී තිබුණ විදුලි පංකාව විතරයි. මම ඒක දිහා බලන් ඔහේ හිටියා…..

කවිඳු N. අමරතුංග

Leave A Reply

Your email address will not be published.

twenty − sixteen =