මහසෝනගෙයි මෝහිණීගෙයි පුතා

මං මහසෝනගෙයි මෝහිණීගෙයි පුතා.මං දන්නවා එහෙම කියපු ගමන් හිනා යනවා. ඒත් ඒක තමා ඇත්ත. කමක් නෑ හිනාවෙන්න. මහසෝන කැමතියි හිනාවෙලා ඉන්න. පොඩි එකාව තුරුල් කරන් අඬපු මෝහිණී වුණත් එතකොට සතුටු වෙයි.

අපි හිටියෙ කනත්තෙ. කනත්තෙ කොණකට වෙන්න තිබුණ පුංචි ගෙදර. ගමේ මිනිස්සුන්ට ඒක මඩුවක් වුණාට අපිට ඒක ගෙයක්. මගෙ තාත්ත කළේ මිනී වළවල් කපන එක. ආදාහනය කරන මිනී වලට චිතකය ගහන එක. ගමේ මරණයක් අපි තුන්දෙනාගෙම බඩගින්න නිව්වා. ගමේ මිනිස්සු තාත්තට කිව්වෙ මහසෝන කියලා. තාත්ත යකෙකුටවත් බය මිනිහෙක් නෙවේ. හොල්මන්, යක්කු ගැන කවුරු හරි කියනව ඇහුණොත් තාත්තට හිනා යනවා. ඒත් ඒ හිනාවට කවදාවත් කිසිම මිනිහෙක් හිනාවකින් උත්තර දුන්නෙ නෑ. කනත්ත ගැන එක එක හොල්මන් කතා තිබ්බට අපේ තාත්තවත් මමවත් අම්මවත් කනත්තෙදි එක හොල්මනක්වත් දැකල නෑ. ඒත් කනත්ත ඉස්සරහ පාරෙන් උදේ හවස එහෙටයි මෙහෙටයි යන ඕන තරම් හොල්මන් නම් අපි දැකල තියෙනවා.

මං ඉපදුණ දවසෙ තාත්ත ගෙදර ඉඳල නෑ. අම්මා මං හිටපු බඩගෙඩියත් උස්සන් පාරට ගිහින්. ගොම්මනත් පහු කරන් කට්ට කළුවර වැටෙන වෙලාවලු. හැන්දෑවෙ වැඩ ඇරිල බයිසිකලේ එන මිනිහෙක්ට අම්මා කෑගැහුවලු අම්මට අමාරුයි කියලා. මිනිහා බයිසිකලෙත් දාල කුණුහරුපෙකුත් කියාගෙන පණ කඩාගෙන දිව්වලු. එදා ඉඳන් අපේ අම්මා මෝහිණී.

මාත් අන්තිමට ඉපදුණේ කනත්තෙමයි. මං පුංචි කාලෙ ඉඳන් කනත්තෙන් එන අමුතු සුවඳට ආසයි. ඒක අරලිය මල් සුවඳත් එක්ක මුහු වෙලා එන අමුතුම සුවඳක්. හඳ එළිය වැටිච්ච රෑට ලයිට් එළියක් පේන මානෙක නැති කනත්ත හරි ලස්සනයි. ඒ ලස්සන මට කියල දුන්නෙ අම්මා. ඔව් ඔයාලා ඔය මෝහිණී කියන්නෙ අන්න එයා.

අම්මා මට හඳ මාමා පෙන්නල කතා කිය කිය බත් කවන්න හරි දස්සයි. ඔය කතා කිය කිය සොහොනක් ගාව මාව වාඩි කරල අම්මා බත් කවද්දිත් සමහර මිනිස්සු හයියෙන් කුණුහරුප කියන් කනත්ත ඉස්සරහින් දුවල තියෙනවා. ඒ වෙලාවට අම්මා මාව ගෙට ගන්නවා. කුණුහරුප ඇහෙයි කියලා වෙන්නැති. එයා මාව මලක් වගේ බලාගත්තෙ. එයා මල් වලට හරි ආසයි. කනත්තේ මිනී වළල්වල් උඩ ඉතුරුවුණ මල්වඩම් ගෙනල්ලා එයා ඒවගෙ ලස්සනට අරලිය මල් අමුණනවා. මං ඒවා අරන් ආයෙම මිනී වළවල් උඩින් පරිස්සමට තියෙනවා. හැම සොහොනක්ම හැම මිනී වළකටම අම්මයි මායි ආයෙ අයෙ මල්වඩම් තියනවා. මගෙ පුංචි කාලෙ ගෙවෙන්නෙ එහෙම.

කොහොමහරි තාත්තා මාව ඉස්කෝලෙ දැම්මෙත් හරිම අමාරුවෙන්. දන්නවනෙ ගමේ සමහර අයගෙ හැටි. මිනීවළවල් කපන මහසෝනගෙ පුතා ඉස්කෝලෙ එනවට සමහර අය කැමති නෑ. කොටින්ම පංතියෙ කිසිම ළමයෙක් කවදාවත් මාව අතින්වත් ඇල්ලුවෙ නෑ. වැරදිලාවත් මගේ ඇඟේ අතක් වැදුණොත් එයාල දුවල ගිහින් අත හෝදගන්නවා. ඒත් පුංචි පංතිවලදි එයාලා මගෙන් එක එක කතා ඇහුවා.

“ඔයා මහසෝනව දැකල තියෙනවද”

“ඔව්”

එතකොට එයාල ඇස් ලොකු කරගන්නවා.

“ඔයා මෝහිණිව දැකල තියෙනවද”

“ඔව්”

එතකොට එයාල අත් දෙකෙන් කටත් වහගෙන ඇසුත් ලොකු කරන් තවත් විස්තර අහනවා.

“ඇත්තටම මෝහිණී පොඩි බබෙක් වඩාගෙන ඉන්නවද”

මං හිනාවෙනවා.

” ඔව්”

“එයා ඔයාවත් වඩාගෙන තියෙනවද?”

“ඔව්”

එයාල කටවල් ඇරගෙන ඇස් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. ඉස්කෝලෙම මං ප්‍රසිද්ධ වුණේ එහෙමයි. මහසෝනගෙ පුතා. මෝහිණීගෙ බබා.

ඒ මං පුංචි පංතිවලදි ඉද්දි ළමයි අහපු කතා. ඒත් ටික ටික මං ලොකු පංතිවලට එද්දී ළමයි ඇහුවේ ඊට වඩා වෙනස් කතා.

“උඹ මෝහිණිගෙම පුතාද?”

“මෝහිණීට කවුද දන්නෑ උඹව දුන්නෙ?”

“උඹේ අම්මගෙ සාරිය කැඩිලද?”

“උඹ දන්නවද අපේ අයියට ඊයෙ මෝහිණි හම්බෙලා. බබා වඩාගන්න කිව්වලු සාරිය ඇඳගන්න. අයිය කිව්වලු එයා සාරිය අන්දන්නං කියල.”

පුංචි පංතිවල ඉඳන් ලොකු පංතියකට ආපු ගමන් ඇහිච්ච මේ කඩප්පුලි කතා මුලින් මුලින් නොතේරුණාට ඒක තේරෙන්න ගද්දි මං ගෙදර ඇවිත් අම්මට තුරුල් වෙලා අඬනවා. මං අම්මට කිව්වා අපි මේ කනත්ත දාල වෙන කොහේ හරි පදිංචියට යමු කියල. ඒත් අම්ම කිව්වෙ තාත්තගෙ ජීවිතේම මෙතන කියල. පුංචි කාලෙ ලස්සනට දැකපු කනත්තට මං වෛර කළා. අන්තිමට මං මට ඉස්කෝලෙ යන්න බෑමයි කියනවා. ඒත් අම්මා මට කියනවා ‘මයෙ පුතා ඉගෙන ගන්නම ඕනෙ’ කියල. මං අඬ අඬ ආයෙ ඉස්කෝලෙ යනවා. ඒත් එක දවසක් ඒක වෙනස් වෙනවා.

ඒ ගුරු දිනය. ගුරු දිනය කියන්නෙ ගුරුවරුන්ගේ දවස වුණාට මගෙ මුළු ජීවිතයම ගුරු පාට වෙච්ච දවස. හැම ළමයෙක්ම ගුරුවරුන්ට තෑගි යෙනියන දවස. මට ගෙනියන්න තෑගි ගන්න අම්මට කරදර කරන්න බෑ. තාත්තා බුලත් අතක් කඩෙන් ගෙනාවෙත් එයාගෙ බඩගින්න උකස් කරලා කියල මං දන්නවා. ඉතින් තෑගි ඉල්ලල තාත්තට කරදර කරන්නෙ කොහොමද? මුළු ගමම මහසෝනයි මෝහිනියි කියල හංවඩු ගහපු දෙන්නගෙ පපුවෙ තියෙන ගින්දර මට තේරෙනවා. මං ඒක දන්නවා.

ළමයි පෝළිමේ ගිහින් ටීචර්ට බුලත් දීල වඳිනවා ඊට පස්සෙ තෑගි දෙනවා. ටීච සතුටෙන් ඒ තෑග්ග අරන් ‘අනේ තෑගි එපා පුතේ’ කියනවා. තෑගි එපා කිව්වට මං දන්නවා ටීච හරි කැමතියි තෑගි දෙනවට.
මාත් පෝළිමේ පිටිපස්සෙන්ම ඉන්නවා. හැම ළමයෙක්ම තෑගි දෙනකොට මං විතරක් තෑගි නොදී ඉන්නේ කොහොමද? ඉතින් අම්මටයි තාත්තටයි හොරෙන් මං ඉස්කෝලෙට තෑග්ගක් ගෙනිච්චා. මං ඒ තෑග්ග පිටිපස්සට කරලා අත්දෙකෙන් අල්ලන් හිටියෙ. ඒ තෑග්ග තමා පංතියේ ළමයින්ගෙන් ගෙනත් තිබුණ ලොකුම තෑග්ග. ඒත් පංතියේ හැම ළමයෙක්ම වගේ මගේ තෑග්ගට හිනා වුණා. ඒත් පංතියේ අනිත් ළමයින්ගෙ තෑගි වලට වඩා මට මගේ තෑග්ග වටිනවා. අම්මටයි තාත්තටයි කරදර නොකර මේක මංම හොයාගත්තු තෑග්ගක්. මගේ වාරෙ ආව. මම කලින් දවසේ කනත්තේ වළලපු මිනිය ළඟ තිබුණු පුංචි මල් වඩම උඩින් බුලත් අත තියලා ටීච අතට දීල වැන්දා.

තෑගි දෙනකොට හැම ළමයගෙම ඔළුව අතගාපු ටීචගෙ මූණෙ තිබුණ හිනාව නැතිවුණා. කනත්තේ පිපෙන සුදු පාට අරලියා මල් ගුරු පාට වෙලා පරවෙනවා වගේ ගුරු දිනේ දවසෙ ටීචගෙ මූණත් ගුරු පාටට හැරුණා. මං ටීචගෙ ඇස් දිහා බැලුවා. ටීච මොකුත්ම කිව්වෙ නෑ. ටීච මුළු පංතියටම සද්දෙ ඇහෙන්න ගුරු පුටුව පිටිපස්සට කරල නැඟිට්ටා.

” ඌ හිතන් ඉන්නෙ මිස් මැරිල කියල.”

” නැත්තං මිස්ව මරන්ඩ හිතුවද දන්නෑ”

” මිස් මැරුණොත් වළ කපන්නෙ උගෙ තාත්තා”

” කවුද”

“මහසෝනා”

” මහසෝනා මල්ශාලාව”

පංතියේ ඉස්සරහම පේළියෙ උන් කතාවෙනව හිනාවෙනවා මට ඇහුණ.
ටීච ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක පැත්තට හැරුණ. මල්වඩමත් කරේ දාන් මට එයා පස්සෙන් එන්න කිව්වා.

ළමයි හිනා වුණා. හූ කිව්වා.

‘මෝහිණී….’ කිව්වා.

‘මහ සෝනා පව්ව්ව්ව්ව්……..’ කියල කෑගැහුවා.

එදා මාව ඉස්කෝලෙන් එළියට දැම්මෙ ටීචට මාව පංතියෙ තියාගන්න බෑ කියල.

“මේක ඉස්කෝලයක් මිසක් කනත්තක් නෙමෙයි”

මුළු ගුරු දිනේම ගුරු පාට වුණා. තාත්තා මාව ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඉඳන් අතින් අල්ලන් එක්ක ගියා. තාත්තාගෙ අත වේගෙන් ගැහුණා. ඒත් තාත්තා නෙමෙයි මට වචනෙකින්වත් සැර කළේ. ඇත්තටම මං කරපු වැරැද්ද මොකක්ද? අපි ගෙදර ආවා.

“කොල්ලා හෙට ඉඳන් ඉස්කෝලෙ යන්නෑ”

තාත්තා අම්මට කියද්දි අම්මගෙ අතින් නෑබිලිය වැටුණා. තාත්තා උදැල්ල අරන් මාවත් ඇදන් කනත්තට ගියා. කමිසෙ ගලවලා ළඟ තියෙන අරලිය ගහක දෙබොක්කාවක ගැහුවා. තාත්තගෙ පපුවෙ මවිල් හුළඟට එහෙට මෙහෙට වැනුණා. හරියට සමහර කාලවලට තාත්තගෙ විසිකැත්තතෙනුත් බේරෙන කනත්තෙ උසට උසේ වැවෙන තුත්තිරි හුළඟට නැලවෙනවා වගේ. තාත්තා ඔළුව හොල්ලලා මටත් කමිසෙ ගලවන්න කිව්වා. තාත්තා මගේ කමිසෙත් ගස් දෙබලේ ගැහුවා. මට උදැල්ල දුන්නා.

“කපමු බලන්න වලක්”

වලට යන ජීවිතේ ගොඩ එන්න මං ජීවිතේ පළවෙනි පාරට මිනී වලක් කැපුවා. ඒ මිනී වලට හැඩයක් නෑ, ගැඹුරක් නෑ. ඒත් තාත්තා මට ඕන තරම් ඕන හැටියට මිනී වල කපන්න දීල බලන් හිටියා. ඒත් එතන තිබුණේ පැලයක් හිටවන්න තරමේ වලක් මිස මිනියක් වලන්න තරම් වලක් නෙවෙයි. තාත්තා ඒ වලට එහෙම්මම තියෙන්න ඇරියා.

“තනියම ඉගෙන ගන්න අමාරුයි. ජීවත් වෙන එක ඊටත් වඩා අමාරුයි”

අම්මා එදා රෑ මගේ අත් වල කකුල් වල තෙල් ගෑව. අම්මා සැරෙන් සැරේ පිටි අල්ලෙන් අම්මගේ කම්මුල් පිහදාගත්තා. අම්මා එදා ගෑවෙ තෙල්ද? කඳුළුද?

පහුවදා තාත්තා මාව සොහොනක් ළඟට එක්ක ගියා. මගෙ දබරැඟිල්ල අරන් තාත්තා සොහෝනෙ කොටල තිබුණ අකුරුදිගේ අරන් ගියා.

ඇකුරු වලටත් හැඩයක් තියෙනවා. පාටක් තියෙනවා . ගැඹුරක් තියෙනවා. ඒව වචන වෙනවා. ඒ වචන වලටත් පාටක් තියෙනවා ගැඹුරක් තියෙනවා. ඒ වචන එකතු වෙලා වාක්‍ය හැදෙනවා.

“නිවන් සුව ලැබේවා”

එක එක සොහොනේ එක එක ගැඹුරයි. එක එක හැඩයයි. නිවන වුණත් එක එක මනුස්සයට වෙනස් වෙන හැටි. මං කොපි පොතක් අරන් හැම සොහොනකම හැම අකුරක්ම හැම වචයක්ම හැම වාක්‍යක්ම පිටපත් කරනවා.

“මේක කනත්තක් වගේම ඉස්කෝලයක්”

තාත්තා එහෙම නොකිව්වට, තාත්තා ඒක මට කියල දුන්නා. මං දන්නවා දැන් මිනී වලක් ගාණට කපන්න. චිතකයක් ලස්සනට බඳින්න. අනුස්මරණීය අකුරු අමුණලා වචන කරලා සොහොනක ලියන්න. ඉස්කෝලෙ යද්දි කාලයක් වෛර කරපු කනත්තට ආයෙමත් මට ආදරේ කරන්න පුරුදු කළේ තාත්ත.

“කනත්ත කියන්නෙ මහපොළොවට. මේ මහපොළොවම කනත්තක්” ඒ කවදාවත් ඉස්කෝලෙ නොගියපු මහසෝනා හෙවත් මගෙ තාත්තා.

මං ඉස්කෝලෙන් අස්කරපු දවසෙවත් අඬපු නැති තාත්තට හැමදාම ඕන වුණේ හිනාවෙලා ඉන්න. ඒත් හැමදාම හිනාවෙලා ඉන්න පුලුවන් කාටද ? අම්මවයි මාවයි අඬවලා තාත්තා ලස්සන හිනාවත් අරන් යන්න ගියා. පැලයක් හිටවන්න තරමට කපපු මගේ පළවෙනි මිනීවල මං අඩි හයක් යටට හෑරුවා. මං කපපු ලස්සනම මිනී වලේ මගේ තාත්තා සැතපුණා. හැමදාටම. තාත්තා වෙනුවෙන් මං මගෙම වියදෙමෙන් හදපු සොහොනේ තාත්තගෙ නම ලියල මං වරහන් ඇතුළෙ දැම්මා මහසෝන කියල.

මහසෝනාට නිවන් සැප ලැබේවා.

මිනිස්සු ඒ සොහොන දිහා බලල හිනාවෙනවා ඇති. තාත්තා කිව්වෙ කිසිම දවසක එයා දිහා බලලා කවුරුත් හිනාවුණේ නෑ කියල. අඩුමතරමේ එයා එක්ක දැන් හරි ගමේ මිනිස්සු හිනාවෙනවා.

“තාත්තේ ඔයත් හිනාවෙන්න”

කවදාවත් මූසල නොවුණු කනත්ත මූසල වෙන්න ගත්තා තාත්තාගෙ හුස්ම නැතුව. ඒත් මං හරි වාසනාවන්තයි. අනිත් පුතාල වගේ මං කවම දාවත් මගේ තාත්තව කනත්තේ තනි කළේ නෑ. මං හැමදාම හිටියේ එයා එක්ක.

මං තාත්තා වෙනුවට මිනී වළවල් කැපුවා. තනියම නෙමේ. රස්සාවක් නැතුව ඒ මේ අත රස්තියාදු ගගහ හිටපු උපාධිකාර කොල්ලො දෙන්නෙක් මං ළඟ වැඩට ආව. ටිකක් කම්මැලියො තමා. ඇඟ හොරයි. ඒත් මං උන්ව හදල ගත්තා. උං ලස්සනට චිතක හැදුවා. සොහොන් හැදුවා. කනත්ත ටික ටික ලොකු වුණා. කනත්ත ළඟින් අහක බලන් ගියපු උන්දැලෑ වුණත් කනත්ත දිහා පොඩ්ඩක් හරි ඇහැ කරකෝලා බැලුවා.

කම්මැලියො දෙන්නා නැති දවසක හවසක හදිසියේ මිනීවළක් කපන්න වැඩක් ආවා. මං තනියම මිනී වළ කැපුවා තාත්තගෙ සොහොන ළඟින්ම. තාත්තගෙ මිනී වල කැපුවට පස්සෙ මං තනියම ලස්සනට පිළිවෙලට කපපු එකම මිනී වල. ඒත් ඒ ඇයි කියන්න මං දන්නෙ නෑ.

ඊට පහුවෙනිදා තමා ගුරු දිනය. ඔව් මගේ ජීවිතේ ගුරු කරපු ගුරු දිනය. සුදු ඇඳගෙන ගුරුවරු ළමයි කනත්තට ආව. මගේ ටීචර් සුදු ඇඳගෙන අත්දෙකත් බැඳන් ඇස් දෙකත් පියාගෙන නිසංසලව වැතිරී උන්නා. ළමයි ඇඬුවා. ටීචර්ලා තාලෙකට ඇඬුවා. සේරම අඬල අඬල මං කපපු මිනී වලේ ටීචර්ව තනිකරලා යන්න ගියා. තාත්තගෙ සොහොනේ උසටම මං ටීචර් වෙනුවෙනුත් සොහොනක් හැදුවා.

“මෙහි සැතපෙන්නෙ ලෝකයේ හොඳම ගුරුවරුන් ඇති බව කියා දුන් ගුරුවරියකි.”

මං සොහොනේ ලිව්වා. ඒ ටීච නැත්නම් මං මගේ තාත්තා මේ තරම් හොඳ ගුරුවරයෙක් බව දන්නෙ නෑ. ඒ ටීච නැත්නම් ඉස්කෝලයක් කනත්තක් නොවුණට හැම කනත්තක්ම ඉස්කෝලයක් වෙන බව මං ඉගෙන ගන්නෙත් නෑ. ඒ ටීච නැත්නම් මාත් අනිත් උන් වගේ කිසිමදවසක නොමැරෙන එකෙක් කියලා හිතාගෙන අනිත් එකාව පාගගෙන වැඩකරයි. අනිත් එකාගෙ ආත්මයම විනාස කරල දායි. ඒත් මං දැන් දන්නවා ඒ මැරෙන උන්ටයි මැරෙන්නෑ කියල හිතන් ඉන්න උන්ටයි දශමයක්වත් එහා මෙහා නොවෙන්න මේ මහපොළොව බෙදල දෙන්න. උන් වෙනුවෙන් ඕනෙනම් පුංචි කවියක් උන්ගෙ සොහොනේ ලියන්න. මට මං ගැන ආඩම්බරයි. සතුටුයි. මං තමා මහසෝනගෙ පුතා. මං තමා මෝහිණිගෙ පුතා. ඒ ගැන මට ආඩම්බරයි. ඒ හැමදේම ටීචර් මාව ඉස්කෝලෙන් අයින් කරපු නිසා.

එදා ටීචර් මගේ බෙල්ලේ එල්ලපු මල්වඩම එදා මං ගෙදර එද්දිත් අරන් ආව. ඒක මං ගාව පරිස්සමට තියාගත්තා. කිසිම හේතුවක් නැතුව මං ඒ මල් වඩමට ආදරේ කළා. ඒත් දැන් ඒකෙ මල් හැලිලා. අම්මා අරලිය මල් වලින් මල් වඩම ආයෙමත් ලස්සනට හැදුවා. මං ඒක ටීචගේ සොහොන පාමුලින් තිබ්බා. අදත් ගුරු දවසක්. ටීච එදා වගේ අහක බැලුවෙ නෑ. මගේ තෑග්ග ටීච හුඟක් ආදරෙන් අරගත්තා.

“මොකටද පුතේ තෑගි?”  එදා වගේ නෙමේ ටීච කිව්වෙ ඇත්තටමයි.

මං තාත්තා දිහා බැලුවා. තාත්තා හීනියට හිනාවුණා. මං පුංචි කාලෙ වගෙම අම්මට තුරුල් වුණා.

“අම්මා එදා මගෙ ඇඟේ ගෑවෙ තෙල් නෙමේ නේද? ඒ කඳුළු නේද?”

මලිඳු කාවින්ද කුමාරසිංහ

Leave A Reply

Your email address will not be published.

10 + fourteen =