අහක බලාගෙන කියන සාස්තර

කෙනකුට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද?

එළියට ඇවිත් බලන්න. ඇවිදලා බලන්න. නිකමට වගේ සාස්තරයක් අහන්න.

කිසිම දවසක සාස්තරයක් අහලා නැති කෙනෙකුට මේ කතාව නොතේරෙන්න පුළුවන්. ඒත් කාටවත් අහු නොවෙන කෙනෙකුව, ලේසියෙන් අහු වුණත් ලේසියෙන්ම අතෑරලා දාන  කෙනෙක් ගැනයි මේ කතාව.

දවසක් මම වැව රවුමෙ වැස්සකට කොටු වෙනවා. කුඩේ තිබුණට නුවර වැහිවල තද ඒකට ඔරොත්තු නොදෙන බව මම දන්නවා. ඉක්මනට පාර පැනලා කඩයක් යටට ගියා. ඔය වෙලාවෙ මං තෙමුණ වැස්සටම තෙමුණ ඇය මිනිස්සුන්ගෙන් ඒ වෙලාවෙ නම් සල්ලි ඉල්ලුවෙ සාස්තර කියන්න නෙමෙයි. ඊළඟ වැස්සට කලින් ගෙදර යන්න. හැබැයි මම දන්නවා මෙයා වෙනදත් මෙතැන සාස්තර කියන කෙනෙක් බව. ඒ වෙලාවෙ මට සල්ලි නොදෙන්න හිතුණ හේතුව මම අදටත් දන්නෙ නෑ. කොටින්ම මම ඇයට සල්ලි දුන්නෙ නැහැ. ඒ සිදුවීම වෙලා වසර හතරකට නැත්තම් පහකට පස්සෙ මට ඒ සිදුවීම ගැන මහා කලකිරීමක් ඇතිවෙන්න එක හේතුවක් කෙනෙක් නිර්මාණය කරනවා. මහා අකුණක් වදිනවා වගේ මට අතීතෙට දුවගෙන ගිහින් රුපියල් විස්සකින් මේ පවුකාර හැඟීමෙන් මිදෙන්න හිතෙනවා. එදා වැටුණ වැස්ස… ඒ මූණ මට මේ හේතුව නිසාම හිතේ හොල්මන් කරනවා..

මම ඇහුවා කෙනෙකුට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද කියලා… මං හිතන විදියට හබලක් නැතුව ඔරුවක අතරමං වෙන එකද, තමාගේ අනාගතේ අදුරු බව දැන දැන අනාගතේ කියන එක ද..?

මේ මගේ දෙවැනි කතාව. මේක මගේ කතාව නෙමෙයි. ඇගේ කතාව. රුපියල් විස්සක් නොදී මහා වැස්සෙ හිස් අතින්ම පිටවෙලා ගියපු එයා වගේ වෙන කෙනෙකුගෙ කතාව. අවුරුදු හතරකට පහකට පස්සෙ මට නැවත ඇයව මතක් කරපු ඇගේ කතාව. එයාල එක පවුලක. කතා තේමාව එකයි.

තමන් කොච්චරක් අන්ධයි ද කියලා බලන්න පුළුවන් හැමෝටම. දෘෂ්ටියෙන් නැතිනම් මනසින් මනසට නොපෙනන  හදවතට නොදැනෙන නොපෙනෙන ප්‍රස්තුත කොතෙක් නම් මේ මහ පොළොවෙහි තිබේද…? ඒවා ග්‍රහණය කර ගන්නට තරම්  පොදු සමාජ දෘෂ්ටියෙන් ඔබ්බට පැන කී දෙනෙක් එහි ඇති සියුම් තැන් ස්පර්ශ කරන්නේ ද? හුදෙක් ආදරයෙන්, කරුණාවෙන් එහා ඇති ලෝකයේ දුක්ඛිත දුක්බර ජීවිත ගෙවන කිසිදාක කිසිවෙක් කවියකට අදහස් නොකරන තැනක ඇයව සිටුවා ඇයගේ ජීවිතය මෙසේ විනිවිද සෙවීම සැබැවින්ම මෙසේ කියා හමාර කළ නොහැකි තරමින් සුන්දරය…

උඩ මළුවෙ පිරිත් හඬට වැඩ අරඹන නුවර අහස යට අත බලාගෙන සාස්තර කියන ඇයගේ කතාව.

පාන්දර උඩ මළුවේ
ඇහෙන කොට පිරිත් හඬ
මුදලාලිලා ඇහැරවනවා විඩාබර වුණු තේ කඩ
දොර දෙකේ දිග බස්වල
සුදු ඇඳන් පැමිණෙන නඩ
වතුසුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඬ අඬ
දෑතෙ රේකා පීරන පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන ජීවිතේ කුණාටු…

 

උඹ හිටියෙ හරියටම තුන්මං
හන්දියක් ළඟ හිටගෙන
මොන පාරෙ යනව ද හෝ දහය
විස්ස තිහ ගැන ගැන
අහක බලාගෙන වගේ දෙන
සියුමැලි අතක් අරගෙන
හොඳම දේවල් ටිකක් කීවා
නරක සේරම දැනගෙන…
දෑතෙ රේකා පීරන
පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන ජීවිතේ කුණාටු….

 

ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනාවෙන්නෙත් බලෙන්
විසඳන්න බැරි තැන් නැද්ද
කර්මය කර්ම පලෙන්
හුඟක් ඇස් නලළවල්වල උඔ කීව පොඩි මිලෙන්
පුදුමයක් නෑ බඹරු දන්නේ
රොන් ගන්න විතරයි මලෙන්
දෑතෙ රේකා පීරන පනාවකි ඇස් පිහාටු
අහාගතයම තෝරන ජීවිතේ කුණාටු

 

අපේ ජීවිත හැම තැනම පුරවන්න බැරි කුස්තුර
ඉනිවැටක් වත් නැතිව
වැටවල් කොහෙද ලීස්තර
උඹ රේකා ගනින අත්වල
ති‍යෙන අරුමෝසම් මෝස්තර
දුක හිතෙන කොට අහක බලපන්
කියපන් වැරැදි සාස්තර
මහා කුණාටුවක් මැද ජීවිතේ ඉරෙන රුවලක්
ඉසුරුමුණියෙත් ඉන්නවා
සාස්තර කියන යුවළක්…..
ගායනය – තරිදු දම්සර
පද රචනය- රුහුණුකෙත ධම්මදේව හාමුදුරුවෝ .
පද අතර කවි හොයන වෙලාවක හිත කළඹපු වචන මට හමුවෙනවා. ඒකෙ හිටියෙ එයා.
ඒ වචන ගොඩෙනුත් හිත නතර වුණ පේළිය මේක.
“දෑතෙ රේකා පීරන- පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන – ජීවිතේ ඇයි කුණාටු”

දාහක් ඇස්, අත්, මස්, කන් දිහා බලන් සාස්තරයක් කියන ඇය…  දාහක් දුක් හිතේ තියන් විස්සකට තිහකට ජීවිතේ කියන ඇය… මහා ආශාවල් කන්දක් තියන් බලා සැනසෙන ඇය… සියුමැලි අත්වල රේකා පීරා අනාගතේ යසායස කියන ඇය…. (වැස්සට තෙමි තෙමී විස්සක් ඉල්ලූ ඇය. එකම පවුලේ අය. )

මේකෙ තැනක ඉන්නවා සාස්තර කියන යුවළක් ඉසුරුමුණියෙ. අපි නොදන්න යුවළක්. හැමෝම දන්න යුවළ නොවන වෙනස්ම යුවළක්. උඩමළුව අසල ඉන්න ඇයගේ කුලකයේ යුවළක්.

දන්න තැන්වල නොදන්න අය. නොදන්න අයගේ නොදන්න කතා. ගොඩක් දේවල් දන්න ඇයගේ නොදන්න කතාව . වෙලාවක් හදාගෙන අහන්න

. හොයාගෙන අහන්න. අහා අහා විඳින්න… කාටත් නොපෙනුණු දැනුණු සමාජෙ හරිම පුංචි දේවල් කවදත් පෙනුණ රුහුණුකෙත හාමුදුරුවන්ට ඇස ගැටුණ සාස්තර කියන්නියයි ඇය. සත්සරින් මුසු කර මී විතක් බඳු හඬින්  ගීය ගයන තරි‍ඳු දම්සරයි ඔහු.  ඔහු කියූ ඇය ගැන ඔබ අහන්න.  දුටුවොත් අහන්න සාස්තර ඇයගෙන්. ඇය ගැන. ඉතින්  අමතක නොකර  හීනයක් ඈ අතේ තියන්න.

 

සජීවනී දසනායක

Leave A Reply

Your email address will not be published.

thirteen − 2 =