සර්ගේ ලිස්ට් එක

ඇඳිරි නීතිය දැම්මට ගේ ඇතුළටම වෙලා ඉන්න බැරි නිසා හිච්චි කොලුවා කැලෑ පාරෙන් පාර පැත්තට ගියා. එතුමා සර්ගෙ ගේ පිටිපස්සෙන් යන කොට එතුමා ගේ ඇතුළේ ඉන්නවා වගේ සද්දයක් ඇහුණා. හිච්චි කොලුවා හෙමීට හෙමීට ජනේලේ ළඟට ගිහින් එබිලා බැලුවා. එතුමා මොනව හරි ලියන්න ට්‍රයි කරනවා. ලියනවා.. කපනවා.. හිච්චි කොලුවට ඉන්නම බැරි තැන, බැනුම් ඇහුවත් කමක් නෑ.. කතා කළා…්‍

“එතුමා සර් ලොකු වැඩක්ද?”

“මම මේ ලිස්ට් එකක් හදනවා..”

“ඒ ලිස්ට් එකට මේ වගේ කාමරයක් නම්… නෑ… නෑ… මම කිව්වේ සර් මොනවට ලිස්ට් එකක් ද හදන්නේ…?”

“දැන් ඉතින් පත් වෙලා, අවුරුද්දක් නේ… කරපු වැඩ ලියන්න ගත්තා…”

“ඉතින් ඕක මහ වැඩක් ද සර්… සර් කොච්චර දේවල් කළා ද?”

“ඒකනේ… ?”

“මොනවද දැන් සර් ලිව්වේ…?”

“ඒක තමා….. මේ…. චන්දේ තිබ්බා… එතකොට….. කොරෝනා…… ”

“කොරෝනා ඉතින් පැරැද්දුව නේ..”

“ඒක තමා…… ඒත් දැන් ඉතින් ඒක කියන්නත් මොකක්ද වගේ…. කමක් නෑ.. මිනිස්සුන්ගේ වැරැද්ද නේ… උන් හන්ද නේ වු‍ණේ… මම දින්නා කියලා ලියමු…! කොරෝනා දින්නා… පරිප්පු අඩු කළා…… ඒත් බෑ නේ…”

“අවුලක් නෑ සර්… පරිප්පු, සැමන් අඩුවට අරන් දැන් මිනිස්සු ඉතුරු සල්ලිවලින් තෙල් ගහන් යනවා…”

“ආ.. ඒකනේ… සැමන් පරිප්පු අඩු කළා…. පන්දාහ දුන්නා….. හ්ම්… විස්ස සම්මත කළා….. එතකොට විස්ස සම්මත කළා…. විස්ස සම්මත කළා ….. විස්ස….. වෙන මඟුලක් වත් එන්නේ නෑනේ අප්පා… ”

“ඇයි සර්, තාප්පවල චිත්‍ර ඇඳපුවා, අර නව නිපැයුම් …. ”

“ආ.. ඒවා…. තාප්පවල චිත්‍ර ඇන්දා….. ඔය ඉතින්…. එන්නෙම නෑ…”

“ඇයි සර් හාල් මිල අඩු කරපුවා.. ඒකාධිකාරෙ බින්දේ… පාස්කු ප්‍රහාරෙට දඬුවම් දුන්නෙ… මහ බැංකු හොරු හිරේ දැම්මේ… ”

“ආ.. ඔව් නේ …. … ඈ… කවුද ඔය කතා කරන්නේ… ආ…?”

ඒ කියන්නෙ එතුමා දන්නෙ නෑ මම මෙතැන කියලා… හිච්චි කොලුවා එහෙන්ම පහත් වුණා…

“මම… මම මේ… සර් ගේ හිත…. ”

“ආ.. ඒක මිසක්… මේ රෙද්ද කොච්චර ලිව්වත් හරියට ලියැවෙන්නේ නෑනේ අප්පා…. අර සින්දුව ලියපු එකාටවත් දෙනවා ලියලා දෙන්න කියලා…”

“සර් මේ… කිරිබත් දන්සැලක් අපි ලෑස්ති කරනවා එදාට… සර් ඇඳිරි නීතිය අයින් කරලා දෙනවා නේද…?”
“කවුද ඔය කතා කරන්නෙ.. කවුද ඔය…?”

“හිත හිත…. ”

“ඊ… ඊ….. ඊ……. හාමිනේ අර හන්දියෙන් චයිනීස් රෝල් එකක් අරන් එන්න … බඩගිනියි… ”

හිච්චි කොලුවා හෙමීට එන්න හදන කොටම “දඩහ්” ජනේලේ ඔළුව වැදුණා.. ඇහැ ඇරලා බලන කොට තමා දැක්කෙ හිච්චි කොලුවා හිටියේ ඇඳ යට… එතකොට ඒක හීනයක් ද? ඒක මිසක්..

Leave A Reply

Your email address will not be published.

eighteen + 9 =