දොස්තර සාෆිගේ ඝාතකයෝ

අධිකරණ තීන්දු අදාළ නැත. දොස්තර සාෆි වරදකරුවකු කර හමාරය. දිවයින පුවත්පත එහි ආරම්භය ගත්තේය. ලංකාදීප පුවත්පත වක්‍ර සහායක් දුන්නේය. අනෙකුත් මාධ්‍ය මේ කේජු කෑල්ල හොඳට තලූ මැරුවේය. තවමත් එහි වෙනසක් නැත.
මේ නීති විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වන්නන්ට, එහි ඇත්ත කතාව ලියන්නන්ට ගැහුවේ පරණ පුරුදු එන්ජීඕ ලේබල් එකය. දේශද්‍රෝහී ලේබල් එකය. ප්‍රජාවකට කඩේ යන බවත්, තමන්ගේ ප්‍රජාව අමතකකර ඇති බවත් ඔවුහු කීහ. එහෙත් ඔවුන්ට අමතක වී ඇත්තේ ජාතිවාදය සහ ආගම්වාදය යනු දේශපාලනඥයන් බලය ලබාගැනීම සහ පවත්වාගැනීම වෙනුවෙන් රසට හපන චුවින්ගමයක් බවයි.
දොස්තර සාෆි නිවැරදිකරුවකු බව අප කියන්නේ නැත. එය විමර්ශන අංශ තහවුරු කරගෙන, අධිකරණය හරහා සිදු විය යුත්තකි. එහෙත් අප අනාවරණය කරගත් කරුණු ඔබ දැනගත යුතුය. අවසාන විනිශ්චය ඔබ සතුය.
2015 අවසානයේ හෝ 2016 මුල් කාලයේ හෝ කුරුණෑගල නගරයේ රියෝ බාර් නමින් හැඳින්වූ ඉඩම විකිŒමට සූදානම් වේ. එය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ ඥාතියකුට අයත් එකකි. වටිනාකම ලෙස දක්වන්නේ රුපියල් මිලියන 130 කි. එනම් කෝටි 13 කි.
දොස්තර සාෆි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ තවත් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මේ ගනුදෙනුවට හවුල් වෙති. එනම් මෙය හවුල් ගනුදෙනුවකි. ඔවුන් ඉඩමේ හිමිකරුට රුපියල් කෝටි හයක් අත්තිකාරම් ලෙස ලබා දී තිබේ. ඉතිරි මුදල කල්බදු ක්‍රමයට ලබාදීමට ගිවිසුම් අත්සන්කර ඇත.
ගැටලූව ආරම්භවන්නේ එතැනින්ය. කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමයටද මේ ඉඩම මිලදී ගැනීමට අවශ්‍ය වේ. එය වාණිජ වටිනාකම අධික ස්ථානයක පිහිටීම ඊට හේතුවයි. එහෙත් ගිවිසුම අත්සන් කොට අවසන් නිසා ඔවුන්ට අවස්ථාවක් ලැඛෙන්නේ නැත. ඉඩමේ හිමිකරු මෙහිදී දොස්තර සාෆිගේ කණ්ඩායමට පවසන්නේ අත්තිකාරම් මුදල සමග තවත් අමතර රුපියල් ලක්ෂ ගණනක මුදලක් ආපසු දිය හැකි බවයි. ඒ ගිවිසුම අවලංගු කිරීමට ය. එහෙත් ඔවුන් ඊට අකමැති වේ.
මෙය දොස්තර සාෆි තනියෙන් ගත් බවක් පැවසුණද, ඊට ඔහුගේ කොටස වී ඇත්තේ රුපියල් මිලියන 15 කි. එනම් කෝටි එක හමාරකි.

පළමු කතාවට එතැනින් විරාමයක් තැබිය යුතුය.

2017 වසරේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් ප්‍රචාරයක් යවා ඇත. ඒ දොස්තර සාෆි කාන්තාවන් වඳ භාවයට පත්කරනවා යනුවෙනි. මෙය දැනගත් වහාම දොස්තර සාෆි එවකට කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍යවරයාට ලිපියක් භාර දී තිබේ. ඒ තමන්ට එරෙහි මේ අපහාසවලට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමිනි. ඊට අදාළ යම් පරීක්ෂණයක් සිදු කෙරෙන අතර, පෙර කී වෛද්‍යවරියට රෝහලෙන් මාරු වී යෑමට සිදු වේ.

ඒ කතාවටත් එතැනින් විරාමයක් තැබිය යුතුය.

දොස්තර සාෆිගේ බිරිඳ ද වෛද්‍යවරියකි. ඇය සේවය කර ඇත්තේද මේ කුරුණෑගල ශික්ෂණ රෝහලේමය. 2016 වසරේදී ඇයගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ගැටලූවක් ඇති වී තිබේ. ඇයට වඩා වැඩි කාලයක් ඒ මොහොත වන විට රෝහලේ සේවය කළ වෙනත් වෛද්‍යවරුන් සිටින නිසා ඇයව මාරු කිරීම අසාධාරණ බව දොස්තර සාෆි මෙන්ම ඔහුගේ බිරිඳ ද එවකට සිටි වැඩ බලන අධ්‍යක්ෂවරයාට අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යක්ෂවරයා සහ දොස්තර සාෆි අතර ආරවුලක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් ඉන්පසු අධ්‍යක්ෂවරයා ද වෙනත් රෝහලකට මාරු වේ.
පෙර අවස්ථාවේදී කාන්තාවන් වඳකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස දොස්තර සාෆි ලිපියක් භාර දී ඇත්තේ ද මේ අධ්‍යක්ෂවරයාටමය.

තවත් විරාමයකි.

දොස්තර සාෆිගේ නිවස අසලම ඔවුන්ට අයත් තවත් නිවසක් ඇත. එය කුලී පදනම මත කුරුණෑගල නගරයේ වෙළෙඳසැලක සේවය කරන පිරිසකට ලබා දී තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කුරුණෑගල පොලිසියෙන් පැමිණ මේ ස්ථානය පරීක්ෂාකර ඇත. එහෙත් සැක කටයුතු කිසිවක් හමු වී නැත.

එයත් දැනට විරාමයක් තැබිය යුතු කතාවකි.

කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි තට්ටු හයක ගොඩනැගිල්ලක තට්ටු දෙකක් දොස්තර සාෆිගේ ව්‍යාපාරයක් සඳහා කුලියට ලබාගෙන ඇත. විදෙස්ගත වන පුද්ගලයන්ට අවශ්‍ය වෛද්‍ය වාර්තා සැකසීමේ ව්‍යාපාරයකි, ඒ. එම ව්‍යාපාරය ලියාපදිංචි කර ඇත්තේ දොස්තර සාෆිගේ පියාගේ නමට ය. පසුගිය මැයි 03 සහ 04 දින දෙකෙන් එකකදී කුරුණෑගල පොලිසියෙන් පැමිණ මේ ආයතනයේ හිමිකාරීත්වය පිළිබඳව එහි කළමනාකරුගෙන් දීර්ඝ වශයෙන් විමසා ඇත. දොස්තර සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවත්, එම නිසා විමර්ශනයක් පැවැත්වීමට සිදු ව ඇති බවත් ඔවුන් පවසා තිබේ.

නැවතත් විරාමයකි.

දොස්තර සාෆි සමග ආරවුලක් ඇති කර ගත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා යළිත් කුරුණෑගල රෝහලට පැමිණ ඇති අතර, දොස්තර සාෆි විසින් දරුවකු මාරු කිරීමට අදාළව ව්‍යාජ ලිපි ලේඛන සකස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ මැයි මාසයේ මුල ය. ඔහුගේ වත්කම් ගැන අදාළ ව්‍යාපාරික ස්ථානයට පොලිසියෙන් පැමිණ ප්‍රශ්න අසා ඇත්තේද මේ දිනවලමය. දරුවා මාරු කිරීමට අදාළ චෝදනාව සම්බන්ධයෙන් දොස්තර සාෆිගේ පාර්ශ්වයෙන් විධිමත් පිළිතුරු ලබාගැනීමකින් තොරව අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඊට අදාළ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට යවා තිබේ.
සිදුවීම් ජාලයකි. සියල්ල එකින් එකට සම්බන්ධය. එම නිසා සුදුසු පරිදි විරාම ලක්ෂණ තැබිය යුතුය.
මේ සිදුවීම් අතරතුර රෝහලේම සේවය කරන හෙදියක විසින් දොස්තර සාෆිට එරෙහිව පැමිණිල්ලක් කර ඇත. ඒ ඔහු විසින් කරන ලද සැත්කමකින් පසු අසාත්මිකතා රැසක් මතු වූ බව පවසමිනි. එයත් සිදු වී ඇත්තේ මේ මැයි මාසයේ මුල ය. අදාළ සැත්කමින් මාස ගණනකට පසුව ය. එහෙත් එම සැත්කම සිදු කර ඇත්තේ දොස්තර සාෆිට ඉහළින් සිටින විශේෂඥ වෛද්‍යවරයා විසිනි. මේ සියලූ කතා සමගින්ය, මැයි 23 දින දිවයින පුවත්පතේ දොස්තර සාෆි විසින් වඳ සැත්කම් සිදුකළ බවට පැවසෙන පුවත පළවන්නේ. එහි සඳහන්වන්නේ පොලිසිය විමර්ශනයක් පවත්වන බවයි. එහෙත් මේ වන විට තහවුරු වී ඇත්තේ ඒ වන විට පොලිසියට හෝ රෝහලට මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවයි.
පුවත්පතේ ප්‍රවෘත්තියත් සමග කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබේ. එහිදී ඔහු පවසන්නේ වඳ සැත්කම් ගැන පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි. අදාළ අධ්‍යක්ෂවරයා මෙසේ පවසන්නේ පුවත්පත් වාර්තාව පදනම් කරගෙනය. මීට පෙර වඳ සැත්කම් ගැන කිසිවක් තමන් නොදන්නා බවද ඔහු කියයි. පුවත්පත් වාර්තාවේ කිසිදු ප්‍රදේශයක් ගැන සඳහන් නොවේ. වෛද්‍යවරයකුගේ නමක්ද සඳහන් නොවේ. එවැනි තත්ත්වයක් යටතේය, එක්වරම අධ්‍යක්ෂවරයා මාධ්‍ය හමුවක් කැඳවන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසන්නේ වඳ සැත්කම් සම්බන්ධයෙන් කිසිදු පොලිසියකින් විමර්ශනයක් සිදු නොකරන බවයි. ඒ මැයි 24 දාය.
කෙසේ වෙතත් එදිනම රාත්‍රියේ දොස්තර සාෆි අත්අඩංගුවට ගැනි‚. නිවස පරීක්ෂා කිරීමෙන් පසු බැංකු ගිණුම්වලට අදාළ සියලූ ලිපි ලේඛන පොලිසියට රැගෙන ගොස් තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් චෝදනාවක් ඇතැයි කියමින්ය. එහෙත් ඒ වන විටත් අයථා වත්කම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැත.
ඉන්පසු දොස්තර සාෆි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කිරීම සඳහා කුරුණෑගල රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලේ සේවය කරන අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් දෙදෙනාට ඉදිරිපත් නොකර, ඔහුව ඉදිරිපත් කරන්නේ අදාළ අධ්‍යක්ෂවරයා විසින් පිටින් ගෙන්වන ලද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකුටයි.
මැයි 25 දින උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ දොස්තර සාෆි අත්අඩංගුවට ගත්තේ අයථා වත්කම් ගැන තොරතුරකට බවයි. එනම් පැමි‚ල්ලකට නොවේ. මේ තොරතුර සත්‍යද, නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අත්අඩංගුවට ගත් බවත්, ඔහුට එරෙහිව වඳ සැත්කම් පැමි‚ල්ලක් නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එදිනද පවසා ඇත.
එදින, එනම් මැයි 25 පස්වරු දෙකට ආසන්න වෙලාවකදී කුරුණෑගල පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් මූලස්ථානයට වාර්තාවක් යවමින් දැනුම් දී ඇත්තේ වඳ සැත්කම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නැති බවයි. එදින රාත්‍රියේ දොස්තර සාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
දිවයින පුවත්පතේ නම්, ගම් නොමැතිව අදාළ ප්‍රවෘත්තිය පළවීමෙන් පසු දින චන්න ජයසුමන නමැත්තෙක් ෆේස්බුක් සමාජජාලයේ දොස්තර සාෆිගේ ඡායාරූප පළකරයි. ඒ අදාළ වඳ සැත්කම්කළ වෛද්‍යවරයා මොහු බව පවසමිනි. ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ පාර්ශ්වයෙන් පොලිසියට දැනුම් දී ඇත.
මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වයි. විමර්ශන අංශ දොස්තර සාෆිගේ බැංකු ගිණුම් පරීක්ෂාකර ඇත. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ බැංකු ගිණුම් තුනක ඇති තැන්පතු වටිනාකම රුපියල් ලක්ෂ හතකි. සියලූ වත්කම් වටිනාකම රුපියල් මිලියන 90 ක් පමණ වේ. ඔහු පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානය ඇත්තේ ද ඔහුගේ තාත්තාගේ නමටය.

මේ කතාවෙන් පසු ඔබට මෙවැනි ගැටලූ මතු විය යුතුය.

කතාව මෙයාකාරය. ඉඩමක්, රටක් ඇවිළවූයේ මෙසේය. දොස්තර සාෆි වැරදි ද, නිවැරදි ද යන්න අපට කිව නොහැකිය. එය විමර්ශන අංශ මගින් වාර්තා කරන කරුණු මත අධිකරණය මගින් ගත යුතු තීරණයකි. එහෙත් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකිද? ඒ පිළිබඳ අසත්‍ය යැයි දැනට පෙනෙන තොරතුරු මාධ්‍ය වෙත මුදා හරින්නට නියෝජ්‍ය පොලිස්පතිවරයකුට බලයක් ලැබුණේ කෙසේද? එය බලය අවභාවිතකිරීමක් මෙන්ම අපරාධයකි.
අවසාන වශයෙන්ද කිව යුත්තේ දොස්තර සාෆි වැරදි නම් ඔහුට දඬුවම් දිය යුතුය. එහෙත් මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය එහෙම පිටින්ම නීතිවිරෝධීය.

හෙට ඔබටත් මෙය සිදු විය හැකිය.

අසංක කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

two + fourteen =