ජලවිදුලි බලාගාරයට එරෙහි වූ වරදට ප්‍රතිවාදියාගේ පුතා අයි.එස්. ත්‍රස්තයෙකු කළ හැටි

රත්නපුරයේ සිංහල තරුණයකු මිතුරු මුස්ලිම් තරුණයන් දෙදෙනකු සමග මැයි මස 19 වැනිදා සවස රත්නපුර අංගම්මන කන්දට නගිනුයේ වෙසක් සිරියෙන් බබලන රත්නපුර නගරයේ ඡායාරූප ගැනීමටය.

මේ ගැන ආරංචිය ලද ගම්වැසියෝ තරුණයන් තිදෙනා වටකරගෙන පිටත යා නොදී රැකවල් ලා පොලිසියට දැනුම් දෙන්නේ ඔවුන් මහා බරපතළ වරදක් කළවුන් ලෙසිනි. අනතුරුව මේ තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය රට පුරා ප්‍රචාරය වූයේ ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන මෙම ඡායාරූප ලබාගත් බවටය. සැබැවින්ම ඒ අවස්ථාව වනවිට ඔවුන් සතුව ඩ්‍රෝන කැමරාවක් තිබී නැත. ඉන්පසුව ප්‍රචාරය වූයේ ඔවුන් සිංහල තරුණයා සතුව අධිතාක්ෂණික කැමරාවක් තිබුණු බවය. එහෙත් තරුණයා භාවිත කරන කැමරාව රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා එකක් බව ඔහුගේ පියා වන රත්නපුර නගරයේ ජීවත්වන ප්‍රසිද්ධ මිනින්දෝරුවෙකු වන කළු කළුපහන මහතා කියයි.

අප්‍රේල් 21දා සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගේ නිවෙස් පරීක්ෂා කිරීමට පොලිසිය පැමිණෙද්දී අත්අඩංගුවට ගත් එක් තරුණයකුගේ නිවසේ තිබූ ඩ්‍රෝන කැමරාවක් පොලිසියට භාරදී ඇත. එය පොලිසිය විසින් කළ සොයා ගැනීමක් නොවන අතර ස්වේච්ඡාවෙන් භාර දුන්නක් ලෙස සැලකිය යුතුය. මෙම සිද්ධියේදී තවත් පුදුමාකාර සිද්ධියක්ද සිදුව ඇත.

ඒ සිංහල තරුණයාගේ නිවසේ තිබී සිංහල බසට පරිවර්තනය කළ කුරාන් ග්‍රන්ථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමය. ඉස්ලාම් ආගමික ග්‍රන්ථයක් සන්තකයේ තබා ගැනීම ත්‍රස්තවාදී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් වන්නේද යන සැකය මෙහිදී පැන නගී. ඒ අතරේ අපට 1971 කැරැල්ල සහ 1988, 89 සිහිපත් වේ. නවසිය හැත්තෑ එකේදී ගම්පෙරළිය නවකතා පොත සන්තකයේ තබා ගත්තෝද පොලිස් අත්අඩංගුවට පත්වූහ. 88, 89දී රාවය සහ යුක්තිය පුවත්පත් ළඟ තබා ගැනීම අත්අඩංගුවට පත්වීමට තරම් භයානක හේතුවක් බව සමාජයේ ප්‍රචාරයක් විය.

මෙම සිද්ධියේදී තරුණයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අවශ්‍ය වී ඇත්තේ ප්‍රදේශයේ පොහොට්ටුවේ දේශපාලන අනුගාමිකයන්ට බව මේ වන විට හෙළි වී ඇත. මෙහිදී හංගමුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම පෙරමුණ ගෙන තිබේ. මෙම චීවරධාරියා මෙම සිදුවීම පිළිබඳව කිසිවක් නොදැන සිටි අතර, ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන නාලක තියඹරාවත්ත නම් පුද්ගලයෙකු ගේ උවමනාවක් ඉටු කර ඇත. අත්අඩංගුවට පත් වූ තරුණයින් තිදෙනාගෙන් සිංහල තරුණයා වූ අනුෂ්ක දිල්හාර කළුපහන ගේ පියා හා නාලක තියඹරාවත්ත අතර පෞද්ගලික ආරවුලක් හටගෙන ඇත්තේ ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමේදී ඇති වූ මත ගැටුමක් සම්බන්ධවය. අත්අඩංගුවට පත්ව ඇති දිල්හාර කළුපහන ගේ පියා වන ප්‍රදේශයේ ප්‍රසිද්ධ මිනිදොරුවෙකු වූ කළුපහන මහතා එකී ජල විදුලි බලාගාරයට එරෙහි වී ඇත්තේ පාරසරික විනාශයක් සිදුවන බවට ඔප්පු කිරීමත් සමගය.ඉන් උරණ වූ ප්‍රදේශයේ දේශපාලන ඇම්බැට්ටයෙකු වූ නාලක තියඹරාවත්ත, කළුපහන මහතාගෙන් පලි ගැනීමට අවස්තාවක් එළෙඹෙන තෙක් බලා සිටියේය. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් තියඹරාවත්ත තම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වන හංගමුව විහාරාධිපති ප්‍රදේශයේ පොහොට්ටු ආධාරකරුවන් සමග රත්නපුර පොලිසිය වටලා සිංහල තරුණයා පමණක් පිටතට ලබාදෙන ලෙස පොලිසියට තර්ජනය කළේය. ඒ අන් කවරකටවත් නොව සිජහල තරුණයා පහරදී මරා දැමීමට බව පියා පවසයි.

අංගම්මන කන්දේ සිට රත්නපුර නගරයේ ඡායාරූප ගැනීමට ගිය තිදෙනා වන්නේ අනුෂ්ක දිල්හාර කළුපහන, එම්.එෆ්.එම්. පවුලාන්, එම්.එන්.එම්. නහ්රාන් යන තරුණයන් තිදෙනාය. ඔවුන් තිදෙනාම රත්නපුර ගොඩිගමුවේ පදිංචි අය සේ ම අසල්වැසි මිතුරෝ වෙති.මෙම තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම සඳහා දැඩි උනන්දුවක් වුවමනාවක් තිබී ඇත්තේ වෙනත් ප්‍රදේශවල ජනතාවටය.ඇත්ත වශයෙන්ම නාලක තියඹරාවත්ත ගේ මෙහෙයවීමෙන් පැමිණි පොහොට්ටුවේ ආධාරකරුවන්ටය. ගමෙහි අසල්වැසි සිංහල ජනතාවට මේ පිළිබඳව කිසිදු වුවමනාවක් තිබී නැත.පොලිසිය ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමට ගිය විට මෙම පිරිසද පොලිස් අණ නොතකා නිවෙස් පරිෂා කිරීමට පවා උත්සහ ගෙන ඇත. තමන්ට කිසිසේත් අයිති නැති කාර්යයක් කරන්නට තරම් මේ අය පෙරමුණ ගත්තේ ඇයි? එය සැබැවින්ම ඔවුන්ගේ වුවමනාවක්ද නැතිනම් වෙනත් බාහිර පුද්ගලයන්ගේ වුවමනාව මත සිදුවූවක්ද? අනුෂ්ක දිල්හාර කළුපහන සතුව කුරාණයක් තිබුණේ ඔහු මුස්ලිම් තරුණියක විවාහ කරගැනීමට සිටින බැවින්ය යන කතාබහක්ද ඔවුනට එරෙහිව සිටින පිරිස අතර මතයක් පවතී. එය එසේ නම් හර්ෂණ කළුපහනට මුස්ලිම් තරුණියක සමග ඇත්තටම විවාහ විය නොහැකිද? එය වූ පමණින් ඔහු ත්‍රස්තවාදියකු ලෙස ලේබල් ගැසිය යුතුද?

අවසානයේ මෙම අසාධාරණ චෝදනාව එල්ලකළ හන්ගමුවේ විහාරාධිපති හිමි නම අත්අඩංගුවට පත් වූ දිල්හාර ගේ පියාගෙන් මේ එන විට සිදු කල වරදට සමාව ඇයද ඇත.එහෙත් ලංකාවේ පවතින හදිසි නීති රෙගුලාසි වලට අනුව අත්අඩංගුවට පත් වූ අයෙකු නිදහස් කර ගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. මේතාක් මේ තරුණයින් තිදෙනාට ඇප ලැබී නැත. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන දිල්හාරගේ අනාගතය පිළිබඳව නාලක තියඹරාවත්ත හෝ චීවරධාරියා වගකියනු ඇතිද ? මෙවැනි අභූත චෝදනා එල්ල කරමින් තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බව හෙළි වී ඇත. මීට පෙර මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ගේ හඬ පටියකින් හෙළි වුයේද පල්ලි අසල ආයුධ සඟවා පොලිසියට දැනුම් දෙන ලෙසයි.මෙවැනි භීම සමයක පෞද්ගලික පලි ගැනීම් වලට වටිනා තරුණ ජීවිත බිලි ගැනීම් ශිෂ්ඨ සමාජයක් ලෙස කෙසේ අනුමත කරමුද ?

රසල් බණ්ඩාරවත්ත

Leave A Reply

Your email address will not be published.

2 × three =