භික්ෂු දේශපාලනයේ නව ප්‍රවණතා

අතුරලියේ රතන හිමියන් දළදා මාලිගාව අසල පැවැත්වූ උපවාසය ගලගොඩ අත්තේ ඥානසාර හිමි දැඩි ලෙස විවේචනය කළේය. එසේ විවේචනය කිරීමට දින දෙකකට පමණ පෙර එහිමි අතුරලියේ රතන හිමියන් උපවාස කරන ස්ථානය වෙත ගොස් පසු දින දවල් 12 වන විට ඉල්ලීම් ලබා නොදුනහොත් රට ගිනි තබන බව වෙනත් වචනවලින් කීවේය.
පසුදින පුවත්පත් සාකච්ඡාවක දී ඔහු පැවසුවේ සපුරා වෙනස් කතාවකි. එම කතාව සිංහල ජාතිකවාදී ‘දිවයින’ පුවත්පත වාර්තා කළේ මෙසේය: ”අද අරමුණක් නැතිව සිටි සිංහලයා අවදි වෙලා. මුස්ලිම් අන්තවාදයට එරෙහි සටනේ මූලිකත්වය මහා සංඝරත්නය අරගෙන තිඛෙනවා. එහෙත් මේ සටන බංකොලොත් දේශපාලනඥයන්ගේ අතට ගැනීමට ඉඩ දිය යුතු නැහැ. දේශපාලකයන්ට තමයි දැන් ගැටුමක් අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් අපි කටයුතු කළ යුත්තේ, මේ මොහොතේ මූලිකත්වය දිය යුත්තේ වහාබ් අන්තවාදය පරාජය කිරීමටයි. රතන හිමියන්ගේ උපවාසයෙන් ඇත්ත ප්‍රශ්නය යට ගියා. අපි එතැනට ගියා තමයි. එතැනට නොගියා නම් සියලූම දෙනා අපිට මඩ ගහයි කොන්ත්‍රාත්කාරයෝ කියලා. ජාතිය නිර්වින්දනය වෙලා හිටියේ. අද අවදිවෙලා”
මෙම විවේචනය පසුපස තිඛෙන දේශපාලනය කුමක් ද? රතන හිමි පසුගිය වකවානුවේ සිටියේ දැඩි ලෙස හුදකලාවය. ඔහු සමග දිගු කලක් එකට දේශපාලනය කළ ජාතික හෙළ උරුමයේ පැරැණි සාමාජිකයකු වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා රතන හිමිගේ දේශපාලනය පිළිබඳ ෆේස්බුක්හි සටහන් කළේ මෙසේය: ”zසංවිධාන විනයකින් තොරව හදිසි ආවේගයන් මත කටයුතු කිරීම, ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරව ප්‍රතිපත්ති සහ සටන් පාඨ වැළඳ ගැනීම හා එබඳුම වේගයකින් ඒවා සමහර විට අත්හැරීම, තම සමීපතමයන් සහ සගයන් පිළිබඳව ප්‍රමාණවත් සංවේදීභාවයකින් කටයුතු නොකිරීම ආදී බොහෝ විවේචන උන්වහන්සේ සම්බන්ධයෙන් මට තිබේ. ඒ එකක්වත් මේ මොහොතේ දීවත් වෙනස් වී නැත. ඇත්ත වශයෙන්ම පසුගිය කාලය වන විට උන්වහන්සේ ළඟ සිටි සියලූම දෙනා පාහේ උන්වහන්සේගෙන් ඈත් වී යන්නටත්, එසේම උන්වහන්සේ තනි වී හුදකලා වෙන්නටත් බලපෑවේ මේ හේතූන්මය. ඇත්තටම උන්වහන්සේ ළඟ දැන් ඉතිරි වී ඇත්තේ, ඉර පෙන්වා හඳ කිවහොත් එයත් පිළිගන්නා දුර්වල ගෝලයන් කිහිප දෙනකු පමණකි”
ඒ සමගම ඔහු රතන හිමිගේ හැකියාවන් පිළිබඳව මෙසේ ද සඳහන් කළේය. ”රතන හිමියන්ට තරම් කෙටිකාලීන දේශපාලන මොහොත තේරුම් ගැනීමට පුළුවන් සහ ඒ උදෙසා ප්‍රතිචාර දක්වන්නට පුළුවන් කෙනකු අද වෙන තුරු මට හමු වී නැත. උන්වහන්සේ හදිසියේ තීරණය කොට මැදිහත් වූ සමහර අවස්ථාවන් විශාල දේශපාලන කම්පනයන් ඇති කොට තිබේ. උන්වහන්සේගේ වැඩ, බොහෝ විට දීර්ඝකාලීන දේශපාලන සැලසුමක පියවරයන් නොව හිටිහැටියේ කරන වැඩය. බොහෝ වැඩවලින් බොහෝ විට යම් සංවිධානයක් විසින් දීර්ඝකාලීන ඉලක්කයක් ඇතිව ප්‍රවේශමෙන් කරගෙන යන කටයුතු සම්පූර්ණයෙන්ම අවුල් වේ. එහෙත්, තවත් සමහර විට ඒවා නොසිතූ ලෙස ‘පත්තු’ වේ. කොටින්ම ඒ සමහර ඒවායින් මේ රටේ ඉතිහාසයත් වෙනස් වී තිබේ. නොසිතූ මොහොතවල්වල ‘තරග දිනවීමේ’ එබඳු අපූරු හැකියාවක් උන්වහන්සේට තිබේ. තවමත් රතන හිමියන් දේශපාලනයෙහි පවතින්නේ මේ ගුණයත්, එසේම උපතින්ම රැගෙන ආ යම් දුර්ලභ වාසනා ගුණයකුත් නිසා යැයි සිතමි.”
රතන හිමියන්ගේ ක්‍රියාකලාපය නිසා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ යම් වැඩපිළිවෙළක් අවුල්ව ගොස් ඇති බව ඥානසාර හිමි කරන විවේචනයෙන් පෙනේ. උපවාසයට යන විට සුළු අනුගාමිකයන් පිරිසක් සමග සූදානමකින් තොරව ගොස් දළදා මාළිගාව ඉදිරියේ බිම වාඩි වූ රතන හිමි එතැනින් නැගිට්ටේ ඥානසාර හිමි පසුපස යමින් සිටි භික්ෂු බලවේගය ඔහු වෙත ආකර්ෂණය කර ගනිමින් බව පෙනේ. විශේෂයෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැවැත්වුණ රතන හිමිට සහයෝගී උද්ඝෝෂණ මෙහෙයැවූයේ බොදු බල සේනාව සමග සම්බන්ධව සිටි භික්ෂුන්ය. මතුගම ප්‍රදේශයේ පැවැති මෙවැනි උද්ඝෝෂණයකින් පසු එකී උද්ඝෝෂණයට සම්බන්ධ වූ භික්ෂූන් හා ගිහියන් සම්බන්ධයෙන් සමාජ මතය කෙබඳු එකක් වී ද යත්, මෙම ලිපිය ලියන මොහොත වන විටත් බෝතල්, කෑන් වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීමේ තහනමක් පොලිසිය විසින් ඉන්ධන හල්වලට පනවා තිබේ. ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවනු ඇති ය යන සැකය එයට හේතුවයි.
කෙසේ වෙතත්, මෙම උපවාසය සමග වැදගත් බලමුළුගැන්වීමක් සිදු විය. භික්ෂුන්ගේ නායකත්වයෙන් යුත් ජාතිවාදී දේශපාලන පෙරමුණක් ප්‍රචණ්ඩ ස්වරූපයෙන් රටේ ඇතැම් ප්‍රදේශවල නැඟී සිටියේය. ඔවුන් විසින් ඇතැම් නගරවල කඩ සාප්පු වසා, බස් ධාවනය නවතා හර්තාලයක් ද කරන ලදී. මෙම භික්ෂු බලවේගය සමීපව නිරීක්ෂණය කරන විට දැකිය හැක්කේ දේශපාලන බලය වෙනුවෙන් වූ 2004 මහ මැතිවරණයේ දී ජාතික හෙළ උරුමයේ උපායමාර්ගය වැනි බල ව්‍යාපෘතියක් ඒ පසුපස තිබිය හැකි බවයි.
ජාතික හෙළ උරුමයේ පූර්ව පක්ෂය වූ සිහල උරුමයට 2001 මහ මැතිවරණයේ දී මුළු දිවයිනෙන්ම ලබා ගත හැකි වූයේ ඡන්ද 50,000කට මඳක් වැඩි ගණනකි. ජාතික ලැයිස්තුවෙන්වත් ආසනයක් දිනා ගත නොහැකි විය. මෙම ලේඛකයා අනුරාධපුර කඩ පනහේ පැවැති සිහල උරුමයේ රැස්වීමක් රජරට සේවයේ සිට මඳ වේලාවක් නැරඹීය. එම රැස්වීම විවෘතව නැරඹුවේ එකම එක ප්‍රේක්ෂකයකු පමණි.
එසේ තිබුණු සිහල උරුමය 2004 මහ මැතිවරණයේ දී සිය පක්ෂය සංඝයාට පූජා කරන බව පවසමින්, භික්ෂූන් අපේක්ෂකත්වයට යොමු කරමින් තරග කර, ඉතා කෙටි කලක දී ඡන්ද 5,50,000කට වඩා ලබා ගනිමින් ආසන නවයක් දිනාගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, මෙම බලවේගය ද පදනම් වන්නේ පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපි්‍රයත්වයේ පදනම වූ ජාතිවාදී බලවේගය මතම බව පෙනේ. ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්ව පදනමෙහි ඛෙදීමක් ද දක්නට ලැබේ. මෙම බලවේගයේ නායකයන් දෙපොළක් වන ගලගොඩ අත්තේ ඥානසාර හිමි හා අතුරලියේ රතන හිමි යන දෙපළම මේ මොහොත වන විට යම් සමීප සම්බන්ධයක් තිඛෙන්නේ රාජපක්ෂ බලවේගය සමග නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වීම ද සුවිශේෂ තත්ත්වයකි.
මෙම භික්ෂුන් දෙනම අතර නායකත්වය සම්බන්ධයෙන් බලාපොරොත්තු රහිත ගැටුමක් පැනනැඟී ඇතත්, මෙම භික්ෂු දේශපාලනය බලවත් ලෙස කරළියට එන්නට උත්සාහ කරනු ඇත. ඔවුන්ට දැනටත් සුවිසල් කේවල් කිරීමේ හැකියාවක් තිබේ. සිවුරේ බලයට ආවරණය වෙමින් දැඩි සටන්කාමී ජවයකින් කඩාවැදීමට ඔවුන් සූදානම් බව පෙන්නුම් කර තිබේ. දැනට ඔවුන් වටා සිටින්නේ සුළු පිරිසක් වුව ද, එය වේගයෙන් වර්ධනය විය හැකි බලවේගයකි. අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද්, නාමල් කුමාර වැන්නන් විසින් සංකේතවත් කරනු ලබන ලූම්පන් කොටස් දැනටමත් මේ වටා ඒකරාශී වී සිටිති. භික්ෂු නායකත්වයක් සහිත මෙම බලවේගය ඉදිරි මැතිවරණවල දී තීරණාත්මක බලයකි. මැතිවරණ දිනන්නට සිංහල ඡන්ද පදනම්වල පතුල් සූරන පිරිස්වලට ඔවුන් නොතකා හළ නොහැකිය.
එහෙත්, ඔවුන්ගේ දේශපාලනයේ න්‍යායක් තිබේ නම් එහි පදනම මුස්ලිම් විරෝධය නිසා මධ්‍යස්ථ ජාතික නායකත්වයකට ඔවුන්ගේ සහයෝගය ලබාගන්නට නම් සුළු ජාතික විරෝධී ස්ථාවරයක් ගැනීමට සිදු වනු ඇත.
මෙම සුළු ජාතික, සුළු ආගමික විරෝධය මේ මොහොතේ දී මුස්ලිම් විරෝධයක් වුව ද, එහි ආවේණික ලක්ෂණයක් වන ගතානුගතික නොවන ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම්වලට එරෙහි විරෝධය ද අවසන් වී නැත. රෝමානු කතෝලිකයන්ගේ නායකත්වය හොබවන අතිගරු මැල්කම් කාදිනල් කුරේ වැනි නායකයන් රතන හිමියන්ගේ උපවාසයට සහයෝගය දීමේ දේශපාලනය ඒ ඇසුරෙන් තේරුම් ගත හැකිය. මඩකලපුවේ සියොන් පල්ලිය ක්‍රිස්තියානි ඉවැන්ජලික දේවස්ථානයකි. එයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවත්, විශේෂයෙන්ම ළමයින් විශාල සංඛ්‍යාවක් සමග එහි දී සිදු වූ ඝාතන ගැනත් රෝමානු කතෝලික නායකයන්ගේ අවධානය එතරම් යොමු නොවූ බව ඔබ දුටුවා ද?
ලංකා ඉතිහාසයේ ඈත අතීතයේ සිටම භික්ෂුන් සමාජ, දේශපාලනික වශයෙන් වැදගත් භූමිකාවක් ඉටු කර තිබේ. මහා විහාර, අභයගිරි ආරාම අතර පැවති මහායාන, හීනයාන ගැටුම තුළ දේශපාලනය කෙතරම් ගැඹුරින් ක්‍රියාත්මක වී ද යත්, ලංකාවේ මහායාන ඉතිහාසයේ මූලාශ්‍ර විනාශ කිරීම පවා සිදු වී තිබේ. එම ප්‍රබලත්වය හේතුවෙන්ම කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වන විටත්, එතැන් සිට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වාත් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීම දක්නට ලැබේ. ලිබරල් පදනමින් එය අභියෝගයට ලක් කරන්නට ගත් උත්සාහයන් සාර්ථක වී නැතුවා පමණක් නොව, ආගම්වාදය ගැඹුරු කිරීමට ද එවැනි උත්සාහයන් ඉවහල් වී තිබේ. භික්ෂු දේශපාලනය කුමන තලයේ දී වුව ප්‍රභූ දේශපාලනයකි. භික්ෂුත්වයේ ගරුත්වය ඔස්සේ එමඟින් වරප්‍රසාදිත තත්ත්වයක් ගොඩනඟාගෙන තිබේ. රැඩිකල් භික්ෂු දේශපාලනය හැම කලකම ගැටලූකාරී එකකි. මේ රටේ රාජ්‍ය නායකයකු ඝාතනය කළ කුමන්ත්‍රණය ඇතුළු කුමන්ත්‍රණ කිහිපයකටම භික්ෂුන් නායකත්වය දී තිබේ. අද වන විට බෞද්ධ භික්ෂුව ඍජුවම බල දේශපාලනයේ නිරත වන්නෙකි. ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පවා මාදුළුවාවේ සෝභිත හිමි වැනි භික්ෂුහු ආසන්න වී සිටියහ. එවැනි දේශපාලන භික්ෂු නායකත්වයක් වෙනුවට රැඩිකල් හා ප්‍රචණ්ඩත්වයට නැඹුරු භික්ෂු නායකත්වයක් වර්තමානය වන විට ඉදිරියට එමින් තිබේ. එය ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.

අජිත් පැරකුම් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

four × one =