සහරාන්ගේ වැඩ ගැන දිගටම ඉහල නිලධාරීන් දැනුවත් කළා – නාලක සිල්වා කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධයෙන් 2014 වසරේ සිට පොලිසිය විමසිල්ලෙන් සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන නාලක සිල්වා පවසයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඒ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සාක්ෂි දෙමිනි.

සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ පොලිසිය 2016 සිට විමර්ශන පැවැත්වූ අතර, 2017 අගභාගයේ සිට ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පවසන්නේ වරින් වර තමන් වෙත ඇතැම් බුද්ධි තොරතුරු ලබා දුන්න ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානය යොමු කර කටයුතු කිරීමෙන් තමන් වළකා තැබුණු බවය. මාධ්‍යවේදීන් ඉවත්කොට විශේෂ කාරක සභාව හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට ප්‍රථම තවදුරටත් සාක්ෂි දුන් ඔහු, “ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යැයි සළකන තොරතුරු” මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය.

ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සෑම අඟහරුවාදා දිනයකම පැවැත්වෙන බුද්ධි අංශ සමාලෝචන රැස්වීමේදී ද සහරන්ගේ ක්‍රියා කලාපය ගැන ඉහළ නිලධාරීන් දැනුවත් කළ බවත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

20 + fourteen =