පෝලන්තයේ දී හිරුණි අතරමඟින් ඉවත් වෙයි

එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලංකා කාන්තා මැරතන් ක්‍රීඩිකා හිරුණි විජයරත්න පෝලන්තයේ පැවැති ලෝක මලල ක්‍රීඩා අර්ධ මැරතන් ශූරතාවලියේ ගිඩ්නියා 2020 තරගාවලියේ දී අතරමඟින් ඉවත් වී ඒ පිළිබඳ සිය බලාපොරොත්තු අත්හැර ගත්තා ය. ඒ පසුගිය 17වනදා ය. ඇය කිලෝමීටර් 15 සීමාවෙන් පසු තරගය අතහැරියේ ඇයගේ ශරීරය තරගයට සූදානම් නැති නිසා බව පැවසේ.

29 හැවිරිදි හිරුණි පළමු කිලෝමීටර් 5 අවසානයේ මිනිත්තු 17.50ක් සහ කිලෝමීටර් 10 සීමාව අවසානයේ 37.19ක කාලයක් වැය කළා ය. ඇය කිලෝමීටර් 15 සීමාව 57.28ක කාලයක් සමඟ අවසන් කර ඇති නමුත්, කිලෝමීටර් 21.0975 ධාවන තරගය නිමා කිරීමට ඇය සමත් නොවී ය.

කොලරාඩෝ සිට චිකාගෝ සහ ඩෙන්මාර්කය හරහා පැය 30ක වෙහෙසකර ගමනකින් පසු ගිඞ්නියා වෙත පැමිණි ඇයට දිගු ගමනක් යන බවක් දැනුණු අතර, එය ඇයට දිගු වෙහෙසකර ගමනක් වන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.

“මගේ ශරීරය ධාවන තරගයට සූදානම් බවක් දැනුණේ නැහැ.” තරගයෙන් පසු ‘වට්ස්ඇප්’ පණිවුඩයක් මඟින් ඇය පැවසුවා ය. “‍මම පුහුණුවීම්වල යෙදී සිටි අතරතුර හොඳම පෞද්ගලික කාලය වාර්තා කිරීමට සූදානම් වූ නමුත්, එයට යන්න ද බැරි වුණා.” ඇය කියා තිබුණාය.

හිරුණි පැය 1යි විනාඩි 12කට අඩු කාලයකින් ධාවනය අවසන් කිරීමට අපේක්ෂා කළ නමුත්, එය එසේ නොවී ය. ඇගේ අර්ධ මැරතන් තරගයක පෞද්ගලික හොඳම කාලය පැය 1:14.28, 2019 ජනවාරි මාසයේ දී ටෙක්සාස් හි හූස්ටන් හි දී වාර්තා කළා ය.

“මම මේ තරගය ඉවර කළා නම්, මම මගේ මන්දගාමීම මැරතන් ධාවන තරගය ධාවනය කළා වෙන්න තිබුණා. මගේ නමට හෝ මගේ රටේ නමට එබඳු දුර්වල ප්‍රතිඵල සටහනක් ලබා දීමට මට අවශ්‍ය වූයේ නෑ. ඒ නිසා මම තීරණය කළා අවසන් නොකිරීම වඩාත් සුදුසුයි කියලා” ඇය පවසන්නී ය.

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී හිරුණි විසින් මීටර් 10,000, මීටර් 5,000, මැරතන් හා අර්ධ මැරතන් තරගවල දී ශ්‍රී ලංකා වාර්තා 4ක් හිමිකරගෙන තිබේ. ඇය 2017 ලෝක ශූරතාවලිය, 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සහ 2019 මැරතන් තරගයේ දී, 2019 ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර 2018 ආසියානු ක්‍රීඩා උලෙළේ දී මීටර් 10,000 ධාවන පථයට ද පිවිසියා ය.

පෝලන්තයේ බෝල්ටික් මුහුද අසල සීතල, දීප්තිමත් උදෑසනක දී මෙම තරගය පෙරෙස් ජෙප්චීර්හර් අවසන් කළා ය. ඒ පැය 1:05.16 කින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුයේ මේ ඉසව්වේ ලෝක වාර්තාවක් ද තබමිනි. ඉතියෝපියාවේ යාලම්සර්ෆ්  1:05.18කින් රිදී පදක්කම දිනාගත් අතර, යුරෝපීය කාන්තා වාර්තාව පමණක් බිඳ දැමූ ජර්මනියේ මෙලට් යිසාක් කෙජෙටා ලෝකඩ පදක්කම දිනාගත්තාය●

 

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

one + eight =