“අප වැපිරූ බීජ වල අස්වනු නෙලන සමය හිතුවාටත් වඩා ඉක්මනින් ළඟාවෙමින් තිබේ”

මින්පසු නිරෝධායනය නිවෙස්වලම බවට පුවතක් පලවේ. කෝවිඩ් පාලනය ගිලිහී යා හැකි බවත් තත්වය බරපතල විය හැකි බවටත් තවත් පුවත් පලවේ. (දැන් තත්වය බරපතල නැතුවාක් මෙනි) සෑම නිවෙසක්ම විසල්, හොඳටම වාතාශ්‍රය ඇති වැසිකිලි දෙකතුනක් ඇති ඒවා නිසා ලංකාවේ ජහමනයාට ප්‍රශ්නයක් නැත. මිත්‍ර වරුනි අප වැපිරූ බීජ වල අස්වනු නෙලන සමය හිතුවාටත් වඩා ඉක්මනින් ළඟාවෙමින් තිබේ. දශක ගණනාවක් පුරා අං ඇති ගවයන්ට අපේ පාලනය භාරදී දෙකට නැමීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ඩිකියෙහි නිමක් නැති සිදුරු පමණි. ඒත් ඒ අං පහරවලින් දැනෙනා කිතිය තවමත් ආතල්ය.
කෝවිඩ් ආරම්භයේදී අප ලොවටම ආදර්ශයක් යයි කී අපේ ඔස්තාද්ලා දැන් ගයනා බයිලා අහගෙන ඉන්නට අපූරුය. කැමරා අටවාගෙන අසාදිත අසරණයන් පසුපස දිවූ මාධ්‍ය කබරුන්ගේ කටේද පිට්ටුය. ආයුර්වේද- බටහිර වෙද්දු තම වෙදකම්ගැන තර්කවලය.
ඊයේ ජේ ආර් සිහිනෙන් දුටිමි. උන්වහන්සේ මෙසේ වදාළ සේක. ‘තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගනිත්වා.”
එදා උන්වහන්සේ මෙසේ වදාල විට කනපැලෙන කතුවැකියක් ලියන්නට දයාසේන ගුණසිංහ නම් උත්තුංග පත්තරකාරයෙක් දිවයිනෙහි සිටියේය. එහෙත් දැන් දිව- ඉනෙහිය. කට -කනෙහිය.
එහෙත් අප තවමත් පරාද නැත. දීප්තිමත්ම හිරු කිරණ පිලිබඳව අපේක්ෂා හොඳින්ම දල්වාගතහැක්කේ අන්ධකාරයේ දරුණුතම හෝරාවෙහිදීය. වෛරසය හමුවෙහි මියෙන්නට සිදුවන දරුණු අනතුරක් මැද වුව සුභවාදී අපේක්ෂාවකින් ලෝකය සශ්‍රීක කර නික්මෙන්නට හැකිනම් එයත් කාරියකි.
නාසි හමුදා මොස්කව් වටලද්දී ලේනා මුකිනා නම් රුසියානු දැරිය දින සටහන් පෙලක් තැබුවාය. අවම තරමින් අපි කෝවිඩ් හමුදා අප වටලද්දී එකම එක සටහනක් හෝ ලියා බෙදා ගනිමු.
“මිත්‍රවරුනි තවමත් අවකාශය විවෘතය. අපේ ඉරණම තීරණය කළ යුත්තේ අපමය. සීමා මායිම් අවලංගු කරමු. අවංකවම එක් පොදු අරමුණක් සඳහා එක්වෙමු.”
-චූලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

eight − 7 =