සිටී හදවතේ තවමත් C. T.

එක් අතකින් බලන කොට අපට සිදු වී තිබෙන්නේ, අනුස්මරණ සටහන් තැබීමට ය. ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ, සංස්කෘතික ජීවිත පෝෂණය කිරීමට සුවිශාල ලෙස මෙහෙ කළවුන් දිවියෙන් නික්ම ගොස් ඇති නිසා මෙය මෙසේ සිදු වී ඇත. මිනිසාගේ සංස්කෘතික ජීවිතයේ අත්තිවාරම රැඳී තිබෙන්නේ, ආර්ථිකය මත බව හැබෑ ය. ඒ වාගේ ම ආර්ථිකය හසුරුවන දේශපාලනයේ අභිලාෂ මත ය. මා නියෝජනය කරන පරපුරට අනුස්මරණ සටහන් තැබීමට සිදු වී තිබෙන්නේ, දේශපාලන කියවා ගැනීමේ මොකක් දෝ තේරුම් ගත නොහැකි වූ කලාපයක් ඉක්ම වීමට බොහෝ කල් ගත වීම නිසාය.

මෙම තත්ත්වය ප්‍රකට නිදසුනකින් පැහැදිලි කර මෙම සටහනේ මුඛ්‍ය අරමුණට ප්‍රවේශය ගැනීම අවශ්‍ය ය. පාසල් අධ්‍යාපන විෂයමාලා නිර්දේශයෙන් ඉතිහාසය විෂයය සහ සාහිත්‍යය විෂයය ඉවත් කිරීම නිසා අද තිබෙන සමාජ, සංස්කෘතික කුණු වීම වූ බව ජනප්‍රිය කියමනකි. එහෙත්, එය එසේ ම ද? එවකට පාලන බලය ඉසිලූ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය සහ සාහිත්‍යය ඉවත් කෙරිණ. “කලාව, සාහිත්‍යය කන්න ද?” යනුවෙන් ප්‍රශ්න කළේ ඉන් පසු බලයට පැමිණි විධායක ජනාධිපති දක්වා ඒකාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ය.

මතවාදී තලයේ දී ඒ අදහස් දැක්වීම සහ පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය සහ සාහිත්‍යය ඉවත් කිරීම බරපතළ ය. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත් වීම ය. එහෙත්, මිනිසුන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතයේ අත්තිවාරම බිඳහෙළිය හැක්කේ, මේ තුළින් නම් නොවේ. අත්තිවාරමට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර විනාශ කරන ලද්දේ, වෙන තැනක දී ය. ඒ 1980 ජූලි වර්ජකයන් ලක්‍ෂයකට වැඩි පිරිසක් එකරැයින් එළියට ඇද දැමීම මඟින් ය. එළියට ඇද දමන ලද්දේ ඒ නිශ්චිත අවස්ථාවේ මෙරට ප්‍රගතිශීලී ක්‍රියාකාරිකයන් ලක්‍ෂයක් ය. ඔවුන්ගේ රැකියා අහිමි කිරීම නිසා මෙරට සමාජයේ මිනිසුන් ලක්‍ෂයකට වැඩි පිරිසකගේ ‘සංස්කෘතික ක්‍රයශක්තිය’ බිඳදැමී ය. එනම්, කලා, සංස්කෘතික ක්‍ෂේත්‍රය වෙනුවෙන් මුදලක් වැය කිරීමේ වුවමනාව තිබූ මිනිසුන්ට ඒ හැකියාව අහිමි කිරීමයි.

“බොක්ස් ගිටාර් එකක් වාදනය කරමින්, තරු පන්තියේ හෝටල්වල සැඳෑ සාදවල කුරුඳුවත්තේ නෝනලාට, මහත්වරුන්ට සිංහල සින්දු කියූ එක ම ගායකයා ඔහු…” මෙවැනි වචනවලින් සී. ටී. ප්‍රනාන්දුව එදා හැඳින්වී ය. “මේ සින්දුවලට කුරුඳුවත්තේ නෝනලා, මහත්වරු වශී වී ගියා…” වාගේ දේ ද කී බවට යාන්තමට මතක ය.

එයින් දශක හතරකට පසුව ලියුම්කරුගේ පරපුරට සිදු වී තිබෙන්නේ, බදා අල්ලා ගත නොහැකි තරමට මෙරට සමාජ, සංස්කෘතික කෙත අස්වද්දා, රැකබලා ගත් විවිධ ක්‍ෂේත්‍රවල අය ගැන ගුණ සැමරුම් සටහන්, අනුස්මරණ සටහන් තැබීමට ය. මෙම සටහනට නිමිත්ත වන්නේ සී. ටී. ප්‍රනාන්දු ය.

කුඩා කල කිසිවක් නොදත් ගුවන්විදුලි ශ්‍රාවකයන් ලෙස එදා විඥානය තුළ දැනීම්, හැඟීම් කලාපයන්ට බීජ වැපිරුණු ආකාරය තෘප්තිදායකව සිහිපත් වේ. ඊට අයත් ප්‍රධාන පෙළේ ගායකයකු වූයේ සී. ටී. ප්‍රනාන්දු ය. “පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” ගීතය සී. ටී. ප්‍රනාන්දු සහ රුක්මණී දේවි ගායනා කරනු ඇසෙන විට ජීවිතයේ සංස්කෘතික විඥානය තුළ ශෝකී කම්පනයක් ඇති වූ අන්දම සිහියට නැඟේ. ‘අම්බිලි මාමේ’, ‘ලෝ අඩ නින්දේ’, ‘දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා’, ‘බරබාගේ’ වැනි ගීත තව දුරටත් එම හැඟීම් කලාපය පුළුල් කරමින්, කම්පනයන් ජනිත කළේ ය. එහෙත්, එය දැනීම්, හැඟීම් කලාපයේ තැන්පත් වූ භාවමය තත්ත්වයක් පමණක් ය.

එම සීමාව පුපුරුවා හැර සී. ටී. ප්‍රනාන්දු විෂයයෙහි බුද්ධිමය ආමන්ත්‍රණයකට මුල් වූයේ ඩබ්ලිව්. ජයසිරි ය. මතකයේ හැටියට ඒ 1980 දශකයේ අවසාන කාලයේ හෝ 1990 දශකයේ ආරම්භක අදියරේ ය. ගුවන්විදුලි සංස්ථාවේ ‘සති අග අධ්‍යාපන සේවය’ නමින් ඒකකයක් තිබිණි. එය අවිධිමත් අධ්‍යාපනයේ තෝතැන්නක් විය. ඊටත් වඩා සමාජ, සංස්කෘතික කලාපයේ නිම්හිම් පුළුල් කරන්නක් විය. මතකයේ හැටියට ඩබ්ලිව්. ජයසිරි ‘සමීප රූප’ නමින් වැඩසටහනක් ඉදිරිපත් කළේ ය. ගීතයක් ගැන හෝ ගායකයකු, ගායිකාවක හෝ චිත්‍රපටයක් ඈ කුමක් හෝ විෂයයෙහි යම් වගතුග ප්‍රමාණයක් හෙළි කර ගීතයක් ඉදිරිපත් කිරීම සුහුඹුල් සංස්කෘතික සත්වයන් වූ අපට නෑඹුල් ශ්‍රාවක අත්දැකීමක් විය.

මතකයේ මැකී නොමැකී තිබෙන ඩබ්ලිව්. ජයසිරිගේ වචන මෙසේ ය:

“බොක්ස් ගිටාර් එකක් වාදනය කරමින්, තරු පන්තියේ හෝටල්වල සැඳෑ සාදවල කුරුඳුවත්තේ නෝනලාට, මහත්වරුන්ට සිංහල සින්දු කියූ එක ම ගායකයා ඔහු…” මෙවැනි වචනවලින් සී. ටී. ප්‍රනාන්දුව එදා හැඳින්වී ය. “මේ සින්දුවලට කුරුඳුවත්තේ නෝනලා, මහත්වරු වශී වී ගියා…” වාගේ දේ ද කී බවට යාන්තමට මතක ය. ඩබ්ලිව්. ජයසිරි එදා කී ඒ වචනවල තේරුම එදා අල්ලා ගන්න බැරි වුණුමුත්, ඒවා තදින් හිතට වැදී තිබිණි. නමුත්, දේශපාලන සමාජ, සංස්කෘතික අවබෝධය මෝරා එන විට තමයි, මේ කතාවේ අගමුල හරියට ම හසු විය.

එදා ඒ නෝනලා සහ මහත්වරුන් සිංහල සින්දු අහන්නට ඇත්තේ, හරියට අපි මෙලෝ හසරක් දන්නේ නැති හින්දි සින්දු අහනවා මෙන් විය හැකි ය. සිංහල තේරෙන ඒ නෝනලාට, මහත්වරුන්ට රොමෑන්ටික ‘සිංහල ගමක්’ මවා ගන්න හැකි වෙන්නට ඇත. මහගම සේකර කීවා වාගේ හීනෙන් ගම දැක හොයාගෙන යන්නට හිතෙන්නට ඇත. කොහො ම වුණත්, සිංහල ගීතය නව ආරකින් සමාජ පැලැන්තියකට ගෙන යන්න සී. ටී. ප්‍රනාන්දු පුරෝගාමී වූ බව පසු කලක තේරුම් ගත හැකි විය. මානව සබඳතාවන්, මිනිහා සහ ස්වාභාවික පාරිසරික බැඳීම් ගැන අරුමැසි උත්තේජනයක් ඇති කිරීමට සී. ටී. ප්‍රනාන්දු සමත් වී යැයි කීම නිවැරැදි ය. ඒක කුරුඳුවත්තේ සිට ඈත හද්දාපිටිසර ගම දක්වා මෙන් ම වළ පයයි, ගොඩ පයයි තියෙන මහලු මිනිසුන්ගේ සිට යාන්තම් වචනවල සහ දැනීම්, හැඟීම්වල දැවටෙන පුංචි උන් දක්වා එක විදියට ගෙන යාමේ අපූර්ව හැකියාව සී. ටී. ප්‍රනාන්දුට තිබූ බව දැන් වැටහෙයි.

පොදුවේ ගත් විට රටක, සමාජයක සංස්කෘතික කලාපයන්ගේ කවර හෝ සීමා මායිම් ඉක්මවා ගිහින් ආත්මගත වීම කිසිසේත් ම පහසු නැත. ඒ අසීරු ම දේ ගීතයෙන් සිදු කළ විශිෂ්ටයෙක් හැටියට සී. ටී. ප්‍රනාන්දු ඉතිහාසයට එක් වී නික් මී ගොසින්. ඒ නික්ම යාමෙන් අවුරුදු 43කට පසුව හෝ මෙවැනි සටහනක් තැබීම අපේ පරපුරේ අතපසු නොකළ යුතු කාර්යයක් වී ඇත.

අද හුදෙක් ආර්ථික සත්වයන් පමණක් වී කිසි ම සමාජ, සංස්කෘතික, දේශපාලනික නොවූ මිනිස් සතුන්ට බොහෝ දේ එන්නත් කළ යුතුව තිබේ. ඒ සඳහා සුදුසු ම මෙවලම් සී. ටී. ප්‍රනාන්දු වැන්නන් ඉතා අපූරුවට නිමවා තිබේ. ප්‍රශ්නය තිබෙන්නේ, එසේ නිමවා තිබෙන භාවමය මෙවලම් හඳුනා ගැනීමට අප පරපුර අසමත් වීම ය.

ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

2 × three =