“ලංකාව ගණුදෙනු කළ යුත්තේ කාසමඟද කියා තීරණය කරන්න ඇමරිකාවට බැහැ”

ලංකාව ගණුදෙනු කළ යුත්තේ කවුද කියා තීරණය කරන්න ඇමරිකාවට බැහැ… තමන්ගේ දේශප්‍රේමී බව පෙන්වන්න ආණ්ඩුව මේක හොඳ අවස්ථාවක් බව ජාතික විද්වත් සංවිධානයේ විධායක කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක අද (26) පෙරවරුවේ බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කරුණාතිලක මහතා,

“රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කිසියම් රටක නිල සංචාරයක යෙදීමෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳහිත වර්ධනය කරගැනීමයි. නමුත් මයික් පොම්පියෝගේ සංචාරයෙන් කියවෙන්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීමක්, හොඳහිත වර්ධනය කිරීමක් ගැන නෙවෙයි. ජාතික විද්වත් සංවිධානය හැටියට අපි එහෙම කියන්නේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් කර තිබෙන ප්‍රකාශය නිසා. රාජ්‍ය තාන්ත්‍රික කාරණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරද්දි බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කිරීම ඔහුගේ ප්‍රකාශයේ දකින්න නැහැ. ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවේ අදහස මොකක්ද කියලා එයින් පැහැදිලි වෙනවා. “පාරදෘශ්‍ය නොවන හා අසාධාරණ වෙනස්කම් කොට සලකන ක්‍රියාකාරකම් වෙනුවට තමන් පිරිනමන විනිවිද පෙනෙන සහ තිරසාර ආර්ථික සංවර්ධනය ගැන නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.” කියලා ඒ නිවේදනයෙන් බලපෑම් කරන්නේ ලංකාව තෝරා ගැනීමේ කඩඉමක සිටින බවත් අවධාරණය කරමින්. මේ අනුව කවුරුන් හෝ තෝරාගත යුතුයි කියලා බලකරන තැනට ශ්‍රී ලංකාව හිරකරලා තියෙනවා.

අපි ඒ තෝරා ගැනීම නොකරන්නේ නම් ඔවුන් මොනවාද කරන්නේ කියන එක මේ වචනවලින් නොකිව්වත් දැනටමත් තීරණය කර තිබෙන බව පැහැදිලියි. ඇමරිකාව තව දුරටත් එකතු කර තිබෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ආගමික නිදහස, නීතියේ ආධිපත්‍යය, ජාතික සංහිඳියාව පිළිබඳව ඇමරිකාවේ අවධානය කොයිම මොහොතකවත් අමතක කර නොමැති බවයි. ඒ වගේම ආසියානු කලාපය තුළ ඇමරිකානු ආරක්‍ෂාව පිළිබඳ වැදගත්කම නොසලකා හැරලා කටයුතු නොකරන බව ඇමරිකාව අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ කෙරෙන චීන  ඇමරිකාව සුළුකොට නොතකන අතර දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ ඇමරිකානු වුවමනාවන් සහ ආරක්‍ෂාවට චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර්ජනයක් විදිහට ඇමරිකාව සලකන බවත් අවධාරණය කරනවා. රාජපක්‍ෂ පාලන යුග දෙකේදී අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර දේශපාලන පොර පිටියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර තිබෙනවා. මේ නිසා අපේ රට විතරක් නෙවෙයි, අපේ රටේ ජනතාවගේ ආරක්‍ෂාවත් තර්ජනයට ලක් කර තියෙනවා.

චීනය සහ ඇමරිකාව අතර කෙරෙන වෙළඳ යුද්ධයක ප්‍රතිඵලයක් හැටියට මෑත කාලයේ අනෙක් රටවල් පෙළ ගැහෙන්නේ කොහොමද කියලා පැහැදිලි උදාහරණයක් තියෙනවා. ජපානයේදී ඇමරිකාවත්, ඉන්දියාවත්, ඕස්ටේ්‍රලියාවත් එකතුවී ආසියා පැසිෆික් කලාපීය සමුළුවක් පැවැත්වීම තුළින් චීනයට එරෙහිව ලෝක කඳවුරු බඳින ආකාරය පැහැදිලි වෙනවා. මේ ක්‍රියාකාරිත්වය තුළ චීන හිතවාදී ඕනෑම රටක් අස්ථාවර කරන්න ආර්ථික හෝ දේශපාලනික අංශවලින් දුර්වල කරන්න මේ කඳවුරු වැඩ කරන බව පැහැදිලියි. 80 දශකයේදී ජේ. ආර්. ජයවර්ධන පාලනය ඇමරිකානු හිතවාදී ක්‍රියාමාර්ගවල යෙදුනු සමයේ එල්.ටී.ටී.ඊ. වැනි ත්‍රස්තවාදී සංවිධාන ඉන්දියාවෙන් ඇතිකළා වගේ සෘජුව සිදුකරන බලපෑම් නොවෙන්න පුළුවන්. නමුත් ඊට වඩා සංකීර්ණ සහ බලවත් වගේම උපක්‍රමික ක්‍රියාමාර්ගවලට ලංකාව ගොදුරු වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවලදී කාත් එක්ක කටයුතු කරනවාද කියන එක තීරණය කරන්න ඇමරිකාවට අයිතියක් නැහැ. පොම්පියොගේ ශ්‍රී ලංකා සංචාරය කේන්ද්‍ර වෙන්නේ ඇමරිකාව සහ චීනය අතර තියෙන ගැටුමේ භූමියක් හැටියට. මේ තත්වය තුළ ආණ්ඩුව තමන්ගේ සැබෑ දේශප්‍රේමිත්වය ප්‍රායෝගිකව පෙන්වන්න ප්‍රතිචාර දක්වන්න අවස්ථාව ඇවිත් තියෙනවා. හැබැයි ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග අනුව අවංකවම ආණ්ඩුව කටයුතු කරනවාද කියන එක පැහැදිලි වෙනවා. පසුගිය මැතිවරණ දෙක ජයග්‍රහණය කිරීම හරහා ගොඩනගා ගත්ත දේශපාලන බලය වගේම 20වැනි සංශෝධනයෙන් පස්සේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන සියලුම බලය තනි පුද්ගලයෙකුට ඒකරාශී කරගෙනත් තිබෙනවා. මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීම සඳහා ඕනෑවටත් වඩා බලයක් තිබෙනවා. හැබැයි අපිට ඇත්ත දේශප්‍රේමී වුවමනාවකින් ආණ්ඩුව කටයුතු කරන බව පේන්නේ නැහැ. ආණ්ඩුව අවංකවම රටට ආදරය කරනවා නම් තමන්ට ඡන්දය දුන් අවංකවම දේශප්‍රේමී ජනතාවට ඒ බව ඔප්පු කර පෙන්වන්න ඕනෑ.

ඒ වගේම ඒ අවංක ජනතාවගෙන් ජාතික විද්වත් සංවිධානය හැටියට අපි ඉල්ලා සිටින්නේ පවතින තත්වය බැරෑරුම් ලෙස සලකලා රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කරන්න කටයුතු කරන්න කියලා” යනුවෙන් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

2 × 4 =