මයික් පොම්පෙයෝ හෙට ලංකාවට – “එම්.සී.සී. අත්සන් කරන්න එපා කියලා ජනවරමක් තිබෙනවා”

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිත අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ මෙරටට පැමිණීම පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් ප්‍රශ්න කරනු ලැබුවේ මෙලෙසිනි.

“පවතින කොවිඞ් තත්වය යටතේ ජනතාවත් සෞඛ්‍ය අංශයත් අදාල නිරෝධායන කටයුතු අනුව කටයුතු කළත් ශ්‍රී ලංකා රජයත් විදේශ බලවත් රාජ්‍යයනුත් ඒ නීතිරීති කිසිවක් පිළිපදින්නේ නැහැ. ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා ඉතාම හදිසි තත්වයක් යටතේ සිදුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවන ගැටළු රාශියක් තිබෙනවා.

 

ඇමරිකාව තුළත් ලෝකය තුළත් ලංකාවෙත් මෙතරම් බරපතළ තත්වයක් තිබියදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ නිල සංචාරයකට පැමිණීමේ හේතුව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර් 03වැනිදාට. මයික් පොම්පියෝ එන්නේ මේ මාසේ 28වැනිදා. ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී ඇමරිකානු අධිරාජ්‍යයේ යුද සහ දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩකරුවා ලංකාවට එන්නේ ඇයි? අපේ රටේ රාජ්‍ය නායකයන් සමග ඇමරිකානු නායකයන්ට අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් එය අන්තර්ජාලය ඔස්සේ කළ හැකියි. එවැනි අත්දැකීම් රාශියක් තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදුන්නේ ඔන්ලයින් ක්‍රමයට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75වැනි සංවත්සරයට ලෝකයේම රාජ්‍ය නායකයන් සම්බන්ධ වුණේ ඔන්ලයින් ක්‍රමයට. ඇමරිකාව, සුඩානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් අත්සන් කළේ ඔන්ලයින් ක්‍රමයට. එසේ තිබියදී ඡන්දයට දවස් පහකට කලින් මයික් පොම්පියෝ එන්නේ ඇයි? ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුගේ පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පමණ පෙර. එක්කෝ වසන් කිරීමක්. නැත්නම් 20 සංශෝධනයෙන් පසුව හිටපු ඇමරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විශාල බලතල ප්‍රමාණයක් ගැනීමෙන් පසුව නිවේදනය කළාද කියලා ගැටළුවක් තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පැමිණීම ස්ථිර කරන්නෙත් 23වැනිදායි. විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැමිණීමේදී සාකච්ඡා කරන කරුණු කලින් නිවේදනය කරනවා. නමුත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡා කෙරිලා නැහැ. මයික් පොම්පියෝ සමග ඇමරිකානු ආරක්‍ෂක ලේකම් මයික් එස්පර් ඉන්දියාවට යනවා. ඔහුත් ලංකාවට එනවාද කියලා වාර්තා කරලා නැහැ.

ලෝකයේ වැඩිම කොරා්නා රෝගීන් සිටින ඇමරිකාවේ ඉඳලා ඊළඟ වැඩිම රෝගීන් ඉන්න ඉන්දියාවට ගිහින් ලංකාවට එනකොට නිරෝධායන නීතිරීති බරපතලව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය ගැන වාර්තා කිරීමට පැකිලුනාට එහි බරපතල තත්වයක් තියෙන්නේ. කොරෝනා සම්බන්ධ නීතිරීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාල නැති බව තොණ්ඩමන් මහතාගේ අවමගුල් උළෙලේදී පළමුව අපි දැක්කා. පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේදීත් ඒ බව දැක්කා. නමුත් දුප්පතුන්ට රෝගය වැළඳුණාම ඔවුන් ආගිය තැන් හැම තැනක්ම ප්‍රචාරය කරනවා. ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවුණු පොකුර සම්බන්ධයෙන් රෝගී වූ සේවිකාවගේ ඡායාරූප සියල්ල පළ කළත් ප්‍රධානින් සම්බන්ධ කිසි දෙයක් වාර්තා කර නැහැ.

ග්ලෝබ් මාස්ටර්-3 කියන ගුවන් යානය මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණියා. ඇමරිකන් සෙබළුන් 134ක් පමණ සහ වාහන ගෙනියන්න පුළුවන් මේ යානයෙන් පැමිණි පුද්ගලයන් කවුද? මොවුන් සුපර් හියුමන්ලාද? නැත්නම් ලංකා ආණ්ඩුව ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ කොරෝනා නීති ක්‍රියාත්මක කරන්නේ නැති බවට තවත් උදාහරණයක්ද? ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ මල් පැළ බෙදන්න නෙවෙයි. තර්ජනය කරන්න. ලංකාව දණගස්වලා එන්නේ. එසේ එන අයගේ ආරක්‍ෂක බල ඇණිය ඇවිල්ලා නතර වෙලා ඉන්නේ කොහෙද? ඔවුන් යන්නේ එන්නේ කොහෙද? මොවුන් නතර වෙන හෝටල්වල සේවක සේවිකාවන්ගේ ආරක්‍ෂාවට වග කියන්නේ කවුද?

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ දකුණු ආසියානු කලාපය භාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ 23වැනිදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක සටහන් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තියෙන්නේ “ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. ‘අත්‍යවශ්‍ය තීන්දුවක්’ බව ඔහු අවධාරණය කරනවා. එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ. මේ ආණ්ඩුවට දේශප්‍රේමී සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනකොට කළුකොඩි දාන්න කියපු කට්ටියත් ආණ්ඩුවේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නරි කෙඳිරිල්ලක්වත් නැත්තේ ඇයි? ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දේශප්‍රේමිත්වයක් ආරෝපණය කරපු අයගෙන් අපි අහන්නේ රටට තර්ජනය කරලා එන මේ පිරිස ගැන, තර්ජනාත්මක ප්‍රකාශ ගැන, ආණ්ඩුවේ ඉන්න ඇමරිකානු පුරවැසියන් විරෝධය පළකරන්න ඕනෑ. අපේ මාතෘභූමියේ පුරවැසිභාවය අත්හැරි මේ දූෂිත පුද්ගලයන් කවදාවත් අපේ රටේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව අපි දිගටම කිව්වා. ආණ්ඩුව සහය දුන්න ජනතාවත්, ආණ්ඩුවට සුදුහුණු ගාන තමන්ගේ මාධ්‍ය ස්වාධීනත්වය නැතිකරගත් ආයතනයත් මේ ගැන මොකද කියන්නේ.”

“රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙරම දුෂ්කර තීන්දුවලට යන්න වෙයි කියලා තියෙනවා වගේම තවමත් එම්.සී.සී. කාර්යාලය මේ රටේ පවත්වාගෙන යනවා. ඒ ගැන ජනාධිපතිවරයා හෝ වර්තමාන ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා එක වචනයක් කියන්නෙ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණයට දවස් පහක් තියෙද්දී කොරොනා තර්ජනය මැද්දේ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ ජනතා විරෝධය නිසා මේ දක්වා අත්සන් කරන්න බැරිවී තිබෙන එම්.සී. සී. ගිවිසුම ගැන සාකච්ඡා නොකරන්න කියලා අපි හිතන්නේ නැහැ.

එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න එපා කියලා ජනවරමක් තිබෙනවා. ඒ ගිවිසුම සම්බන්ධයෙන් ජවිපෙ අපි මුල සිටම හෙළිදරව් කිරීම් කළා. ඒ නිසා එයට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට සෑම දෙයක්ම අපි කරනවා. ආණ්ඩුවෙන් ගිවිසුම අත්සන් කළත් එය ක්‍රියාවට නගන්න තියෙන්නේ ලංකාව කියන මහ පොළොවේ. මේ රටේ ජනතාව එයට එරෙහිව පාරට බහීවි කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන තොරතුරු නොසලකා හෝ හැඟීම්බර වීම් නිසා හෝ තොරතුරු නොදැනීම නිසා බොරු දේශප්‍රේමීන්ට නොරැවටි තමන්ගෙන් සිදුවුණු අඩුපාඩුව නිවැරදි කරගෙන එම්.සී.සී. ගිවිසුම වැනි විනාශකාරී ගිවිසුම්වලට විරෝධය දැක්වීමේ හැකියාව තිබෙනවා. රාජ්‍ය දේපළ වගේම රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කරගන්න ඒ වගේම ශ්‍රී ලංකාව ආර්ථික, යුධ, දේශපාලන සංවිධානවලට ගැති නොවී පුළුල් සංවිධානත් එක්ක සහයොගයෙන් කටයුතු කරන්නත් ඕනෑ. එසේ නොවී ඉන්දියාව හෝ චීනය හෝ එක්සත් ජනපදයේ මැදිහත්වීම් කිසිවකට මැදිහත් විය යුතු නැහැ. මේ රටවල් පිස්සුවෙන් වගේ ලෝකයේ කුඩා රටවල්වලට මැදිහත්වීම් කරනවා. අපේ රට ඉන් මුදවා ගැනීමේ වගකීම සහමුලින්ම වගේ ජනතාවට තිබෙනවා.”

Leave A Reply

Your email address will not be published.

4 × 5 =