අතුරුදහන් වූවන් වෙනුවෙන් නොනැවැතුණු තිස් වසරක සැමරුම් අරගලය

“පුතාව අරගෙන යන වෙලාවේ පුතා බය වෙලත් නැහැ. පුතාගේ අම්ම කිව්වා ඒ ආව කට්ටිය එක්ක පුතා යන කොට එයාට බයක් දැනුණා කියලා. පස්සේ අපේ පුතා ගෙදර එයි කියලා අපි දෙන්නා අවුරුදු ගාණක් බලාගෙන හිටියා. ඒත් අන්තිමට ලැබුණේ මරණ සහතිකයක් කියලා කොළ කෑල්ලක්.”
දිවුලපිටියේ බී.සී. සිල්වා තාත්තා එහෙම කිව්වේ, හුඟ කාලෙකට කලින්. ඒ සීදුව, රද්දොළුව හන්දියේ ඇති අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අභියස දී. තමන්ගේ අතුරුදහන් වූ පුතාගේ ඡායාරූපය ඇති කඳුළු බිත්තියට අත තබාගෙන. එහෙම කිව්ව සිල්වා තාත්තත් දැන් නැහැ. අවුරුදු අනූවක් වෙනකම් සිල්වා තාත්තා හැම අවුරුද්දකම ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙන අතුරුදහන් වූවන් සමරන දිනයට නොවරදවාම සහභාගි වුණා.
“දැන් ගොඩක් වයස වුණත්, අමාරුවෙන් හරි අපි මෙතැනට එන්නේ මගේ දරුවා මතක් කරන්න තියෙන එකම තැන මෙතැන නිසා. මගේ පුතා වගේම දාස් ගාණක් වළලපු තැනක්වත් නැහැ. ඒ නිසා පුතාගේ පින්තූරෙ ගහල තියෙන මේ බිත්තිය අපිට වටිනවා. අපි වගේ තව සිය ගාණක් මෙතැනට එනවා. ඒ අය එක්ක පැය තුන හතරක් ඉන්න එකත් හිතට සැනසීමක්” සිල්වා තාත්තා එදා එහෙමත් කිව්වා.
ඒ සැනසීම පතා වාර්ෂිකව ඔක්තෝබර් 27 වැනිදා සීදුව, රද්දොළුව හන්දියේ සාන්ත සිසිලියා දෙව් මැඳුර අභියස ඉදි කර ඇති අතුරුදහන් වූවන්ගේ ස්මාරකය මුල් කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ ජාතික දින සැමරුම මෙවර  පැවැත්වෙන්නේ නැහැ. ඒ මේ වන විට පැතිරෙමින් ඇති කොවිඞ් – 19 වෛරසය හේතුවෙනි. නමුත් අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය අතිශය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් 2020-10-26 එනම් අද දින සවස 6.00 ට Families of the Disappeared ෆේස් බුක් පිටුව හරහා සජීවීව වැඩසටහනක් ලෙස විකාශනය වන අතර එහි නැවත විකාශනය 27 වන දින එනම් හෙට උදේ 10.00 ට සහ සවස 6.00 ට විකාශනය කිරීමට සුදානම් කර ඇත.

1991 වසරේ දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැඩි තර්ජනය සහ භීෂණය මැද සීදුව, රද්දොළුව මංසන්ධියේ දී අතුරුදහන් වූවන්ගේ සැමරුම පැවැත්වූයේ 16 දෙනකුගේ සහභාගිත්වයෙනි. මෙම ස්ථානයේ එය පැවැත්වීමට ප්‍රධාන හේතුව වූයේ එවක නිදහස් වෙළෙඳ කලාප සේවකයකු වූ රංජිත් සහ ඔහුගේ නීති උපදේශකවරයා වූ ලයනල් මරා පුළුස්සා දැමූ ස්ථානය මෙය වූ හෙයිනි. ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේ දී මරා පුළුස්සා දමා තිබුණේ, 1989 ඔක්තෝබර් 27 වැනිදා ය. 1992 පැවති දෙවැනි සැමරුමට ඔස්කා අබේරත්න, සුනන්ද වනසිංහ යන පියතුමන්ලා ද, බද්දේගම සමිත හිමි වැනි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද, වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න යන නව සමසමාජ පක්ෂ නායකයන් ද, ලීනස් ජයතිලක ඇතුළු වෘත්තිය සමිති නායකයන් ද සහභාගී වූ අතර, දහසක පමණ පිරිසකගෙන් යුත් විශාල සැමරුමක් පවත්වා සීදුව මංසන්ධියේ දී මහජන විනිශ්චය සභාවක් ද පැවැත්වීමට හැකි විය. එහිදී ද පොලිසියෙන් දැඩි තර්ජන එල්ල වූ අතර, කඳුළු ගෑස් එල්ල කරන බවට ද පොලිසිය තර්ජනය කළේ ය.
1994දී පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ ම අතුරුදහන් වූවන්ගේ පවුල්වල කර මතින් නිසා ප්‍රදේශයේ පොදු පෙරමුණු දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ද අතුරුදහන් වූවන් සැමරීමේ උත්සවයට ලැබිණි. ඒ අතුරින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ රෙජී රණතුංග යන ඇමතිවරු ප්‍රමුඛ විය. ඒ අයගෙත් සහායෙන් අතුරුදහන් වූවන්ගේ ස්මාරකය සහ කඳුළු බිත්තිය ඉදිකර ඇති ඉඩම් කැබැල්ල අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවට ලබා ගැනීමට හැකි විය. මෙම දේශපාලන අනුග්‍රහය නිසාම 1991දී පළමු අතුරුදහන් වූවන්ගේ සැමරුමට දැඩි ලෙස බාධා කළ පොලිස් පරීක්ෂකවරයා ම 1994 සැමරුමේ සංවිධාන කටයුතු සිදුවන විට පැමිණ “මොනව ද අපෙන් කෙරෙන්න ඕනෑ ?” යනුවෙන් සංවිධායකවරුන්ගෙන් විමසී ය.

ඒ සියල්ල මැද අතුරුදහන් වූවන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර අතුරුදහන් වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ‘කඳුළු බිත්තිය’ ඉදි කිරීම සිදු වන අතර, එය විවෘත කිරීමේ උත්සවය 2000 පෙබරවාරි 04 වැනිදා පැවැත්විණි. එවක පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇමතිවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඒ සඳහා සහභාගි විය. එය ඉදි වන්නේ අතුරුදහන් වූවන් වෙනුවෙන් ඉදි වූ දෙවැනි ස්මාරකය ලෙසිනි. පළමුවැන්න වූයේ ඇඹිලිපිටියේ අතුරුදහන් වූ පාසල් සිසුන් 39 දෙනා වෙනුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඉදි වූ ‘අහිංසකයන්ගේ ආරාමය’යි.
දකුණේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පමණක් පැවැත්වූ ‘ඔක්තෝබර් 27 අතුරුදහන් වූවන්ගේ සැමරුම’ උතුරු, නැඟෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වීම් ඇරඹීමෙන් පසුව “උතුරේත් දකුණේත් අතුරුදහන්  වන්නේ අපේම දරුවන් ය” යන තේමාවෙන් මුළු දිවයිනේ ම අතුරුදහන් වූවන් සැමරීමක් ලෙස ඇරඹෙන්නේ 2006 වසරේ සිට ආරම්භ වූ උතුරු, නැඟෙනහිර අතුරුදහන් කරවීම් නිසා ය.
එයට දකුණෙන් දැඩි විරෝධයක් එල්ල වුවත්, පසුව “අතුරුදහන් කරවීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි, යළි සිදු වීමට ඉඩ නොදෙමු.” යන අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ තේමාව යටතේ රටේ සියලුම අතුරුදහන් වූවන් වෙනුවෙන් පොදු සැමරුම පැවැත්වී ය.
මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් විධායක ජනාධිපති වීමෙන් පසු හරිහැටි නඩත්තුවක් හෝ නොතිබුණු ‘අහිංසකයන්ගේ ආරාමය’ කඩාබිඳ දැමූ එවක ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එතැන දැන් අගනුවරට ඇතුළු වන බොහෝ දෙනා අතර ජනප්‍රිය ‘දියත උයන’ ඉදි කළේ ය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට අතුරුදහන් වූ තම ඥාතියා සිහි කිරීම සඳහා ඉතිරිව ඇත්තේ, සීදුව, රද්දොළුව මංසන්ධියේ ඇති අතුරුදහන් වූවන්ගේ සිහිවටනය පමණි.

අහිංසකයන්ගේ ආරාමය කඩාබිඳ දමන කාලයේදී ම රද්දොළුව ස්මාරකය ද කඩාබිඳ දැමීම සඳහා එවකට රද්දොළුව සාන්ත සිසිලියා දෙව්මැඳුරේ සිටි පූජකතුමා ඇතුළු කතෝලික පූජකතුමන්ලා පිරිසක් ද දැඩි උත්සාහයක් ගත්තේ ය. එහෙත්, අවසානයේ දී අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවට ඔවුන් විසින් ඉදි කළ මෙම ස්මාරකය අභියස සැමරුම් පැවැත්වීම බාධාවකින් තොරව කරගෙන යාමට හැකි විය. ඊට ප්‍රධාන ම හේතුව වූයේ තම අතුරුදහන් වූ දරුවා හෝ ස්වාමිපුරුෂයා හෝ වෙනුවෙන් දශක කිහිපයක් ම අඛණ්ඩව ම මෙම සැමරුම පවත්වමින්, රටේ ජනතාවට මෙවැනි ව්‍යසනයක් සිදු වූ බවට නැවත නැවත කියාපෑමට සමත් වූ අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ය.

1987-89 කාලයේ සිදුවූ අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වන විට උතුරු, නැඟෙනහිර අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් බලයේ සිටි සියලු පක්ෂවලට චෝදනා එල්ල වේ. විශේෂයෙන් ම 2006 සිට සිදු වූ අතුරුදහන් කරවීම් ඒ අතුරින් ප්‍රමුඛ වේ. එහි වැඩිමනත් චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ය. ඒ අනුව අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ දී මෙම පක්ෂ දෙකටම විශාල වගකීමක් සහ යුතුකමක් තිබේ. පසුගිය ආණ්ඩුව විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office of Missing Persons ) මඟින් ගනු ලැබූ යම් යම් ධනාත්මක පියවර තව දුරටත් ඉදිරියට ගෙන යාම වැදගත් ය. ඒ අනුව අතුරුදහන් වූවන්ගේ පවුල්වලට පසුගිය ආණ්ඩුව විසින් ගෙවීම ආරම්භ කළ මසකට රුපියල් 6,000.00ක් වන දීමනාව අඛණ්ඩව ලබා දීම එහි පළමු පියවර ලෙස සිදු කළ හැකි ය.
මේ වන විට අතුරුදහන් කරවීම අපරාධමය වරදක් ලෙස නීතිගත කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර සම්මුතීන්වලට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, එය රටේ නීතියක් ලෙස ද ව්‍යවස්ථාපිතව ඇත. අතීත අතුරුදහන් කරවීම් සඳහා එය බල නොපෑවත් ඉදිරියේ දී යම් ලෙසකින් එවැනි ව්‍යසනයක් සිදු වුවහොත්, එම නීතියේ පිළිසරණ ලැබීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබේ.
අහිංසකයන්ගේ ආරාමය කඩාබිඳ දැමීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ කතාව රට තුළින් අතුරුදහන් කරවීමේ උත්සාහයක් දේශපාලනිකව දියත් වුව ද, අතුරුදහන් වූවන්ගේ ඥාතීන් දිගින්දිගට ම යුක්තිය ඉල්ලා සිටීමේ අරගලයේ නිරතව සිටීම නිසා එය සාර්ථක නොවිණි.
විශේෂයෙන්ම උතුරු, නැඟෙනහිර පළාත්වල අතුරුදහන් වූවන් වෙනුවෙන් අරගල කළ ඥාතීන්ගේ සටන එහි තීරණාත්මක අවස්ථාවක් විය. ‘ත්‍රස්තවාදීන් සමරනවා’ යැයි යන චෝදනාව යටතේ වුව ද, ඔවුහු තවමත් තම ඥාතියා වෙනුවෙන් පෙනී සිටිති. වාර්ෂිකව පැවැත්වෙන ඔක්තෝබර් 27 අතුරුදහන් වූවන් සැමරුම නැවත නැවත අතුරුදහන් කරවීමේ ම්ලේච්ඡත්වය රටට මතක් කර දීමට සමත් විය.
මෙ සියල්ල මැද මෙවර සීදුව, රද්දොළුව මංසන්ධියේ අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අභියස දී 30 වැනි සැමරුම නොපැවැත්වුවත්, ඒ සම්බන්ධයෙන් වන අතුරුදහන් වූවන් වෙනුවෙන් වන අරගලය නැවතී නොමැත. එය අවසානයකට පත් විය යුත්තේ, පුද්ගලයන් අතුරුදහන් කරවීම්වලට වගකිය යුත්තෝ කවුරු දැයි හෙළි වූ පසුව ය.
සිල්වා තාත්තා තමන්ට ලැබුණු තම පුතාගේ මරණ සහතිකය සම්බන්ධයෙන් පැවැසූයේ, “ඒ කොළ කෑල්ලේ තිබුණේ නැහැ. පුතා මැරුණෙ කොහොම ද? එයාව මැරුවෙ කවුද? මොකට ද මැරුවෙ කියලා. මරලා දාපු අපේ දරුවන්ට සොහොනක්වත් නැති හරිම අසරණ මිනිස්සු පිරිසක් අපි”
ඊට ද පිළිතුරු ලැබෙන දිනයක් දක්වා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සිය අරගලයේ නිරත වනු ඇත.

-වසන්ත රනිල් කුමාර 

Leave A Reply

Your email address will not be published.

fifteen + 13 =