දණ ගහපිය, දණ ගහපිය… විස්ස සම්මතයි

“මධුෂ් වෙඩි කා නසී. සියලු ම පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්තියයි. වෙඩි තැබුවේ, තවත් පාතාල කණ්ඩායමක් බව පොලිසිය පවසයි. පොලිස් ආරක්ෂාව මැද ගෙන ගිය මධුෂ්ට පාතාල කණ්ඩායමක් වෙඩි තැබුවෝ ද? හරියට ම මධුෂ්ගේ ඔළුව පිටිපස්සට ඔවුන් වෙඩි තැබුවේ කොහොම ද? පොලිස් නිලධාරීන් කිසිවකුත් වෙඩි වැදී මිය නොගියේ කොහොම ද? මධුෂ්ගේ ඔත්තුවට අනුව කුඩු තොගය අල්ලන්න රාත්‍රියේ ම ගියේ ඇයි ? මේ ප්‍රශ්න දිහා බැලුවා ම මධුෂ් නිකම්ම වෙඩි කා නැසුණා යන්න බොරුවකි. පැහැදිලිව ම වෙඩි තබා මරා දැමීමකි. එය කවුරුන් විසින් කොහො ම කරනු ලැබුවේ ද යන්න දන්නෝ දනිති. ඕනෑම පුංචි ළමයකුට වුවත් තේරුම් ගත හැකි ය.

පහුගිය අවුරුදු එකහමාරක කාලය පුරාවටම ඔහු රඳවා හිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ය. ඉන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී දවස් දෙකකට පසුව වෙඩි තබා ඔහු මරා දැමුවේ ය. සිද්ධියේ පිටපත බැලූබැල්මට ම පැහැදිලි ය. එහෙත්, අධ්‍යක්ෂණය සහ රඟපෑම දුර්වල ය. ඒ අසාර්ථකත්වයෙන් ඇත්ත මෙය නොවේ ය යන්න සිතා ගත හැකි ය. ඔහු රඳවා තබාගෙන ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. ඒ යටතේ සාමාන්‍යයෙන් රඳවා තබා ගත හැකි කාලය අවුරුදු එකහමාරකි. එය සම්පූර්ණ වීමට ඇත්තේ තව දින දහයක කාලයකි. එම දින දහය ඇතුළත එක්කෝ චෝදනා ඉදිරිපත් කරමින්, ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු ය නැත් නම්, නැවත එවන් වූ කාලයකට රඳවා තබා ගැනීම දීර්ඝ කළ යුතු ය. එසේ කරන්නේ නම්, චෝදනා ඉදිරිපත් කරමින්, විශේෂ අනුමැතියකින් දීර්ඝ කළ යුතු ය. පොලිසියේ ම අභ්‍යන්තර ආරංචිමාර්ග අනුව මධුෂ්ට විරුද්ධව තිබූ චෝදනා සියල්ල ම පිටුපස දේශපාලනඥයන් ගෑවී ඇත. ඒ මත නඩු දැම්මොත්, සියල්ල එළියට එන්නේ ය. එසේ නොමැතිව තිබූ චෝදනා ඔප්පු කර ගත හැකි ඒවා නොවන බව ද ආරංචි ය. ඔහු අත්අඩංගුවට ගත් මුල් කාලයේ දී පොලිස් ප්‍රකාශකවරයා කිව්වේ, බොහෝ ප්‍රබල දේශපාලනඥයන් සමඟ කළ ගනුදෙනු ඔහුගේ කටඋත්තරයෙන් කියවී ඇති බව ය.

ඒ කවුද? ඒ අය කොයි විදියට ද සම්බන්ධකම් පැවැත්වූයේ යන්න මෙතැනින් එහාට එළියට එන්නේ නැත. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අන්තිම නායකයා වුණු කේ.පී.ව ද අත්අඩංගුවට ගත්තේ ය අත්අඩංගුවට ගත් විගස ඔහු පිළිබඳ බරපතළ චෝදනා ඇති බවට ප්‍රකාශ කළේ ය. ජාත්‍යන්තර අවි ගනුදෙනු, ජාත්‍යන්තර බැංකුවල මුදල්, රත්තරන් බඩු බොහෝ දේ ඇති බව ද කියවිණි. ඒ සියල්ල තිබුණු බව කිව්වත්, කේ. පී.ට නඩු දැම්මේ නැත. කිසිදු උසාවියකට ඉදිරිපත් කළේ ද නැත. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි ඔහු නිකම් ම නිදහස් කර දැම්මේ ය. වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ලබා ගන්නා කටඋත්තර සියල්ල ලිඛිතව හා සමහර අවස්ථාවල හඬපට ලෙස ද ආරක්ෂාකාරීව පවතී. එසේ නම්, කේ. පී.ගේ කටඋත්තර ද තිබිය යුතු ය. එහෙත්, ඒවායේ ඇත්තේ මොනවා ද යන්න ජනතාව දන්නේ නැත. අදටත් එය රහසකි. ඒ අයුරින් ම මධුෂ්ගේ කටඋත්තර ද එසේම ය. ඒවායේ සඟවන්නට යමක් නැත්නම්, වහා ජනතාවට ප්‍රසිද්ධ කළ යුතු ය. එවිට දේශපාලනඥයන්ගේ නම්, ගම් තිබේ ද යන්න ජනතාවට දැනගත හැකි ය. කවුරු කොහොම වහන්න හැදුවත්, මේ බොරුව වහන්න බැරි බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය.

රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ, මධුෂ් මරා දැමීම හොඳ දෙයක් ය යන අදහස ය. මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයකු, පාතාල නායකයකු මරා දැමීම සමාජ පිළිලයක් ඉවත් කිරීමකි. ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කරන්නකුට එරෙහිව ඇති ජනතා විරෝධය සාධාරණ ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. එහෙත්, රටේ ජනතාව නොදන්නා මේ පිටුපස ඇති තිත්ත ඇත්ත මරා දැමීම බරපතළ ප්‍රශ්නයකි. ඉන් කුඩු ජාවාරම මුළුමනින් ම නතර වන්නේ නැත. ඔවුන් මධුෂ් වෙනුවට වෙනත් කෙනකු යොදා ගන්නවා ඇත. දැනටමත් එය සිදු වී ඇත.

පහුගිය දශක දෙක තුනක කාලය පුරාවට මෙවැනි පාතාල නායකයන්, කුඩු ජාවාරම්කාරයන් කී දෙනකු නම් මරා දැමුවා ද? එහෙත්, කුඩු ජාවාරම නතර වූයේ නැත. මධුෂ් පහුගිය කාලයේ ම සිටියේ සී.අයි.ඩී.ය භාරයේ ය. දුරකථනයක්වත් පාවිච්චි කරන්නට හැකියාවක් නොතිබිණි. එනමුත්, කුඩු ව්‍යාපාරය හොඳින් පැවැතිණි. ජරාජීර්ණ වෙච්ච සමාජ ක්‍රමයක් ඇතුළේ මධුෂ් යනු තවත් එක් පුද්ගලයකු පමණි. ඔහු ඒ තත්ත්වයට නිර්මාණය කළේ ද මේ කුණු වෙච්ච සමාජ ක්‍රමයයි.

ඔහුගේ ම ජීවිත කතාවෙන් එය පැහැදිලි ය. මාතර, මාකඳුර ප්‍රදේශයෙන් විවාහ වුණු ඔහු මුල දී ජීවත්ව ඇත්තේ, දර විකිණීමෙන් ය. පුංචි කරත්තයකින් දර විකිණූ ඔහු පසුව පුංචි ට්‍රැක්ටරයක් මිලදීගෙන දර විකිණූ බව ද කියවේ. ඒ කාලය තුළ දී මාතර ප්‍රබල දේශපාලනඥයකු වූ ඩැනී හිත්තැටියගේ මස්සිනා කෙනකු තමන්ගේ වාහනය පාරේ පදවාගෙන යද්දී, මොහු සමඟ බහින්බස් වීමක් සිදුව ඇත. කොහොමත් දේශපාලන හයිය අතට ගත්ත මස්සිනාට ඉහළින් දර කරත්තකාරයකුට යන්න දෙන්නේ නැති එක මේ සමාජ ක්‍රමයේ හැටියකි. එහෙත්, එයට විරුද්ධව කතා කළ මධුෂ්ට අන්තිමේ දී එළව එළවා පහර දෙන්නට පටන්ගෙන ඇත. තමන් පදිංචි වෙලා හිටපු ගේ ආණ්ඩුවේ ඉඩමක වූ බැවින්, බලය පාවිච්චි කරමින්, ඔහු එතැනින් ඉවත් කර දැමීමට හිත්තැටියලාට පාරක් කැපිණි. ප්‍රශ්නය දුරදිග යාමෙන් මස්සිනාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. මධුෂ්ව එතැනට තල්ලු කළේ කවු ද? සමාජය ඇසිය යුතු ප්‍රශ්නය එයයි. ගමන් පැන ගත්ත ඔහු කොළඹ, ගම්පහ, මීගමුව, වාරියපොළ ප්‍රදේශවල චණ්ඩියකු බවට පත් වී ඇත. වාරියපොළින් හිරගෙට යන ඔහුට කංජිපානිලා වැනි බොහෝ දෙනකුගේ ඇසුර එහි දී ලැබී ඇත. එතැනින් එහාට ඔහුගේ පැවැත්ම පාතාලය හා කුඩු ජාවාරම එක්ක බැඳී ඇත. හරි පැහැදිලිව කරත්තයෙන් ටික ටික දර විකුණපු මධුෂ් මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයකු, පාතාල නායකයකු බවට පෝෂණය කර තිබේ. මේ සියල්ල පිටුපස ඇත්තේ, දේශපාලනය හා බැඳුණු ජරාජීර්ණ වුණු සමාජ වටාපිටාව ය. එකී සමාජ වටාපිටාව අදටත් එසේ ම පවතින්නේ ය. එයට එක වෙඩි පහරක්වත් වැදී නැත. එය තව තවත් ජීවත් කරවන්නේ, පෝෂණය කරවන්නේ තුච්ඡ දේශපාලනයයි.

මධුෂ්ගේ මරණයෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් සතුටු වන්නේ කුඩු වෛරසය විනාශ කර දැමුවා යන තේරුමෙන් ය. එහෙත්, ඔහුගේ මරණයෙන් දේශපාලනඥයන් සතුටට පත් වන්නේ ක්‍රමය දිගට ම පවතිද්දී, ඉන් තමන්ට එල්ල වුණු අනතුර පහව යාම නිසා ය. එනම්, පෞද්ගලිකව තමන් ආරක්ෂා වෙලා ක්‍රමය පැවතීම නිසා ය. මෙහි ඇති භයානක ම තත්ත්වය එයයි. මාධ්‍ය මඟින් සමාජ අපරාධකාරයන් ලෙස හඳුන්වා දෙන අය මරා දැමීම සාධාරණීයකරණය කරයි. ඉන් පසු ටිකෙන් ටික තමන්ගේ පැවැත්මට එරෙහි වන සියල්ලන්ට ම එල්ල වන්නේ ද ඔය තුවක්කුව ම ය. අපේ රටේ ආයුධ පෙන්වන්න ගිහිල්ලා හෝ තවත් කෙනකු අල්ලා දෙන්න ගිහිල්ලා හෝ මරා දැමුණු පළමුවැන්නා මධුෂ් නොවේ ය. බොහෝ මාධ්‍යවේදීහු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කළ අය, විකල්ප දේශපාලන මත දැරුවෝ මෙලෙසින් ම ඝාතනයට ලක් වූහ. නැවත මේ ආරම්භ වන්නේ එකී කාලයයි. ආරම්භය රොහාගෙනි; මධුෂ්ගෙනි. අවසන් වන්නේ කොතැනින් කාගෙන් ද යන්න කාටවත් කිව නොහැකි ය. එය මහත් භීතියක් ගෙන දෙන තත්ත්වයකි. රටේ ඉතිහාසය ම එවැන්නකි. මධුෂ් ඝාතනයත් එක්ක ම ඒ සඳහා වූ අසීමිත බලයක් ලැබෙන විස්ස ගෙන එන්නේ එකී වුවමනාවට ය. ද්විත්ව පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නයට ලඝු වී ඇති භයානක ම කොටස එය නොවේ ය. සියලු තීන්දු, තීරණ ගැනීමේ බලය මිලිටරි මානසිකත්වයක් ඇති කෙනකු අතට පත්වීම ය. එය තවත් හිට්ලර් කෙනකු නිර්මාණය කිරීමකි. එදා හිට්ලර් කුරිරු ඝාතකයකු වූයේ ද ජර්මන් ජනතාවගේ ජාතිකත්වය උලුප්පා දක්වමිනි. ඔවුනගේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් යැයි කියමින්, ලක්ෂ ගණන් අහිංසක ජනතාව පණපිටින් පුච්චා දැමුවේ ය. බැලූබැල්මට විස්ස සංශෝධනය හා මධුෂ්ගේ මරණය අතර සම්බන්ධයක් නැහැ වගේ ය. එහෙත්, ඇත්ත එය නොවේ ය. විස්ස අවශ්‍ය වන්නේ ම තම පැවැත්මට එරෙහි සියල්ල විනාශ කර දැමීමට ය. එසේ නොමැතිව විස්සෙන් ජනතාවගේ බඩගින්න නිවන්නට, බොන්න වතුර ටිකක් දෙන්නට, කොරෝනාවෙන් ජනතාව බේරාගන්නට, විරැකියාවෙන් මුදා ගන්නට හැකියාවක් නැත. මධුෂ්ලාව මරා දමනවුන් රකින්නට ය; මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරිකයන්, ප්‍රතිවිරුද්ධ මතධාරීන්, තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින්නන් මරා දමනවුන් රකින්නට ය. ඔවුනට තනතුරු, උසස් වීම්, නම්බුනාම පුදන්නට ය. සමස්ත සමාජය ම මෙවන් ම්ලේච්ඡ, ලේ වැකුණු ඉතිහාසයකට ඇදගෙන යන්නට ය. ඒ සියල්ල තම හිතවත් ජඩ මාධ්‍ය හරහා සාධාරණීයකරණය කරන්නට ය. අවසානයේ ජනතා මතය ද බලහත්කාරයෙන් ම තමන්ට පක්ෂපාතී වන ආකාරයෙන් සාදා ගන්නට ය.

මධුෂ් මරා දැමීම ගැඹුරින් තේරුම් ගත යුතු ය. එය හුදෙක් පාතාල නායකයකු මරා දැමීමක් නොවේ ය. කුණු වෙච්ච සමාජ ක්‍රමය පවත්වාගෙන යාම වෙනුවෙන් කළ වෙඩි තැබීමකි. පාතාලය, කුඩු ජාවාරම මෙහෙයවන දේශපාලනඥයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ එකකි. එකී කුරිරු සමාජ ක්‍රමය වෙනුවෙන් වූ තවත් අඳුරු යුගයක ආරම්භයකි. ඒ වෙනුවෙන් වූ සංඥාවකි●

Leave A Reply

Your email address will not be published.

ten + 10 =